2022 නොවැම්බර් 20 වන ඉරිදා

දවස ගානේ වීදි සතුන්ට කන්න දෙන මව සහ දුව

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 432

නන්දනී ගාල්ලගේ... දිනකට දෙසිය පහකටත් වැඩි සතුන් පිරිසකගේ කුස පුරවන ආදරණීය මවකි. වසර ගණනාවක් තිස්සේ නොකඩවා තම නිවෙසේ ජීවත් වන සුනඛයන්ට සහ බළලුන්ට වේල් දෙක බැගින් ආහාර ලබාදෙන ඇය එතැනින් නොනැවතී බෝකුන්දර සිට රත්තනපිටිය දක්වා මහාමාර්ගයේ ජීවත්වෙන වීදි සතුන්ගේ ද කුස පුරවයි. ඒ සඳහා ඇයගේ ආදරණීය දියණියගෙන් ලැබෙන්නේ මහඟු සහයෝගයකි. 

නන්දනී ගාල්ලගේගේ දියණිය සේවය කරන්නේ ගුවන් හමුදාවේය. එරන්දි කෞෂල්‍යා ගාල්ලගේ නම් වූ ඇය ක්‍රීඩාවට උපන් හපන්කම් දක්වන දියණියකි. වසර ගණනාවක්ම දැල් පන්දු ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවකි. පාදයේ හටගත් ආබාධයක් හේතුවෙන් මේ දිනවල එරන්දි ක්‍රීඩා කටයුතුවලින් මඳකට ඈත්ව සිටියි. නමුත් තව මවත් සමඟ එක්ව ඇය නොකඩවා සතුන්ට ආහාරපාන ලබාදීමේ සත්ක්‍රියාවට දායක වන්නීය.

"මගේ දුව හරි ආසයි පුංචි සතුන්ට. එයා චූටි කාලේ පාරේදි පූස් පැටියෙක් දැක්කත් ඒ සතාව ඉල්ලලා ඇඬුවා. ඒ නිසා ගෙදර පුංචි දවස්වල ඉඳන්ම බල්ලෝ පූසෝ හිටියා. උසස් පෙළ ඉවරවෙලා දුව රත්තනපිටියේ විහාරයකට නිතරම ගියා. එයා දහමට හරි ලැදි දරුවෙක්. ඒ යද්දි පාරේ ඉන්න සතුන්ට දෙන්න දූ බත් මුල් පොඩියට දෙක තුනක් ගෙදරින් ගෙනිච්චා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ළඟ බල්ලෝ කිහිප දෙනෙක් ඉන්නවා කියලා දැනගත්ත දුව බත් මුල් ගාණ වැඩි කරගෙන ගෙදරින් අරගෙන ගියා. ඒක ටික කාලයකින්ම දුව පුරුද්දක් විදිහට කරගෙන ගියා. අපිත් දුවට උදව් කළා. උසස් පෙළ විභාගයෙන් පසුව දුව පෞද්ගලික බැංකු සේවයට ගියා. අවුරුදු තුනක් එතන සේවය කරපු දුව ඉඩ ලැබෙන හැම දවසකම අර සතුන්ට කෑම අරගෙන ගියා." නන්දනී ඒ අතීතය සිහිපත් කළාය.

2010 වසරේදී පෞද්ගලික බැංකු සේවයෙන් ඉවත් වූ එරන්දි ගුවන් හමුදා සේවයට එක්වූවාය. ක්‍රීඩාවට දස්කම් දැක්වූ ඇය තම මව සමඟ එක්ව සෑම දිනකම වීදි සතුන්ට ආහාර ලබා දෙන්නීය. ඒ අනුව 2010 සිට මේ දක්වා නොකඩවා ඔවුහු වීදි සතුන්ට ආහාර ලබා දෙති. වර්තමානය වනවිට නන්දනීගේ නිවහනේ සුනඛයන් දහඅට දෙනෙක් සහ බළලුන් තිස්පස් දෙනෙක් ජීවත් වෙති. ඊට අමතරව නන්දනීත් එරන්දිත් බෝකුන්දර සිට රත්තනපිටිය දක්වා සිටින සුනඛයන් සහ බළලුන් 250ත් 280ත් අතර සංඛ්‍යාවකට ආහාර ලබදෙති. මුල් කාලයේදී හාල් කිලෝ දහයක් පිසුවද මේ වනවිට වීදි සතුන් සඳහා පමණක් දිනකට සහල් කිලෝ දහ නමයක් පිසීමට ඔවුන්ට සිදුවේ. මේ සඳහා බෝකුන්දර සිට රත්තනපිටියට යාමට ඔවුන්ට හිමි වාහනයක් ද නැත. ඒ නිසාම නන්දනීට සිදුවන්නේ සෑම දිනකම ත්‍රිරෝද රථයක් කුලියට ගැනීමටය.

