2022 නොවැම්බර් 20 වන ඉරිදා

බිත්තර හිඟයට උත්තර නැත්නම් කාලා හමාරයි

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 139

මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය ලක්ෂ 65ක් පමණ වන බවත්, මේ වනවිට වෙළඳපොළ වෙත බිත්තර සැපයුම දෛනිකව ලක්ෂ 25ක් දක්වා පහළ වැටී ඇති බවත් වාර්තාවේ. එම නිසාම මෙරට වෙළෙඳපොළ තුළ නිර්මාණය වී ඇති බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාම පිළිබඳ පුළුල් විමසීමක් සිදුකිරීමට අපි උත්සාහ දරමු.

ශ්‍රී ලාංකික ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවය සැලකූ විට මෙය හුදෙක් මඟහැර යා නොහැකි  ගැටලුවකි. බිත්තර මිල ඉහළ යාමට හේතුව දැනගැනීම පිණිස අප පළමුව සම්බන්ධ කරගත්තේ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.ඒ.බී.ආර්. අලහකෝන් මහතාය.

"මේ වෙනකොට බිත්තර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩුවෙලා තියෙනවා. එහෙම වෙන්න හේතුව තමයි මීට මාස තුනකට ඉස්සෙල්ලා පාරිභෝගික අධිකාරිය නිකුත් කරපු ගැසට්ටුව. ඔවුන් බිත්තරයකට උපරිම සිල්ලර මිලක් නියම කළා. සුදු බිත්තරයක් රුපියල් 43කටත්, රතු බිත්තරයක් රුපියල් 45කටත් විකිණීම අනිවාර්ය කළා."

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ ගැසට්ටුව හේතුවෙන් බිත්තර නිෂ්පාදනය අවම වූයේ කෙසේද? මෙහිදී අප එය විමසා බැලිය යුතුය.

අලහකෝන් මහතා පෙන්වා දෙන්නේ උපරිම සිල්ලර මිල නියම කරන විටත්, කොවිඩ් වසංගතය ආර්ථික අර්බුදය හේතුවෙන් බිත්තර ගොවීන් දැඩි පීඩනයකට ලක්ව සිටි බවයි. ඔහුට අනුව කර්මාන්තය කඩාවැටීම ඒ වන වනවිටත් ආරම්භ වී තිබී ඇත.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්වරයා පෙන්වා දෙන ආකාරයට බිත්තරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 46යි ශත50ක්ව පවතින මොහොතක පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම ගැසට්ටුව නිකුත් කොට තිබේ. නිෂ්පාදකයන්ගේ විරෝධය නොතකමින් සත්ව පෝෂණවේදීන්, පශූ වෛද්‍යවරුන් සහ සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පවා ඉදිරිපත් කළ දත්ත නොසලකා හරිමින් වෙළඳ අමාත්‍යවරයා සහ පාරිභෝගික කටයුතු මෙම අත්තනෝමතික තීරණයට එළැඹ ඇත.

"නිෂ්පාදන පිරිවැය රුපියල් 46යි සත 40ක්. උපරිම සිල්ලර මිල රුපියල් 43යි. ඒකෙනුත් රුපියල් 4ක් දෙන්න ඕනෑ අතරමැදි වෙළෙන්දන්ට. තවත් රුපියල් 4ක් දෙන්න ඕන සිල්ලර වෙළෙන්දන්ට. එතනින් රුපියල් 8ක් අඩු වුණාම බිත්තරයකට ලැබෙන්නේ රුපියල් 35යි. ආර්ථික අර්බුදයෙන් වසංගතයෙන් සියයට පනහක් වැටිලා තිබුණු කර්මාන්තය තවත් සියයට විස්සක් විතර කඩාගෙන වැටුණා. අධික පාඩු ලැබීම නිසා ගොඩක් බිත්තර ගොවියෝ සත්තු විකුණලා දාලා කර්මාන්තයෙන් ඉවත් වුණා."

මෙරට බහුල වශයෙන් බිත්තර භාවිතයට ගන්නේ ආපන ශාලා, හෝටල්  ඇතුළු මහා පරිමාණ ආහාර නිෂ්පාදකයන්ය. දැනට වෙළෙඳපොළ පවතින බිත්තර හිඟයෙන් ඔවුනට දැඩි බලපෑමක් එල්ල වී ඇත. ඒ පිළිබඳ සාක්ෂි ඕනෑතරම් වෙළෙඳ පොළේදී හමුවේ. බිත්තර හිඟයට විසඳුමක් නොමැති වුවහොත් මුළු රටේම හෝටල් සහ ආපනශාල සම්පූර්ණයෙන්ම වැසීයාමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාද අනතුරු අඟවා තිබුණි.

"මිල අඩු කරනවා නම් අඩු කරන්න වැඩි කරනවා නම් වැඩි කරන්න. කරන දෙයක් කරන්න. මොනවා හරි කරලා අපිට ඕන බිත්තර. නැත්නම් හෝටල් කර්මාන්තය තවත් ඉදිරියට ගෙනියන්න බෑ..."

රටේ පවතින බිත්තර හිඟය හේතුවෙන් ආප්ප, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බිත්තර රොටි, බිත්තර රෝල්, කේක්, පුඩින්, වටලප්පන් යනාදී ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සැලකිය යුතු ලෙස නතර වී තිබේ. ඒ අනුව විශාල පිරිසකගේ රැකියාද අවදානමට ලක්ව ඇති කියැවේ. මෙලෙස බිත්තර හිඟය වැඩි වර්ධනය වන අතර පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් හේතුවෙන් සිල්ලර වෙළෙන්දෝ බිත්තර අලෙවියෙන් ඈත් වූහ.

