2022 ජුලි 31 වන ඉරිදා

පොහොට්ටුව දෙකඩ වීම

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 116

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෑතකාලීනව දේශපාලනයේ විශිෂ්ටතම මැතිවරණ ජයග්‍රහණයන් ත්‍රිත්වයකට උරුමකම් කියනු ලබන පක්ෂයකි. එසේම ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසේ දැවැන්තම මහජන විරෝධයටද ගොදුරු වූයේ එම පක්ෂයයි. මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් පක්ෂයේ ඉරණම පිළිබඳ සංවාද විසංවාද රැසක් දේශපාලන කරළියේ පවතීයි. මන්දයත් අද වනවිට පක්ෂ අභ්‍යන්තරය බෙදීමට නිල පිළිගැනීමක් පවා ලැබී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සෘජුවම වෙන් වූ පිරිස් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට සැරසෙන බව රටම දන්නා ප්‍රසිද්ධ රහසකි. අනුප්‍රාප්තික ජනාධිපති සටනට ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජිකයන් මෙම නව දේශපාලන ව්‍යාපාරය උදෙසා මේ වනවිටත් පිඹුරුපත් සකසා අවසානය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් හා පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමත් සමඟ නිල වශයෙන් මෙහි පළමු වෙඩිමුරය දැල්වුණි.

ඩලස්, ජී.එල්. කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 ක් පමණ ඇතුළත් බව කියැවේ. ඒ අනුව චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, අනුර පියදර්ශන යාපා ඇතුළු පිරිසක් මේ සඳහා නායකත්වය ලබාදෙමින් සිටිති. මෙහි සුවිශේෂී බව වන්නේ මෙම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් පක්ෂයේ සාමාජිකත්වය දරන්නන් වීමයි. ඒ අනුව මෙම ක්‍රියාදාමය පොහොට්ටු පක්ෂයේ පළමු නිල බිඳීම ලෙස හඳුන්වාදිය හැකිය. කෙසේ වෙතත් මෑතකාලීනව සිදු වූ බොහෝ දේශපාලන සිදුවීම් වර්තමාන මොහොත නිර්මාණය කිරීම උදෙසා දායකත්වය සපයා තිබේ. එම නිසාම මෙම බිඳීමේ අක්මුල් ගලපා ගැනීම අදට ඉතා කාලෝචිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර නායයාම ආරම්භ වූයේ හවුල්කාර දේශපාලන පක්ෂ විසින් එල්ලකරනු ලැබූ පීඩනය හමුවේය. පළමු අදියරේදී ඔවුහු හවුල්කාර දේශපාලන පක්ෂ සමඟ ප්‍රසිද්ධ ගැටුම් ඇතිකරගත්හ. දෙවැනුව ඔවුන් එම පක්ෂ සිය සන්ධානයෙන් නෙරපා හැරියේය. සිය පක්ෂය සතු විශාල මන්ත්‍රී ආසන ප්‍රමාණය පිළිබඳ වූ අධිතක්සේරුව පොහොට්ටු පක්ෂයේ විනාශයට මූලික හේතු වූ බව පෙනී යයි. එසේම පක්ෂය අභ්‍යන්තරයේ පුද්ගලවාදී බෙදීම් පදනම් කරගෙන ඇතැම් කොටස් නොතකා හැරීම හරහාද ඔවුන් මෙම පක්ෂය කරා රුගෙන ආවේ විනාශයි.

2020 වසරේ අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 145ක් දිනා ගත්තේය. ඔක්තෝබර් මාසේ වනවිට පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ තවදුරටත් සිය බලය තහවුරු කරගනිමින් විසිවන සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 156 දෙනකුගේ කැමැත්ත ලබාගැනීමට ඔවුහු සමත් වූහ. ඒ අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකට හිමිකම් කියන දේශපාලන ව්‍යාපාරයක නායකත්වයට පොහොට්ටුව පත්විය.

