2022 ජුලි 31 වන ඉරිදා

පාර්ලිමේන්තුවේ විපක්ෂය දෙමංතලාවක!

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 90

පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා පසුගියදා පැවැති සටනට රනිල් වික්‍රමසිංහ මහතාත්, ඩලස් අලහප්පෙරුම මහතාත්, අනුර කුමාර දිසානායක මහතාත් එක්ව සිටියහ. එයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද තරග කිරීමට නියමිතව තිබුණද අවසන් මොහොතේ ඔහු ඩලස් අලහප්පෙරුමට සහය දීමට ඉදිරිපත් විය. එහිදී රජයේ පාර්ශ්වයේ පිල් බෙදීමක් දැකිය හැකි විය. ආණ්ඩුවේ ඇතැම් පිරිස් ඩලස් අලහප්පෙරුම මහතාට සහය දුන් අතර තවත් පිරිසකගේ සහය හිමි වූයේ රනිල් වික්‍රමසිංහ මහතාටය. කෙසේ නමුදු ඡන්ද 134 ලබා ගත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් විය. මෙම ඡන්ද විමසීමේදී විසංවාදී කණ්ඩායමක් ලෙස මතු වූයේ ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායමය. 2019 ජනාධිපතිවරණයේදී සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක් වූ ඇතැම් පක්ෂ මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායම්  ලෙස කටයුතු කරමින් සිටියි.

අපගේ වත්මන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන්නේ සමගි ජනබලවේගය සහ සමගි ජනබල සන්ධානයයි. ඒ හැර ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වූ පක්ෂ 9 කණ්ඩායම, දෙමළ ජාතික සන්ධානය වැනි කණ්ඩායම් සෙසු විපක්ෂ කණ්ඩායම්ය. මේ වන විට මුළු රටම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර ඉන් ජනතාව මුදා ගැනීමට පවතින ආණ්ඩුවට නිෂ්චිත ඉලක්කයක් තවමත් නොමැති බව පෙනේ. විපක්ෂයේ සියලු පිරිස් එක්ව ජනතාව මුහුණ දී ඇති පීඩනයෙන් ගලවා ගැනීමට යම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට ආණ්ඩුවට බලකළ යුතු නමුදු ඔවුනොවුන් අතරද එකඟතාවක් නොමැති බව පෙනෙන්නට ඇත.

එය පසුගියදා පැවැති ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදීද මනාව පැහැදිලි විය. විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව කටයුතු කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද අවසානයේ ඔවුන්ගෙන් ඇතැමෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකර තිබූ බව ඔහුට ලැබුණු ඡන්ද ප්‍රමාණයෙන් පැහැදිලි වේ. මේ පිරිස අතර සමගි ජනබලවේගයේ ඇතැම් පිරිස්ද සිටි බවට දේශපාලන ආරංචි මාර්ගවලින් අනාවරණ විය. සමගි ජනබලවේගය කණ්ඩායම නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනකු වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේම පක්ෂයේ මතයට පිටුපා රනිල් වික්‍රමසිංහ මහතාගේ  අලුත් ආණ්ඩුවේ ඇමතිකම් ලබා ගත්හ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වූ විගස ඔහුගේ පළමු කාර්යය වූයේ රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා පසුගිය 27 වැනිදා පැවැති ඡන්දයේදී ද විරුද්ධ පක්ෂ අතර එකඟත්වයක් නොමැති බව පෙනෙන්ට තිබිණි.. එහිදී හදිසි නීතියට පක්ෂව ඡන්ද 120ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද 63ක් ලැබී තිබිණි. ඒ අනුව වැඩි ඡන්ද 57කින් හදිසි නීතිය ජයග්‍රහණය කළේය. සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානය එයට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර මන්ත්‍රිවරුන් 41 දෙනෙක් ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණ සිටියේ නැත. එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්ද ඇතුළත් වූහ. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චාමර සම්පත් දසනායක මහතා හදිසි නීතියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ස්වාධීන වූ පක්ෂ 9 කණ්ඩායමේ විමල් වීරවංශ, මොහොමඩ් මුසාමිල්, අසංක නවරත්න, ගෙවිඳු කුමාරතුංග, ඩබ්ලිව්. සී. ජේ. සෙනෙවිරත්න, නිමල් පියතිස්ස, උද්දික ප්‍රේමරත්න, ගාමිණි වලේගොඩ, ජයරත්න හේරත් යන පිරිස හදිසි නීතියට පක්ෂව ඡන්දය ලබා දුන්හ. ලංකා කම්කරු කොංග්‍රසයද එයට පක්ෂව ඡන්දය ලබා දුනි. මෙවැනි කරුණු හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂය ද දෙකඩ වී ඇති බව පැහැදිලිව පෙනෙන්ට තිබේ. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරය හදිසි නීතියට පක්ෂව ඡන්දය භාවිත කළ අතර පක්ෂයේ සභාපති ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, ඇතුළු කිහිප දෙනෙක් එයට විරුද්ධව ඡන්දය භාවිත කර තිබේ. ඉදිරියේදී ඩලස් අලහප්පෙරුමට සහය දුන් පොදුජන පෙරමුණු කණ්ඩායමේ 16 දෙනකු පමණ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට සූදානම් වන බවද වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලකයන්ද පසුගිය කාලය පුරාම කියා සිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවටය. නුදුරු දිනයක ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා  සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කරන බවත්,  ඉදිරි වසර දෙකහමාරක කාලයක්  එම සර්වපාක්ෂික ආණ්ඩුව විසින් පාලනය ගෙන යන බවත් මනූෂ නානායක්කාර ඇමැතිවරයා සඳහන් කරයි.  මෙතෙක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කියූ විපක්ෂ කණ්ඩායම් දැන් ප්‍රකාශ කරන්නේ ඉදිරියේ පිහිටුවනු ලබන සර්ව පාක්ෂික ආණ්ඩුවට තමන් එක් නොවන බවය. සමගි ජනබලවේගය හා පක්ෂ 9 ස්වාධීන වූ කණ්ඩායමද, ජාතික ජනබලවේගයද එලෙස ප්‍රකාශ කර තිබේ.. රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තමන් කටයුතු නොකරන බව වාසුදේව නානායක්කාර මන්‍ත්‍රිවරයා මාධ්‍ය හමුවේ පසුගියදා ප්‍රකාශ කළේය.

