2022 ජුලි 31 වන ඉරිදා

අපේ සිසුන්ට දොර වසන පිටරට සරසවි

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 57

අහස උසට නැගෙන උද්ධමනය, කඩා වැටෙන මුදල් ඒකකයක් සහ උසුලා ගත නොහෙන අධික ණය බර ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා අසීරු තත්ත්වයකට පත් කර ඇත. මේ ආර්ථික අර්බුදයේ බලපෑම් පුළුල් පරාසයක පැතිරී ඇති අතර, එහි හානිකර බලපෑම දැන් විදේශයන්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් වෙත ද ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබේ. ඔවුන් දැන් ඉල්ලා සිටින්නේ රජය වහාම මැදිහත් වී මේ සම්බන්ධව රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවක් මගින් ඉක්මන් සහනයක් සැලසිය යුතුය කියාය.
අර්බුදයට පෙර ශ්‍රී ලංකාව ශිෂ්‍ය බඳවා ගැනීම් සඳහා ඉතා සරු, වැදගත් දකුණු ආසියාතික පුළුල් වර්ධන වෙළඳපොළක් ලෙස සලකනු ලැබූ රටකි. වසංගතය දක්වා වසර පහ තුළ  විදේශයන්හි සිටින සිසුන් 30,000කට වැඩි සංඛ්‍යාවක් වූ අතර 2019 වසරේ සිට දළ වශයෙන් එය දෙගුණයකින් වැඩි වී තිබුණි. ඒ අන්දමට විදේශගත ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව මෑත වසරවලදී තවත් ඉහළ ගොස් තිබුණි.  

නිදසුනක් වශයෙන් විශාල ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් වාසය කරන කැනඩාවේ, 2020 සහ 2021 අතර පමණක් සිසුන් සංඛ්‍යාව 65% කට වඩා වැඩි වර්ධනයක් දක්නට ලැබුණි.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික සිසුන්ගෙන් බහුතරයක් ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, කැනඩාව හෝ එක්සත් රාජධානිය සිය අධ්‍යාපනය ලැබීමට තෝරාගෙන ඇති අතර, වර්ධනය වන අනුපාතය සමඟ ආසියාවේ, විශේෂයෙන් ඉන්දියාව සහ මැලේසියාව තුළද වඩාත් පුළුල් ලෙස, අනෙකුත් ආසියාතික ගමනාන්තයන් ද සත්කාරකත්වය සපයන්නට ඉදිරිපත්ව තිබුණි.

නමුත් දැන් බොහෝ රටවල් ශිෂ්‍ය බඳවා ගැනීම් සඳහා ශ්‍රී ලංකාව නුසුදුසු ලෙස වෙන්කර ඇති අතරම ඒ රටවල සිටින සිසුන් හටද දැඩි ගෙවීම් නීතිරීති මැද මහත් දුෂ්කරතාවන්ට මුහණ දීමට සිදුව හමාරය.

දේශීය වශයෙන් සිය වියදම් ඉහළ යාමත්, මව් රටෙන් විදේශ මුදල් ලැබෙන මාර්ග අවහිරවීමත් සමඟ බොහෝ ශ්‍රී ලාංකික සිසුන්ට විදේශයන්හි අඛණ්ඩ අධ්‍යාපනය සඳහා අවශ්‍ය ගාස්තු ගෙවීම පවා දැන් මහා අරගලයක්ව තිබේ.

වැඩිදුරක නොව අපේ අසල්වැසි රටේ ලක්නව් හි කථක් නර්තනය හදාරන සිසුන්ට පවා  ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තදින්ම බලපා තිබේ. ඔවුහු මව් රටේ සිටින තම පවුල් ගැන කනස්සල්ලට පත්ව සිටිති.

“අපිට මෙහෙ ඉගෙන ගන්න සල්ලි එවන එක අපේ දෙමාපියන්ට අමාරුයි. රටට ආපහු යන්න පුළුවන් තත්ත්වයක් නැවත ඇතිවෙවි කියලා අපි හිතනවා.” රටේ හටගෙන ඇති අති දුෂ්කර ආර්ථික අලකලංචියත්, ඒ හේතුවෙන් රට තුළ බුරබුරා නැගෙන ගැටුම්කාරී වතාවරණයත් මැද දැන් ඔවුහු එලෙස අතරමංව සිටිති.