"ඉස්සර අපේ ගෙදර වාහන තිබුණා. දුවගේ තාත්තා නැතිවුණා. ගෙදර ආර්ථික ප්‍රශ්න ටික ටික ආවා. ඒ නිසා වාහන විකුණන්න වුණා. දැන් ත්‍රිරෝද රථයකින් තමයි කෑම ටික අරගෙන යන්නේ. බෝකුන්දර ඉඳන් රත්තනපිටිය සංඥා පුවරුව තෙක් අපි කෑම අරගෙන යනවා. ඒ ගමන් මාර්ගයේ පාර දෙපැත්තෙම ඉන්න සතුන්ට අපි කෑම දෙනවා." නන්දනී පවසයි.

2010 වසරේ සිට අද දක්වාම නන්දනී සහ එරන්දි නොකඩවා මේ නිහඬ සේවය සිදු කරති. කොරෝනා වසංගතය, බෝම්බ ප්‍රහාර පමණක් නොව එරන්දිගේ පියාගේ වියෝව සිදුවූ දිනයේදීද ඔවුන් මේ අසරණ සතුන් කුසගින්නේ තැබුවේ නැත. මේ වනවිට නන්දනීගේ වයස අවුරුදු හැත්තෑ හතරකි. ඇය හෘද රෝගියෙකි. රෝගී තත්ත්වය නිසාම නන්දනීට සතුන්ට කෑම දීමට යා නොහැකිය. නමුත් නිවෙසේ සිට ඒ සියලු දෑ හැකි පමණින් සිදු කිරීමට දියණියට උදව් කරන්නේ ඇයයි. ආර්ථික ප්‍රශ්න එන්න එන්නම වැඩි වනවිට නන්දනීට ද ආර්ථික අපහසුතා තදින්ම දැනුණි. අදටත් එලෙසමය. ඇතැම් දිනවලදී දෛනිකව අවශ්‍ය වන හාල්, මස්, මාළු තමා දන්නා හඳුනන අලෙවිසල්වලින් ණයට ගැනීමට ද ඇයට සිදුවෙයි. නමුත් එක් දිනකට හෝ අසරණ සතුන් බඩගින්නේ තබන්නට ඒ දැහැමි හදවත්වලට නොහැකිය. තමන් කුසගින්නේ සිටියද කෙසේ හෝ මෙම සතුන්ගේ කුස පුරවන බව නන්දනී පවසයි.

"අපිට මේ සඳහා උදව් කරන අය කිහිප දෙනෙක් ඉන්නවා. හැබැයි එහෙම ආධාර නොලැබෙන දවස් අනන්තවත් තියෙනවා. හැබැයි අද වනතුරු මේ අවුරුදු දොළහ පුරාවට අපි ඒ අහිංසක සතුන් බඩගින්නේ තිබ්බේ නැහැ. දැන් ඒ සතුන්ට අපිව හොඳට හුරුයි. හැමදාම අපි එනතුරු ඒ අය බලාගෙන ඉන්නවා. තුනහමාර විතර වෙද්දි ඒ සතුන් බොහෝ වෙලාවට ඉන්නෙ හරියට අපිව දකින්න බලාගෙන වගෙයි. අපි කතා කරපු ගමන් අපි ළඟට දුවගෙන එනවා."

සෑම දිනකම නන්දනීගේ නිවහනේ සතුන් වෙනුවෙන් සහල් කිලෝ විසි පහක් පිසෙයි. ඒ අනුව මසකට සහල් කිලෝ හත්සියයකට වැඩි ප්‍රමාණයක් සතුන් වෙනුවෙන් වෙන් කරයි. බත්වලට අමතරව සුරතල් සත්ව ආහාරද ඊට එක් කෙරෙයි. නමුත් මේ වනවිට සත්ව ආහාර මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා නන්දනී තමා හඳුනන මස් වෙළෙඳසලකින් සාධාරණ, අඩු මිලට මස් ලබාගනියි. ඒ අනුව දිනකට මස් කිලෝ හයක් වීදි සතුන් වෙනුවෙන්ද කිලෝ හතරක් නිවෙසේ සිටින සතුන් වෙනුවෙන්ද ඔවුහු මිලදී ගනිති. ඊට අමතරව සාලයා කිලෝ එකක් සහ ලින්නන් මසුන් කිලෝ දෙකක්ද මේ ආහාර වේලට එක්වේ. ඔවුන් දන්නා හඳුනන සහල්, මස්, මාළු අලෙවිසල් තුනකි. ඒ නිසාම මුදල් නැති කාලවලදීද නන්දනී ණය පොතට අවශ්‍ය දෑ ගෙන මුදල් ලැබුණු සැණින් ඒවා පියවා දැමීමට කටයුතු කරයි.

