2022 නොවැම්බර් 06 වන ඉරිදා

මරණයට දවසකට පෙර රෙස්කෝට ජීවිතය දුන් රත්තරන් මිනිස්සු

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 373

ජීවිතය යනු මිනිසුන්ට පමණක් උරුම අරුම පුදුම හිමිකමක් නෙවෙයි. මේ මිහිමත වෙසෙන සියලුම සතුන්ට ජීවිතය කියන්නෙ උරුමයක්. එහෙත් ජීවත්වීමේ අයිතිය පවා නඩත්තු කරනුයේ මිනිස්සු. මේ ලෝකයේ ජීවිතයක ජීවත්වීමේ අයිතිය උදුරාගෙන සතුටුවන මිනිසුන් අතරම, මිනිස්සු නොවන ජීවිත හිමි අය වෙනුවෙන් සියල්ල කැප කිරීමට සූදානම් වන මිනිස්සුත් මේ මිහිමත ඉන්නවා. මේ පුංචි කතාව එවන් මිනිස්සු කිහිප දෙනකු කළ වික්‍රමයක් පිළිබඳව.

මේ කතාව ආරම්භ වෙන්නේ කුවේට් දේශයේ වැලි කතරේ ජීවිතය සොයමින් සිටිය පුංචි බලු පැටියකුගෙන්. මේ බලු පැටියාට ජීවිතේ ලැබිලා තිබුණේ අරාබියේ වැලි කතරේ වීදී සුනඛයෙක් විදිහටයි. ඒ වැලි කතරට කර්කෂ සීතල දැනෙන කාලයක්. මේ පුංචි බලු පැටියාට මුණගැහෙනවා අපේ රටේ යුවතියක්. ඇගේ නම තක්ෂිලා රුවිනි. කාන්තාර සීතලෙන් පීඩා විඳිමින් හිටපු මේ පුංචි බලු පැටියාව දෙපාරක් හිතන්නෙ නැතුවම ඇය තමන් සතුකර ගන්නවා. මොකද ඇයත් සියලු සතුන් කෙරෙහි සානුකම්පිත හදවතක් තිබුණු තැනැත්තියක්.

තමන් හිටපු මහල් නිවාසෙට මේ බලු පැටියාව අරගෙන යන තක්ෂි මේ පැංචට නම තියන්නෙ ''රොස්කෝ'' කියලා. ඒත් අලුත් තැනක ජීවිතේ හොයාගෙන ආපු රොස්කෝවත් තක්ෂිවත් නොදන්න රහසක් තිබුණා. ඒ තමයි කුවේට් රටේ සුරතලුන් සම්බන්ධ නීතිය. ඇත්තටම ඒක හරිම භයානක රහසක්.

පුංචි රොස්කෝ ලොකු වුණා. තක්ෂි රොස්කෝට නොසෑහෙන්න ආදරය කළා. ඇය සමඟ ජීවිතයේ තනි නොතනිය දුක සතුට බෙදාගත්තේ මේ රොස්කෝ. රොස්කෝ වෙනුවෙන් පුංචි මුදලකුත් ඇය ඉතුරු කළේ අසනීපයකදී අවශ්‍යතාවයකදී උවමනා වුණොත් කියලා. රොස්කෝ ඇයට දරුවෙක් වගේ වුණා.

මෙහෙම කාලය ගත වෙද්දී තමන්ගේ පරපුරේ හැම කෙනෙක් වගේම රොස්කෝ නිතර නිතර කතා කරන්න පටන් ගත්තා. රොස්කෝගේ ''බව්... බව්'' කතාවලට මහල් නිවාස අසල්වැසියො නම් ප්‍රිය වුණේ නෑ. එයාලා නතර වුණේ රොස්කෝ ගැන මහල් නිවාසේ අයිති කෙනාට පැමිණිලි කරලා.

''දවස් විස්සක් ඔයාට දෙන්නම්. නැත්නම් අපි මේ සතාව අරගෙන යනවා...'' අවසානයේ තක්ෂිට ලැබුණේ නියෝගයක්. එයාලා රොස්කෝව පිටමං කරන්න කියලා කිව්වා.

කුවේට් රටේ නීතිය අනුව එම රටේ පුරවැසියෙක් නොවෙන කෙනෙකුට සුරතලුන් ඇති කරන්න බෑ. රොස්කෝව අරගෙන ගියොතින් මේ වැලි කතරේ බිහිසුණුම අත්දැකීම විඳින්න එයාට වෙනවා. ඒක තමා රොස්කෝයි තක්ෂිලයි නොදැන හිටපු රහස. රොස්කෝගේ ජීවත්වීමේ අයිතිය උදුරාගන්න බලාගෙන හිටියේ හිස හරහා යන මූනිස්සමක්. ඒ මූනිස්සම කිව්වේ ලෝකයේ හැම හදවතකම උන් එක වගේ නැහැ කියලා. ඒ සත්‍ය දැනගත්තාම ඇත්තටම අපේ මේ යුවතියට ඒක දරාගන්න බැරි වුණා. ඇය මුහුණු පොතේ සටහනක් තිබ්බා.

