2022 ජුලි 31 වන ඉරිදා

සර්ව පාක්ෂික ආණ්ඩුවකට කැමතිද?

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 46

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන් කරුණු අතර වැදගත් කරුණක් වූයේ පත්ව තිබෙන වියවුල් සහගත තත්ත්වයෙන් රට මුදවා ගැනීමට සියලු පක්ෂ දේශපාලන මතභේද පසෙකලා ආණ්ඩුව සමඟ එක්විය යුතු බවයි. තවදුරටත් ආණ්ඩු පක්ෂය යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකටම අමාත්‍ය ධුරයක් පිරිනැමීමය. නව ජනාධිපතිවරයා පත්කර ගැනීමට පෙර මෙවැනිම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වූ පක්ෂ 11 පමණක් නොව දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය ද දැඩි උනන්දුවෙන් කටයුතු කළේය‍.

කෙසේ නමුත් ආණ්ඩුව යෝජනා කරන නව අමාත්‍ය මණ්ඩලයට අමාත්‍යවරුන් 30 ක් පත් කිරීමට නියමිත බවත් දැනට පත්ව සිටින අමාත්‍යවරුන් 18ට අමතරව කැබිනට් අමාත්‍යවරුන් 12ක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ. දැනටමත් පත් කර ඇති ආණ්ඩුවේ පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මහජන නියෝජිතයෝ කිහිප දෙනෙක්ම අමාත්‍ය ධුර ලබා සිටිති. ඉතිරි අමාත්‍ය ධුර විපක්ෂය නියෝජනය කරන පක්ෂ වෙත ලබා දීම ආණ්ඩුවේ අපේක්ෂාවයි. එබැවින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ කිහිපයකින් දේශය අපි මත විමසුමක් සිදු කළෙමු.

සලකා බලනවා
හර්ෂ ද සිල්වා - සමගි ජන බලවේගය

තාම නිල ඇරයුමක් සමගි ජන බලවේගයට ලැබිලා නෑ‍‍‍. අපේ බොහෝ දෙනාගේ මතයක් තියෙනවා සර්ව පාක්ෂික රජයක් හදන්න ඕන කියලා. ඒකට අපි වැඩපිළිවෙළක් සාකච්ඡා කරලා නිර්මාණය කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ තිබුණු ජනාධිපති මැතිවරණයට අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරනකොට අපි අනිත් පක්ෂ එක්කත් සාකච්ඡා කරලා සකස් කර ගත්ත අවම පොදු ප්‍රතිපත්තිය තමයි ඒ වැඩපිළිවෙළ. පක්ෂයක් විදිහට අපිට ඇරයුමක් ලැබු‌ණොත් අපි බලාපොරොත්තු වෙනවා ඒ අවම පොදු ප්‍රතිපත්තියත් එක්ක සාකච්ඡාවක් කළ යුතුයි කියලා.*
තමාට අමාත්‍ය ධුරයක් ලබාගැනීමේ සූදානමක් ඇති බවට පැතිර ගිය රාවයට පිළිතුරු ලෙස හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ට්විටර් සටහනක් තබමින් එය ප්‍රතික්ෂේප කළේය‍. එමෙන්ම තමන් රජයේ පාර්ශ්වය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බවත් අර්බුදයෙන් ගොඩ ඒමට අන්තර්කාලීන ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව අඛණ්ඩව තමා පෙන්වා දුන් බවත් ඔහු සඳහන් කර තිබුණි.

අපි ඕවට නැහැ
සෙල්වම් අඩෛකලනාදන් - දෙමළ ජාතික සන්ධානය

දෙමළ ජාතික සන්ධානයට ආරාධනයක් ලැබිලා නෑ. ආරාධනාවක් ලැබුණත් එහෙම වැඩසටහනකට දෙමළ ජාතික සන්ධානය යන්නෙත් නෑ. මේ තියෙන තත්ත්වය තුළ දෙමළ ජාතික සන්ධානය අමාත්‍ය ධුර ගන්නෙත් නෑ. සර්ව පාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්නෙත් නෑ.