"මේ වෙනකොට මේ සතුන්ට කෑම දෙන එක අපිට ලොකු ප්‍රශ්නයක්. සමහර දවස්වලට සමහරු අපිට උදව් කරනවා. නැති දවස්වලට අපි ණයට ගන්නවා. දුවගේ රුකියාවෙන් ලැබෙන වැටුපෙන් එයා වියදම් කරන්නේ මේ අසරණ සතුන්ටයි. අපේ නිවෙසේ ඉහළ කොටස කුලියට දීලයි තිබුණේ. ඒකෙන් ලැබුණු මුදල් පවා සතුන්ට වියදම් කළා. මේ දවස්වල ඒ කොටස් වහල දාලයි තියෙන්නේ. ඒ නිසා ඒකෙන් ලැබෙන ආදායමත් නැතිවුණා. ඉහළ මහලේ විදුලිය පසුගියදා විසන්ධි කළා. ඒ බිල ගෙවාගන්න තවමත් බැරිවෙලා තියෙන්නේ. මොන ආර්ථික ප්‍රශ්න තිබුණත් සතුන්ට කෑම දෙන එක අපි නතර කරන්නේ නැහැ. මම දැන් ලෙඩෙක්. මගේ බෙහෙත්වලටත් විශාල මුදලක් වැය වෙනවා. එහෙමයි කියල මේ හැමදේම නතර කරල අර අහිංසක සතුන්ව බඩගින්නේ තියන්න මටයි දුවටයි බැහැ." නන්දනී කියන්නීය.

නන්දනීගේ නිවෙසේ සිටින සතුන් කිහිප දෙනකුම ආබාධිතයන්ය. ඒ සෑම සතකුම එරන්දි නිවෙසට ගෙන ආවේ සතුන් කුඩා කලය. ඇතැමුන් වැස්සට තෙමෙමින් සිටි සතුන්ය. ඇතැමුන් වාහනවලට හසු වූ සතුන්ය. කාත් කවුරුවත් නැතිව දෙනෙත් හැර නොමැති කුඩා බළල් පැටවුන්ට අද එරන්දිගේ රැකවරණය ලැබී තිබේ. ඒ සියලු දෙනාට ආදරය ආරක්ෂාව නන්දනීගෙන් නොඅඩුව හිමිවේ. නමුත් ඒ අසරණ සතුන් පෝෂණය කරන්නට මේ අම්මාත් දියණියත් විඳින දුක නම් සුළුපටු නැත.
"ඔටාරා මැඩම් මේ සතුන්ට කාලයක් සෑහෙන්න උදව් කළා. සතුන් කිහිප දෙනෙක්ටම සැත්කම් කරන්න උදව් කළා. ඊට අමතරව මඩපාත ඉන්න පශු වෛද්‍ය සුරාජ් මහතාත් ගෞරවයෙන් මතක් කරනවා. සතුන්ට අසනීප වුණාම වෛද්‍යතුමා නොමිලේ ඒ හැමදේම හොයලා කරනවා. ඒක අපිට ලොකු සහනයක්. දවස ගාණේ බඩු මුට්ටුවල මිලත් වැඩි වෙනවා. නුගේගොඩ පැත්තේ එක නෝනා කෙනෙක් අපිට ලොකු රයිස් කුකර් එකක් තෑගි දුන්නා. ඊට අමතරව මාසිකව ආහාරපානවලට උදව් කරන කිහිප දෙනකුත් ඉන්නවා. ඒ හැමෝටම ගොඩක් පින්. දැන් මේක අපිට හරි වෙහෙසයි. ඒත්.. මටත් දුවටත් මේ සතුන්ට කන්න නොදී ඉන්න බැහැ. අපි බඩගින්නේ හිටියත් ඒ සතුන්ව කොහොම බඩගින්නේ තියන්නද? ඒ නිසා මේ වෙනුවෙන් කවුරුන් හෝ කෙසේ හෝ උදව් කරනවා නම් ඒක ලොකු පිනක්." 

නන්දනී.. අවසානයේදී ඔබෙන් අයැද සිටින්නේ ඇයයි. මසකට එක් දිනක්, එසේත් නැතිනම් අවුරුද්දකට හෝ දිනයක් ඒ අසරණ සතුන් වෙනුවෙන් ඔබට හැකි අයුරින් උපකාර කරන්නට හැකි නම්, උපන් දින සාදවලදී නිස්කාරණේ අනවශ්‍ය වියදම් සිදු නොකොට මේ අහිංසක සතුන් වෙනුවෙන් පිහිට වන්නට ඔබට හැකියාවක් තිබේ නම් ඒ සඳහා දුරකථන අංක 0760621868 ට හෝ 0751273587 ට කතා කර එම උපකාරය කළ හැකි බවද දෙනුම් දෙමු.

■   දිශානි ජයමාලි කරුණාරත්න