මෙය ඉන්දියාවේ පමණක් නොව වෙනත් රටවලද අතරමංව සිටින ලාංකීය සිසුන් සැමට පොදු තත්ත්වයකි. එක් අතකින් අධ්‍යාපන වියදම් දැරීමට අවශ්‍ය මුදල් ලබා දීමට මව්පියන්ට අසීරුය. ඔවුන් සමහරකගේ රුකියා හෝ ආදායම් නැවතී හෝ අවහිරව ගොසිනි. ඩොලරයට සාපේක්ෂව අධි-අව ප්‍රමාණ වූ රුපියලේ අගයෙන් ඉන්දියාවේ මෙන්ම වෙනත් රටවලද දිනෙන් දින ඉහළ යන ඉහළ අධ්‍යාපන වියදම් සම කළ නොහැක. ඒ මදිවාට අධ්‍යාපනය එපා කියා නැවත මෙරට කරා එන්නට සුදුසු ආරක්ෂිත වටාපිටාවක් මෙරට තුළ ද ඇත්තේ නැත. 

දැනට දළ වශයෙන් ශ්‍රී ලාංකික සිසුන් 3,000 ක් පමණ බඳවාගෙන සිටින කැනඩාවේ, නරක අතට හැරෙන අර්බුදය හේතුවෙන් අධ්‍යාපනය අතහැර නැවත නිවෙසට යාමට සැලසුම් කිරීම වඩාත් උචිත තුරුම්පුව ලෙස පෙනී යයි. මේ රට බොහෝ ලාංකික සිසුන් මුහුණ දෙන දරුණුතම ගැටලුව වී ඇත්තේ උපකාරක පන්ති ගාස්තු ගෙවීම ඉතා අපහසු වීමය. නිසි කලට අධ්‍යාපනික වාරික ගාස්තු ගෙවීමට නොහැකි වීමය. ශිෂ්‍යත්ව සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම නිසා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ වූ ගෞරවනීය පිළිගැනීම, ප්‍රතිරෑපය බිඳවැටීමය. උපකාර කිරීමට කැනඩාවේ කිසිදු මූලාශ්‍රයක් නොමැතිව, සිය උපාධිය සම්පූර්ණ කිරීමේ හැකියාවක් මේ බොහෝ දෙනාට නැත.

රුපියල කඩා වැටීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට උපකාර කිරීම සඳහා තම දෙමාපියන්ට තවදුරටත් අරමුදල් යැවිය නොහැකිය. ඒ ලෙසම වෙනදා යැවූ මුදල මෙන් දෙගුණ තෙගුණ වූ මුදලක් දැන් ඔවුනට අවම වුවමනා සපුරා ගැනීම සඳහාත් අවශ්‍යය. ගහෙන් වැටුණු මිනිහාට වුණාක් මෙන් දැන් විශ්වවිද්‍යාල ණය ආධාර ද කපා හැර තිබේ. දැන් මේ පිරිසට උලත් නැත, පිලත් නැත!

මේ වනවිට ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට වැඩි අකැමැත්තක් පෙන්නුම් කරන බව ප්‍රසිද්ධියේම කියා තිබේ. සිසුන් විශ්වවිද්‍යාල ආධාර මත යැපෙන්නන් බවට පත්වීම වැළැක්වීම සඳහා ඔවුන් සම්පූර්ණ අධ්‍යයන වාරික  ගාස්තු එකවර ඉල්ලා සිටීම හෝ ණය ආධාර සැපයීම ප්‍රතික්ෂේප කිරීම වැනි තද නීති පනවා තිබේ. මූලික වාරික ගෙවීම් සිදු කළද අනෙකුත් අවශ්‍යතා සඳහා ඔවුන්ට අවසානයේ ආධාර අවශ්‍ය වේ යැයි බියෙන් දැඩි ලෙස පෞද්ගලික මට්ටමින් කරුණු සොයා බඳවා ගැනීම් සිදු කෙරෙයි. මේ හේතුවෙන් බොහෝ සිසුනට සිය විදෙස් අධ්‍යපන සිහිනය බොඳකර ගැනීමට සිදුව ඇත. තවත් අය ඉදිරි ගාස්තු ගෙවීම සඳහා අවසාන නිවේදන මගින් දැනුම් දී ඇති අවදානම් කාලසීමාවන්හි අතරමංව සිටිති. එසේ නොගෙවුවහොත් ඔවුන්ගේ ඉගෙනීම එතැනින් හමාරය.