මනූෂ නානායක්කාර ඇමැතිවරයා කියන පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය වුවහොත්, එහි ඇමැතිකම් ගැනීමට විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් මේ වන විට සූදානම් බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී. ඒ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් පිරිසක් සිටින බවද, ඉදිරියේදී ඔවුන් යළි එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බවද, ඉන් සමගි ජනබලවේගය තුළ දෙකඩවීමක් සිදුවිය හැකි බවටද විවිධ ආරංචි මාර්ග පැතිර යමින් තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

හැදෙන්නේ අහුලාගත් ආණ්ඩුවක්
 - ආචාර්ය දයාන් ජයතිලක

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවද එය සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොව කිසියම් පුද්ගලයන් පිරිසක් අහුලාගෙන ගොඩ නඟන ආණ්ඩුවක් වනු ඇතැයි ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයකු හා රාජ්‍යතාන්ත්‍රිකයකු වන ආචාර්ය දයාන් ජයතිලක  සඳහන් කරයි. විවිධ පක්ෂවල නායකයන් හෝ පක්ෂයේ තීන්දුවක් මත එම පක්ෂය නියෝජනය කරන පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙක් ආණ්ඩුවට එකතු වන්නේ නම් පමණක් එම සර්ව පාක්ෂික ආණ්ඩුවක් වන බව ඔහුගේ මතයයි. ''රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අදහසේ සිටියද එවැන්නක් සිදුවීමේ සම්භාවිතාව ඉතාම අවමයි. ඊට හේතුව නිදහසින් පසු මෙරට ජනතාව කිසිවිටෙක මහජන ඡන්දයෙන් පත් නොවුණු තැනැත්තෙක් රාජ්‍ය නායකයා ලෙස පිළිගෙන නැහැ ඕනෑම නායකයකුට ජනවරමක් තිබිය යුතුයි. ශ්‍රී ලංකාව යනු ආසියා, අප්‍රිකා මහද්වීප දෙකෙහිම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපනය කළ පැරණිම රාජ්‍යයයි. මෙරට ජනතාව 69 ලක්ෂයක ඡන්දයෙන් බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාව එළවා දැමීමට ක්‍රියා කළේ එතුමා ජනවරමට පිටුපා කටයුතු කළ බැවිනුයි. එවැනි ජනතාවක් ජනවරමක් නොමැති නායකත්වයක් පිළිගැනීමට සූදානම් යැයි සිතන්නට බැහැ. එවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරැණු විට කිසිම පක්ෂයක් එම ආණ්ඩුවට එකතුවේයැයි සිතන්න අපහසුයි. ඒ නිසා ඇතැම් විට පුද්ගලයකු දෙන්නකු විනා සමගි ජනබලවේගයෙන් කොටසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවනු ඇතැයි සිතිය නොහැකියි. මේ අවස්ථාවේ විපක්ෂය කළ යුත්තේ පාර්ලිමේන්තුව තුළ මෙන්ම එයින් පිටතද ජනවරමක් නොමැති පාලකයකුට විරැද්ධව අරගල කිරීමයි. විපක්ෂයේ ප්‍රධාන පක්ෂ අතර යම් තරගයක් තිබෙනවා. මේ අවස්ථාවේ ඔවුන් සියලු දෙනා පොදු එකඟතාවකට පැමිණිය යුතුයි. එවිට ජනතාව අත්විඳින අර්බුදයෙන් කඩිනමින් ගොඩ එන්නට හැකි වේවි. එහෙත් මේ වන තෙක් එවැනි පොදු පෙරමුණකට ඔවුන් එක්වී නැහැ.'' යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි. 

 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00