පක්ෂය තීන්දු කළ යුතුයි
දයාසිරි ජයසේකර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

සර්ව පාක්ෂික ආණ්ඩුවකට තාම ආරාධනයක් ලැබිලා නෑ. එහෙම එකක් ලැබුණොත් පක්ෂයත් එක්ක කතා කරලා තමයි අපි ආණ්ඩුවට සම්බන්ධ වෙනවද කියලා තීරණය කරන්නේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉකුත් දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව පළමුවෙන්ම ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැවින් එවැනි ආරාධනයක් ලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට පක්ෂය සූදානම් බවයි. එමෙන්ම ඉකුත් 28 වැනිදා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිතය.

අපි සූදානම්
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ - 43 සේනාංකය

අපි දිගටම යෝජනා කළේ සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට. එහෙම ආණ්ඩුවක් නම් ගොඩනැගෙන්නේ අපිත් උර දෙන්න සූදානම්. පාර්ලිමේන්තුවේ පක්ෂ නොසලකා මන්ත්‍රීවරු අරගෙන හදන ආණ්ඩුව වෙනුවට පාර්ලිමේන්තුව නියෝජන කරන පක්ෂ සමඟ සාකච්ඡා කර සර්ව පාක්ෂික හෝ බහු පාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් ඒකට එකතු වෙන්න අපි සූදානම්‍. එහෙත් ඒකෙදි කාරක සභා ක්‍රමය අපි යෝජනා කරනවා. කාරක සභා සභාපතිවරු අමාත්‍ය මණ්ඩලයට පත් විය යුතුයි. මීට අමතරව අරගල භූමියේ අදහස්,  අරගලයේ අභිලාෂයන් මේ අන්තර්කාලීන ආණ්ඩුවේ පිළිඹිබු විය යුතුයි. ඒ වගේම ආණ්ඩුව නිශ්චිත කාලරාමුවක් සහ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ඇතුළත පමණක් ක්‍රියාත්මක විය යුතුයි. ඉන් පසු පොදු එකඟතාව අනුව මාස හයකින් හෝ අවුරුද්දකින් සුදුසු පාර්ශ්වයට ජන වරම ලබාගන්න මැතිවරණයකට යා යුතුයි. අපේ මීළඟ වැදගත් කොන්දේසිය තමයි 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම‍. මෙවැනි ආකෘතියක් තුළ අපි සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න සූදානම්.

සහය දෙන්නේ නැහැ
ආචාර්ය හරිනි අමරසූරිය - ජාතික ජන බලවේගය

සර්ව පාක්ෂික ආණ්ඩුවකටවත් අමාත්‍ය ධුරයක් ලබා ගැනීමටත් ආණ්ඩුව පාර්‌ශ්වයෙන් නිල ආරාධනයක් ලැබිලා නෑ. දැන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අවස්ථාවකුත් නෑ‍‍. දැනටමත් ආණ්ඩුවක් පිහිටුවලා කැබිනට් එකකුත් පත් කරලා තියෙනවා. ඉතින් දැන් කොහෙද සර්ව පාක්ෂික ආණ්ඩුවක්. ඒ නිසා අපි ඒකට සහභාගි වෙන්නෙ නෑ. 
එමෙන්ම ජනතා විමුක්ති පෙරමු‌ණේ විජිත හේරත් මහතා මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි. “දැන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවෙන්න කිසිම ඉඩක් නැහැ. ඒ අවස්ථාව මඟහැරිලා ගියා. කෙටි කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි යෝජනා කළා. ඒ ආණ්ඩුව සකස් විය යුත්තේ මේ විදිහට නෙමෙයි. පෑලියගොඩ මාළු මාර්කට් එකේ කුණු මාළු විකිණෙන ගාණට මන්ත්‍රීවරුන් විකිණිලා ජනාධිපතිවරයෙක් පත්වීම තමයි සිදුවුණේ. මෙවැනි ක්‍රමයක් තුළ ජනතාව බලාපොරොත්තු වෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙන්නේ නැහැ.* 