එක්සත් රාජධානියේ නීතිය හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින 19 හැවිරිදි අයදුම්කරුවකු පැවසුවේ, “මාව පිළිගෙන තියෙනවා, නමුත් රුපියල දරුණු ලෙස අවප්‍රමාණය වීම නිසා මගේ අධ්‍යාපනයේ මිල දැන් දෙගුණයකින් වැඩිවෙලා.” කියාය. ඇය ඉතුරු කරගත් මුදල් තවදුරටත් ඒ වියදම් පියවන්නේ නැත. විදේශ විනිමය ප්‍රේෂණ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති සීමා කිරීම් පිළිබඳව තමන් කනස්සල්ලට පත්වන බව ද ඇය පැවසුවාය. "මට මුදල් ලැබෙන ක්‍රම තිබුණත්, එවැනි විශාල රුපියල් ප්‍රමාණයක් (එක්සත් රාජධානියේ) පවුම් බවට පරිවර්තනය කිරීමට මට ඉඩ නොලැබෙනු ඇත."

ඇය මීට පෙර අස්ථාවරත්වයට මුහුණ දෙන කලාපවල සිසුන් සඳහා වූ ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කර ඇති අතර දැන් ඒ අවස්ථා අහිමිව ඇත.

ජාත්‍යන්තර සබඳතා සහ දේශපාලන විද්‍යාව හැදැරීමට එක්සත් ජනපදයට සහ කැනඩාවට අයදුම් කළ තවත් ශිෂ්‍යාවක් සඳහන් කළේ ඇයට තවදුරටත් එහි වියදම් දැරිය නොහැකි නිසා ඇයගේ සැලසුම් අත්හැර දැමූ බවයි. ඇය විශ්වවිද්‍යාල කිහිපයකට ප්‍රවේශය ලබාගෙන තිබුණද ඇයට ණය ආධාර සඳහා අනුමැතිය ලැබී නොතිබුණි.

විදෙස් විශ්වවිද්‍යාල මගින් ශ්‍රී ලාංකිකයන් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ හොඳම සහ ළඟම නිදසුන නිව් සවුත් වේල්ස් සරසවියේ මෑතකාලීන නිවේදනයකි.

ඒ අනුව 2022 වසරේ සැප්තැම්බර් මස ඇරඹෙන නව කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකික සිසුන්ගේ අයදුම්පත් බාරගැනීම නවතා ඇතැයි සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය ප්‍රකාශ කර ඇත. දැනටමත් අයදුම්පත්‍රය අනුමත වී ඇති සිසුන් ඉතිරි පාඨමාලා ගාස්තුව ගෙවන ආකාරය ගැන පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බව සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය කියයි.

50% ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා ඇති සිසුන් හට ඉතිරි මුදල ගෙවීමට නොහැකි යැයි හැඟේ නම් එම මුදල ආපසු ලබා දෙන බවද ඔවුහු කියා සිටිති.

දැනට සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් බොහොමයක් නියමිත වේලාවට පාඨමාලා ගාස්තු ගෙවීමට අපොහොසත් වී ඇති බව කියයි. ඒ හේතුවෙන් එම සිසුන් පාඨමාලාවෙන් ඉවත් කිරීමේ අවදානමකට මුහුණ දී සිටින බවත් බ්‍රිතාන්‍යයේ වීසා සහ ආගමන කාර්යාලයේ එම සිසුන් පිළිබඳ පැමිණිල්ලක් ගොනුවීමේ අවදානමක් තිබෙන බවත් පෙන්වා දෙයි. ඒ අනුව 2023 ජනවාරි - පෙබරවාරි කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට අයදුම් කළ හැකි වුණත් ඔවුන් ඇතුළත් වීමේදී සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවිය යුතු බවට තදබල නීතියක් පනවා තිබේ.

සවුත් වේල්සයේ මේ ක්‍රියා පටිපාටියම දැන් බොහෝ විදෙස් සරසවි මගින් ලාංකීය සිසුන්ට දොර වසා දැමීම සඳහා උපයෝගි කරගෙන තිබේ. 

■ සුගත් පී. කුලතුංග ආරච්චි