කෙසේ වෙතත් මෙම සංයුතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් මන්ත්‍රී ආසන 14ක් සහ සෙසු හවුල්කාර පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15ත් 20ත් අතර ප්‍රමාණයක් සිටියහ. පළමු අදියරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හවුල්කාර පක්ෂ කිහිපයක් ආණ්ඩුවෙන් ඉවත් වූහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙක් මෙන්ම අවුල් හවුල්කාර පක්ෂ නියෝජනය කරන කිහිප දෙනෙක් ද තවදුරටත් පොදුජන පෙරමුණට සහාය දක්වමින් එහි රැඳී සිටියහ.

ආර්ථික බිඳවැටීම හා දේශපාලන අරගලය වර්ධනය වීමත් සමඟ පළමුවරට සෘජුව පක්ෂ සාමාජිකත්වය දැරූ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වූහ. ඊට නායකත්වය සැපයූවේ අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත ඇතුළු පිරිසකි. මේ සමගම පක්ෂ අභ්‍යන්තරයේද විවිධ බිඳවැටීම් වාද විවාද විරෝධතා නිරෑපණය විය. මැයි නම වැනිදා ගෝල්පේස් ප්‍රහාරය හේතුවෙන් ඇතිවූ කෝලාහලයත් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේ ඒ අතරය. ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය පිරිස් නැවත සම්මුතික සන්ධානයකට පිවිසියේය.

එහෙත් ආර්ථික පීඩනය ඉහළ යාමත් ආණ්ඩුව තුළින් සර්වපාක්ෂික භාවයක් නිරෑපණය නොවීමත් හේතුකොටගෙන අරගලය නැවත බලවත් විය. අවසාන ප්‍රතිඵලය වූයේ ජූලි නම වැනිදා ජනාධිපති මන්දිරයේ වටලෑම දක්වා තත්ත්වය විකාශය වීමය. නැවතත් පක්ෂ අභ්‍යන්තරය නිර්මාණය වී තිබූ යම් යම් සම්මුතික එකඟතාවන් බිඳී ගියේය. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉවත්වීමත් සමඟ අනුප්‍රාප්තික ජනපති සටන ඇරඹිණි. වර්තමාන පොදුජන පෙරමුණ බිදීයෑමට ආසන්නතම හේතුව එයයි.

රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත්කිරීම සඳහා වූ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 101 දෙනෙකු ඔහුට සහයෝගය දුන් බවද කියවේ. එය සත්‍යයක් නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් පක්ෂ සන්ධානයෙන් ඉදිරිපත්ව ජය ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය හතළිස් පස් දෙනාගෙන් 44 දෙනෙක් තවදුරටත් එම පක්ෂය සමග කටයුතු නොකරති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සෙසු පක්ෂ එකමුතුවේ මන්ත්‍රීවරුන් සැලකූ විට සෘජුවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් පක්ෂයෙන් බිඳී ගිය 16 දෙනෙකුට ආසන්න පිරිසක් මෙහි වන බව පැහැදිලිය.

වාස්තවික දේශපාලනික තත්ත්වයන් සලකා බලන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන් වූ ඩලස් ඇතුළු පිරිස දේශපාලන පක්ෂයක් පිහිටුවීම ඔවුන්ට සාපේක්ෂව කාලෝචිතය. මන්ද පොහොට්ටුවට ලැබුණු 69 ලක්ෂයක ජනවරම ඉදිරි මැතිවරණයකදී සීසීකඩ කැඩී යාමට නියමිතය. දේශපාලන පක්ෂයක් බිහි කිරීම හරහා ඔවුනට ඉන් යම් කොටසක ජනවරමකට උරුමකම් කීමට අවකාශය සැලසෙයි.