ජනාධිපතිට කල් දෙන්න ඕනෑ
පලනි දිගම්බරම් - ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ

තාම සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනාවක් ලැබිලා නෑ‍‍. අපි පක්ෂ තුනක් (මනෝ ගනේෂන් සහ රාධා ක්‍රිෂ්ණා) එකතුවෙලා මේ සන්ධානය හදලා තියෙන්නේ. නිල විදිහට අපිට ආරාධනයක් ලැබෙනවා නම් අපි දේශපාලන මණ්ඩලයේ සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. අපි එකතු වෙනවා නම් එකතු වෙන්නේ සන්ධානය විදිහට තමයි. මගේ පෞද්ගලික මතය තමයි මේ ජනාධිපතිවරයාට අවුරුද්දක කාලයක්වත් දෙන්න ඕන. එන එන නායකයාට එරෙහිව උද්ඝෝෂණ කරලා හරියන්නෙ නෑ‍. කවුරු හරි රට හදන්න ඕන. හරි ගියේ නැත්නම් ඊට පස්සේ උද්ඝෝෂණ කරන්න ඕන. 

සර්ව පාක්ෂික සමුළුවකින් තීන්දු කළ යුතුයි
විමල් වීරවංශ‍ - ජාතික නිදහස් පෙරමුණ

සියලු පක්ෂවල එකඟතාවයෙන් පිහිටුවන ආණ්ඩුවකට විශේෂ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් විමල් වීරවංශ මහතා පැවසුවේ මෙවැන්නකි. &අර්බුදය විසඳීමට නිශ්චිත ඉලක්ක සහගත වැඩපිළිවෙළක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමටත් මාර්ග සිතියමක් රටට ඉදිරිපත් කිරීමටත් විරෝධතාකරුවන්ගේ නියෝජිතයන්ගේ ද සහභාගීත්වය සහිත සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා එහි එළඹෙන එකඟතා ක්‍රියාත්මක කිරීමට එකඟතා ආණ්ඩුවක් ව්‍යවස්ථානුකූලව පිහිටුවිය යුතුයි. එකඟතා ආණ්ඩුව තුළ ප්‍රතිපත්තිමය සහ උපාය මාර්ගික තීන්දු ගැනීමේ බලය සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන ජාතික විධායක සභාවකට පැවරිය යුතුයි. ඊට අමතරව මහජන සභාවක් පිහිටුවිය යුතුයි. එම මහජන සභාව සහ ජාතික විධායක සභාව ඒකාබද්ධව ජාතික ආවේක්ෂණ සභාවක් පිහිටුවීම මගින් අවම පොදු එකඟතාව ක්‍රියාත්මක කිරීමට අදාළ සමස්ත ක්‍රියාවලිය ආවේක්ෂණයට ලක් කළ යුතුයි.  පොදු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට උපරිමය 30කට සීමාවන අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවිය යුතුයි. ඊට අමතරව සියලුම අමාත්‍යාංශවලට අදාළව පත් කරනු ලබන උපදේශක කාරක සභාවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනා ඔවුන්ගේ කැමැත්ත සහ විශේෂඥතාවන් අනුව පත් කළ යුතුයි.*
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනු ලබන විටෙක එහි අමාත්‍ය ධුර ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂ ද එකඟ වී ඇතැයි වාර්තා වේ. එම පක්ෂ නියෝජිතයන්ගෙන් ඒ පිළිබඳව විමසීමට අප කිහිප වරක්ම උත්සාහ කළ ද පිළිතුරු නොලැබිණි. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය.

 සාකච්ඡා කළේ: සකීෆ් සාම්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00