2022 නොවැම්බර් 20 වන ඉරිදා

සුද්දන් සුද්දියන් කසාද බැඳගන්න ඇඟිලි ගණින ලංකාවේ කොල්ලො කෙල්ලෝ

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 466

“මම මගේ රටට ආදරෙයි. ඒත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ කාලය ලංකාවේ ජීවත් වෙන්න අමාරු කාලයක්. සල්ලි දෙයියන්ගේ මල්ලි කියලා විහිළුවට කිව්වාට ඇත්තටම දැන් නම් එහෙම වෙලා තියෙනවා. හැමෝම රට යනවා. ලක්ෂ ගණන් පඩිගන්න ලොකු ලොක්කන් පවා රට යන කාලයක අන් අය ගැන මොන කතාද. ලංකාවේ දැන් ඉන්න කොල්ලෙකුට එක රස්සාවක් කරලා කෙල්ලෙක් නඩත්තු කරන්න පුළුවන්ද? මෙහෙ රස්සාවක් කරලා තනි කෙනකුටත් ජීවත් වෙන්න අමාරුයි. එහෙම තියෙද්දී සොච්චම් පඩියකින් පවුලක් නඩත්තු කරන්න පුළුවන්ද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. ලංකාවේ ගොඩාක් හොඳ උගත් තරුණ පිරිසක් සිටිනවා. මම ගොඩාක් නිදහසේ ඉන්න කැමැති කෙනෙක්. හේතු කීපයක් නිසා ලංකාවේ කෙනකුට වැඩිය එංගලන්තය වගේ හොඳ රටක විදේශිකයකු බඳින්න මම ගොඩාක් කැමැතියි. එයාලට විනයක්, වැදගත්කමක් තියෙනවා. සංස්කෘති විවිධත්වයක් තිබුණත් බඳින කෙල්ලගේ මූණෙ ඇද හොයන්න තරම් ඒ රටවල නැන්දම්මලාට වැඩ අඩු නෑ. ඒ වගේම ඕපාදූප හොයන්න ඒ රටවල රෙදි නැන්දලාත්, හේනෙ මාමලාත් දෙගොල්ලෝම නෑ.”

ඒ ඔබ කියැවූයේ ශ්‍රී ලාංකික දියණියක පැවසූ කතාවක කොටසකි. මේ එක් කතාවක් පමණකි. ප්‍රේමය ලොව හැමතැනම ඇති කියා පැවසුවද ඉන්දියන් සාගරයේ මුතු ඇටයෙන් එපිට ලියැවුණු ප්‍රේම කතා සොයාගැනීම දුලබය. 2013 චීන විශ්ව රූ රුජින තරගාවලියේ කිරුළ හිමිකරගත් ජින් යී මෙනවිය මෙරට සංචාරයකට එක්වෙමින් පැවසූයේ තමා ශ්‍රීලාංකිකයකු සමග විවාහ වී මෙරට පදිංචි වීමට කැමැත්තෙන් පසු වන බවයි.

රට දැය සමය පණ මෙන් රකිමින්, බෞද්ධ මහා සම්මලනයේ පළමු සභාපතිවරයා වූ මහාචාර්ය ගුණපාල මලලසේකරයන් උසස් අධ්‍යාපනයට ලන්ඩන් ගිය ගමන කෙළවර වූයේ මාග්‍රට් හෙලේනා රසල් නමැති විදේශික කාන්තාව සමඟ විවාහයෙනි. ඒ මගුල තීන්දු වූයේත් මාග්‍රට්ගේ මවගේ දැඩි විරෝධය මැද ආණ්ඩුකාරවරයාත් වගඋත්තරකරුවකු කරමින්ය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ දියණිය වූ යශෝදරා කුමාරතුංග විවාහ වූයේ බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරයකු වූ රොජර් වෝකර් සමඟය. සුදු ජාතිකයකු වූ ස්ටීව් සමඟ විවාහ වී සිටි මහාචාර්ය සොනාලි දැරණියගල යාල වනෝද්‍යානය අසල හෝටලයක නවාතැන් ගනිමින් සිටියදී මුහුණදුන් සුනාමි ව්‍යසනයෙන් තනි වූවාය. ස්විට්සර්ලන්ත ජාතිකයකු සමඟ විවාහ වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ රට වෙනුවෙන් පවුල් ජීවිතයත් කැප කළ බව ඇයම පැවසූ ප්‍රසිද්ධ රහසක් වන්නේය. 