තමන්ගේ ආදරණීය සුරතලාව, ඇය කියන විදියට ඇගේ දරුවා බේරාගන්න උදව් කරන්න කියලා. ඇත්තටම මේ රොස්කෝ ගැන අවධානය ලංකාවේ ආදරණීය මිනිසුන්ගේ අවධානය දිනාගත්තේ එහෙම. කිහිපදෙනකුගේ අවධානය දිනාගත්තද ඒ අවධානය රොස්කෝගේ ජීවිතය වෙනුවෙන් ප්‍රමාණවත් වුණේ නැහැ. මේ අපූරු සුරතලා පිළිබඳ විශේෂ අවධානය යොමුකරපු අය අතරේ සුවිශේෂී චරිතයක් හිටියා. ඒ තමා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වන ආචාර්ය විශාඛා සූරියබණ්ඩාර මහත්මිය. ඇය සතුන්ට අසීමාන්තිකව ආදරය කරන තැනැත්තියක්.

ඉතින් ඇය තක්ෂිලා අමතලා විස්තර අසා දැනගත්තා. හැමෝම හිතුවේ මේක එච්චර අමාරු වැඩක් වෙන එකක් නෑ කියලා. පුංචි මුදලකුත් රොස්කෝ වෙනුවෙන් අතේ තියාගෙන හිටපු තක්ෂි හිතුවේ රුපියල් ලක්ෂ පහක් හයක් විතර වියදම් කරලා රොස්කෝට ලංකාවේ ලස්සන ජීවිතයක් දෙන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම හිතපු තරම් වැඩේ ලේසි වුණේ නෑ. සියලු කටයුතු නිසි පරිදි සිදුකිරීමට විශාල මුදලක් උවමනා වුණා. තමන්ගේ උපරිම දායකත්වය දක්වපු විශාඛා මහත්මිය මේ වැඩේට ඉතිරි මුදල් හොයාගන්න පුංචි කතිකාවතක් නිර්මාණය කර ගත්තා.

අපේ කලා ලෝකයේ ප්‍රකට චරිතයක් වන ඉනෝකා සත්‍යාංගනී මහත්මියත් වැඩේට එකතු වුණා. කවදත් සත්තුන්ට ආදරේ කරන්න සමාජ මාධ්‍යයේ ප්‍රකට චරිතයක් වන චන්ද්‍රිකා මහත්මියත් මේ වැඩේ වෙනුවෙන් අත්වැල් බැඳගත්තා. අවසානයේ සියල්ල සඳහා ඉතුරුවෙලා තිබුණේ දවස් 7ක විතර කාලයක්. මේ සඳහා මුදල් එකතු කිරීමට මේ පිරිස උත්සාහ කළා. හැමදාමත් හැම හොඳ වැඩකට වගේම රොස්කෝගෙ වැඩේටත් බාධා ඇතිවුණා. මේ එකතු වෙච්ච පිරිසගේ සමාජ තත්ත්වයවත් නොසලකා සමහරු මේක වංචාවක් විදියට දැක්කා. තවත් සමහරකුගේ අදහස වුණේ මෙච්චර මුදලක් නම් යන්නෙ නෑ කොහොමටවත් කියලා.

ඒත් සිදුවීමේ ඇත්ත තත්ත්වය දැනගෙන හිටිය අය හිටියා. ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරියකුත් විශාල දායකත්වයක් දැක්වූවා. තවත් ගොඩක් දෙනෙක් පුළු පුළුවන් විදිහට උදව් කළා. පුංචි මුදලකින් වුණත් රොස්කෝගෙ ජීවිතය වෙනුවෙන් උදව් කරපු හැමෝටම තිබුණ බලාපොරොත්තු නම් මහමෙරක්.

අවසානයේ රොස්කෝගේ ජීවිතය වෙනුවෙන් තක්ෂි තව ටික දවසක් කල් ඉල්ලුවා. නමුත් මහල් නිවසේ හිමිකරුගෙන් ඒකට අවසර ලැබුණේ නෑ. රොස්කෝට ජීවත්වීම වෙනුවෙන් ඉතුරුවෙලා තිබුණේ එක දවසක් විතරයි. නමුත් අවසානයේ ආදරණීය මිනිස්සුන්ගේ මෙහෙයුම සාර්ථක වුණා. රොස්කෝ ලංකාවට ආවා. තානාපති නිලධාරීන් වගේම තවත් ගොඩක්දෙනා මේ ගමනට උදව් කරලා තිබුණා. රොස්කෝගේ කතාවට ලස්සන අවසානයක් ලැබුණෙ එහෙම. විශාකා සූරියබණ්ඩාර මහත්මියගේ වදනින්ම කතාව අවසන් කරන්නම්. මොකද දැන් රොස්කෝට ලංකාවේ ආදරය බෙදාදෙන්නෙ ඇය.

''මේ විශ්වය හිමි මිනිසුන්ට පමණක් නොවන බව මානවයින් ලෙස හිතන්නට සංවේදීත්වයක් හා ලොව හුස්ම හෙලන සෙසු ජීවීන් පිළිබඳ සහකම්පනයක් අපට තියෙනවා නම්, මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් වනු නොඅනුමානයි!''


I චමිඳු නිසල් ද සිල්වා