සතියකට ඉහතදී බිත්තර තොග සඟවන පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසා තිබුණි. රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයන් කෘත්‍රිම බිත්තර හිඟයක් මවාපෑමට උත්සාහ කරන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ගෙවී ගිය සති කිහිපය තුළ පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් සිදුකළේය. ඔවුන් වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් කිහිපදෙනකු අධිකරණ හමුවට පමුණුවා දඩ නියම කිරීමටද පියවර ගෙන තිබුණි. ඒ අනුව උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසලකට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 1,020,000ක දඩ මුදලක් නියම පුවතක්ද ඉකුත්දා වාර්තා විය. මෙවන් වාතාවරණයක් තුළ සිල්ලර වෙළඳුන් බිත්තර අලෙවිය ප්‍රතික්ෂේප කරන බව නිෂ්පාදකයෝ කියා සිටිති.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ අමාත්‍යංශය පාර්ශ්වයේ ආරංචි මාර්ග අනුව, බිත්තරයක් දැනට පවතින උපරිම සිල්ලර මිලට ලබාදිය හැකි බව ඔවුහු තවදුරටත් විශ්වාස කරති. සැබැවින්ම බිත්තර ගැටලුව උභතෝකෝටිකයක් වී ඇත්තේ එබැවිනි. යම් මධ්‍යස්ථ පාර්ශ්වයක් මූලිකත්වය ගෙන මෙම ගැටලුව කඩිනමින් විසඳිය යුතුමය.

මේ අතර වෙනත් රටවලින් බිත්තර ආනයනය කර මෙරට රුකියා දහස් ගණනක් අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඉකුත්දා සිදුකළ ප්‍රකාශයක්ද මාධ්‍ය වාර්තා කර තිබුණි.

බිත්තර ආනයනය කිරීමේ සූදානමක් පිළිබඳ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් අලහකෝන් මහතාද අනතුරු අඟවයි.

"මෙතන ජාවාරමක් තියෙනවා. නැති ප්‍රශ්නයක් මවල ප්‍රශ්නය උඩුදුවන්නට ඉඩහැරලා, ගොවියෝ වෙළඳපොළෙන් ඉවත් කරන්න කටයුතුත් කරලා, රටින් බිත්තර ගේන්න ඔවුන්ගේ සැලැස්මක් තිබෙනවා. ඔය සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ මේ එන නත්තලට නෙවෙයි. 2023 සිංහල අවුරුද්ද බලාගෙන. දැන් ඉඳන්ම බිත්තර හිඟය මවන්නේ ඒ නිසා. අවසානයේ ගොවියොත් කියයි, මහජනතාවත් කියයි, බිත්තර ආනයනය කරලා හරි කමක් නෑ ගෙනත් දෙන්න කියලා. ඒ වෙනුවෙන් තමයි මෙයාලා වැඩ කරන්නේ."

බිත්තර නිෂ්පාදකයන්ද මහජනතාවද පවතින තත්ත්වය හේතුවෙන් විශාල අපහසුතාවයකට මුහුණ දී සිටින බව පැහැදිලිය. ඒ අතර විශේෂයෙන් සිහිපත් කළ යුත්තේ කලකට ඉහත මෙරට බිත්තරවලින් ස්වයංපෝෂිතව තිබූ බවයි. වෙළඳපොළ විසින් බිත්තර මිල තීරණය කිරීම හේතුවෙන් රුපියල් දහයක් දක්වා බිත්තර මිල පහළ බැස තිබුණේ ඈත අතීතයේදී නොවේ. ඉතා මෑතකදීය. ඒ අනුව නිෂ්පාදකයන් පෙන්වා දෙන්නේ උපරිම සිල්ලර මිල ඉවත්කොට කාලයක් ගතවන විට නැවතත් වෙළඳපොළ මිල සුපුරුදු පරිදි අවම වනු ඇති බවයි. එය නිෂ්පාදන ක්‍රියාවලිය හරහා සිදුවන්නක් බව ඔවුහු පෙන්වා දෙති.

තවත් නොපෙනෙන අඳුරු පැතිකඩක් මෙම ගැටලුව අභ්‍යන්තරයේ තිබේ. සාමාන්‍යයෙන් බිත්තර නිෂ්පාදනයට මව්සතුන් අසූ පන්දහසක් පමණ වසරකට ආනයනය කළද මෙවර තවමත් ආනයනය කර ඇත්තේ මව් සතුන් හාර දහසක් පමණ බව කියැවේ. බිත්තර නිෂ්පාදකයන් කර්මාන්තය හැරයාම හරහා මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මේ අනුව බිත්තර ගැටලුව දීර්ඝකාලීන අර්බුදයක් බවට පරිවර්තනය වීමට අවශ්‍ය සියලු සාධක සම්පූර්ණ වී ඇති බව කිවයුතුය. සත්‍ය පවසන්නේ කවුරුදැයි ඔබට කැට තබා කීමට අපට නොහැකිය. එය බලධාරීන් විසින් නිසි විමසුමක් කොට අවබෝධ කොටගත යුතු යථාර්ථයකි. කෙසේ නමුත් මෙම කඹ ඇදිල්ල කෙළවර රටතුළ දැනටමත් නිර්මාණය වී ඇති පෝෂණ ඌනතා ගැටලුව උග්‍රවීම, විරැකියාව වර්ධනය වීම, කුඩා පරිමාණ කර්මාන්ත බිඳවැටීම තවදුරටත් වර්ධනය අනු ඇත. එසේ හෙයින් රජයේ ඉහළ බලධාරීන් මෙය සම්බන්ධව කඩිනමින් අවධානය යොමු කිරීම යහපත්ය.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00