පක්ෂ නිර්මාණය කිරීමෙන් අනතුරුව දැනට ඇති දේශපාලන ආරංචි අනුව ආණ්ඩුවෙන් වෙන්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල්-උදය පක්ෂ 10 කණ්ඩායම සමඟ මෙම නව පක්ෂය සන්ධාන ගතවනු ඇත. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ධාරාව බවට පත්වීම ඔවුන්ගේ අරමුණ බව පෙනී යයි. මෙම කණ්ඩායම විපක්ෂ නායකත්වයට පවා අභියෝග කිරීමට ඉඩ ඇති බව වාසුදේව නානායක්කාර වැනි දේශපාලන චරිත සිදුකරනු ලැබූ ප්‍රකාශයන් හරහා පෙනී යයි.

මේ වනවිට විපක්ෂයේ බහුතර බලය දරන සමගි ජන බලවේගයට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරීම හේතුකොටගෙන ප්‍රබල අභියෝගයක් එල්ල වී තිබේ. ඉදිරියේ නිර්මාණය කරන බව කියන සර්ව පාක්ෂික ආණ්ඩුවකට තනතුරු වෙනුවෙන් සමගි ජනබලවේගයේ යම් බෙදීමක් නිර්මාණය විය හැකි බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි. එවන් බෙදීමක පැහැදිලි වාසිය පොහොට්ටුවෙන් වෙන් වූ පිරිස් විසින් ගොඩනගන සන්ධානය ලබාගනු ඇති ඔබ පැහැදිලිය. කෙසේ වෙතත් ජනපති වික්‍රමසිංහ වරප්‍රසාද අභියෝගය ඔවුන් කෙරෙහිද බල පවත්වයි.

තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ බැඳී සිටින මහජන නියෝජිතයන්ගේ මූලික අවශ්‍යතා කිහිපයකි. පළමුවැන්න පාර්ලිමේන්තුවේ සම්පූර්ණ දුර කාලය ගතකිරීමයි. කල් ඇතිව පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔවුන්ට පොරොන්දු වී ඇති බව විපක්ෂය චෝදනා කරන්නේ එබැවිනි. පොහොට්ටුවේ තවදුරටත් රුඳී සිටින පිරිසගේ දෙවැනි අවශ්‍යතාවය නම් සිය පෞද්ගලික ආරක්ෂාව සහ දේශපාලන සුරක්ෂිත බව තහවුරු කර ගැනීමයි. ඒ උදෙසා රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු දී ඇති බව ප්‍රසිද්ධ කරුණකි.

එහෙත් වර්තමාන තත්ත්වය කවරක් වෙතත් රට තුළ පවත්නා ආර්ථික සාමාජීය දේශපාලන වටපිටාව මත අනාගතය නිශ්චිත අදහසක් ඉදිරිපත් කිරීම අපහසුය. මැතිවරණයක් අභිමුව සියල්ල වෙනස් වී යා හැකිය. කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් පක්ෂය සිය අනන්‍යතාවය මකා වෙනත් මුහුණුවරකින් ඉදිරියට පැමිණීමට උත්සාහ දැරීමට ඉඩ තිබේ. ඒ පිළිබඳ යම් දේශපාලන ආරංචි ලැබෙමින් තිබේ.

එසේම පොහොට්ටුවෙන් බිඳී ගිය පිරිස් ගොඩනගාගන්නා සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළටද අවතීර්ණ වීමට ඉඩ තිබේ. ඒ සඳහා ඉදිරියේදී නිර්මාණය වන දේශපාලනික ගැටුම් ඔවුන් භාවිතා කරනු ඇත. කවරක් වෙතත් ආසන්න මැතිවරණයකදී පොදුජන පෙරමුණ නම් පක්ෂයට ශ්‍රී ලාංකීය දේශපාලන භූමියේ නිර්මාණය වී ඇත්තේ අවාසිසහගත පසුබිමකි. එම නිසාම අප මතක තබාගත යුතු කරුණකි. ලාංකීය දේශපාලනඥයෝ අවසන් මොහොතේදී ගිලෙන නැව්වලින් පලායාමට දක්ෂයෝය.

 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00