මෙම කතාබහට නිමිත්ත වනුයේ පවතින ආර්ථික තත්ත්වය සමග විදේශිකයන් සමඟ විවාහ වන පිරිස වැඩි වී ඇති බව රෙජිස්ට්‍රාල් කාර්යාල ආරංචි මාර්ග තහවුරු කිරීමය. මෙම වසරේ මුල් මාස 10 ඇතුළත ශ්‍රී ලාංකිකයන් 1648 කට විදේශිකයන් සමග විවාහ වීමට අනුමැතිය ලබා දුන් බව රෙජිස්ට්‍රාල් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසීය. මෙම කාලය ඇතුළත විවාහ සඳහා අයැදුම්පත් 1701 ක් ලැබී තිබුණු අතර එයින් බහුතරය විදේශවල උපත ලැබූ පුද්ගලයන් බවද රෙජිස්ට්‍රාල් ජනරාල්වරයා කීය. 
මෙරට වැසියකුට විදේශිකයකු සමග විවාහ වීමට කිසිදු තහංචියක් අතීතයේ පැනවී නොතිබුණේය. එහෙත් පසුගිය කාලයේ කලාපීය ත්‍රස්තවාදී ක්‍රියා සිදුවීම, කලාපීය වසංගත රෝගාබාධ ඇතිවීම  ආදී ගෝලීය ත්‍රස්තවාදය යටතේ තර්ජනයක් විය හැකි අන්දමේ සිදුවීම් වළක්වාලීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යංශය මැදිහත් වීමෙන් මෙරට පුද්ගලයකු විදේශිකයකු සමඟ විවාහ වීමේදී රෙජිස්ට්‍රාල් ජනරාල් දෙපාර්තමේන්තුවේ 18/2021 චක්‍රෙල්ඛය අනුව ආරක්ෂක නිෂ්කාෂණ වාර්තාවක් සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් පොදු ලියවිලිවලට අමතරව කැඳවීමට නියම කර තිබිණ. මේ සම්බන්ධයෙන් ලැබී ඇති ඉල්ලීම් සහ පැමිණිලි සලකා බලමින් මෙම ක්‍රියාදාමය මානව මූලික අයිතිවාසිකම් කඩවීමක් බැවින් ඉහත චක්‍රෙල්ඛය අහෝසි කර පෙර පරිදි දෙරට අතර සිදුවන විවාහ සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවස්ථාව ලබාදීම සුදුසු බවට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත්දා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එහෙයින් ඒ සඳහා නව චක්‍රලේඛයක් මගින් නුදුරේදීම බලය පැවරෙනු ඇත. මේ වනවිට එම නව චක්‍රලේඛයේ සංස්කරණ කටයුතු සිදුකෙරෙමින් පවතින බව රෙජිස්ට්‍රාල් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් දේශයට පැවසුවේය. 

පසුගිය කාලයේ නයිජීරියානුවන් පිරිසක් මෙරට කාන්තාවන් විවාහ කරගන්නා බවට රවටා මුදල් ගැරීමේ ජාවාරම්වල නිරත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් සිදුකළේය. මෙවැනි ජාවාරම්කරුවන්ගේ උගුල්වලට මෙරට කතුන් හසුකරගැනීමත් ඒ මාර්ගයෙන් මෙරට නීතිවිරෝධී ක්‍රියා සිදුකිරීමත් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණ පවත්වා නයිජීරියානුවන් සමඟ උගන්ඩා කතක් අත්අඩංගුවට ගනු ලැබීය. මෙවැනි වංචාකාරී ක්‍රියා මැඩ පැවැත්වීමට නීතිය ක්‍රියාත්මක වීම අනිවාර්යය.

එහෙත් විදේශික යුවළකට මෙරටට පැමිණ විවාහයක් සිදුකිරීමට කිසිදු තහංචියක් නැත්තේය. ස්වභාව සෞන්දර්යය මධ්‍යයේ දේශීය විවාහ චාරිත්‍රවලට අනුව විවාහ වීමට අපේකෂාවෙන් මෙරටට පැමිණෙන විදේශික යුවළකට විවාහයකට අවශ්‍ය වන්නේ අවිවාහක සහතිකය සහ ගුවන් ගමන් බලපත්‍රය ආදී සීමිත ලේඛන පමණකි.

සුදු ජාතිකයන් අපේ රටේ නා දලු වැනි කළු කෙල්ලන්ට ඇල්ම බැල්ම දැම්මේ අද ඊයේ නොවේය. යසඉසුරු අරන් ඒරොප්පෙ ඉඳන් එන සුදු මහත්තුරුන්ගෙන් අපේ රටේ අමල් බිසෝලා ආරක්ෂා කරගන්න දත කන්න වූයේත් දන්නා කාලයක පටන්මය. එය ඒ තරමට සුද්දන්ට ආකර්ශනීය වූයේ ආසියානු ස්ත්‍රියගේ අනන්‍යතා ලක්ෂණ නිසාමය. එහෙත් වර්තමානයේ මෙරට පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ මෙරට තරුණියන් විදේශිකයන් සමග විවාහ වීම දැකිය හැකිය. විදෙස් රටවල උපත ලැබූවන් සහ විදෙස් රටවල රුකියාවල නිරත තරුණ තරුණියන් හටද වැඩි අවධානයක් යොමු වී ඇතැයිද වාර්තා වෙයි. මෙකී අරමුණ පිටුපස විදෙස්ගත වීමත්, අපේක්ෂා භංගත්වයත් නැතැයි සිතිය නොහැකිය. වර්තමානයේ පවතින රුකියා විරහිත බව, ආදායම් අඩුවීම, වියදම් අධික වීම ආදී වූ කාරණා ඔස්සේ මෙරට වැසියෝ බහුතරය මේ වනවිට උඩුගං බලා පිහිනමින් දුක් විඳිති.

කෙසේ වෙතත් වර්තමානයේ විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියේදී පවතින අවහිරතා වහා ඉවත් කිරීමට පවතින රජය මේ වනවිට ක්‍රියාකරමින් පවතී. නව චක්‍රලේඛය සමග නමෝ විත්තියෙන් අපේ රටේ හීන්මැණිකෙලාටත්, සිරිදාසලාටත් සුදු නෝනෙක් සුදු මහත්තයෙක් සහේට ගන්න තහංචියක් පනවන්න කිසිවකු නැත්තේය.

I සසංක චලන ගිම්හාන