2022 ජුලි 24 වන ඉරිදා

තෙල් බෙදන අලුත් ක්‍රමය!

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 370

ඉස්සර අපි ඉන්ධන පෝලිමක වාහන හතරක් පහක් තිබුණොත් වෙලාව ප්‍රමාදයි කියා වෙනත් පිරවුම්හල්වලට ගියෙමු. එහෙත් මේ වනවිට තෙල් පෝලිම් දකිද්දී එහෙම රටකට මෙහෙම කලක් ගිය හැටි කනගාටුදායකය. ඉන්ධන පිරවුම්හල්වල ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවලට තිත තබමින් මේ වනවිට ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමයක් රජය විසින් හඳුන්වා දී තිබේ. 

වාහනයේ අංක තහඩුවේ නොම්මරයට ලබාදෙන කිව්.ආර් කේතයක් මගින් සතියකට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට ජනතාවට මේ වනවිට අවස්ථාව සැලසී ඇත. මේ යටතේ ඉදිරියේදී ලංකාවේ සියලුම වාහන ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බවත් ලියාපදිංචි නොමැති වාහනවලට ඉන්ධන ලබා නොදෙන බවත් බලධාරීහු පවසති. කිව්.ආර් කේතය මසහිරෝ හරා නමැති ජපාන ඉංජිනේරුවකු විසින් 1994 දී ලොවට හඳුන්වා දෙනු ලැබූවකි.

මෙම ලිපිය පළවන මොහොත වනවිට ජාතික ඉන්ධන බලපත්‍රය යනු කුමක්දැයි බොහෝ දෙනා දනිති. ඒ පිළිබඳ අටුවා ටීකා පැවසීමට අනවශ්‍යය. මේ වනවිට මෙම නිපැයුම හා  ලියාපදිංචිය ලබා සිටින ලක්ෂ 30 කට ආසන්න පිරිස එයට සාක්ෂි දරති. අපේ රටේ නිතරම දක්නට ලැබෙන්නේ අග මුල පැටලෙන අපබ්‍රංශ වැඩය. එහෙයින් ඉන්ධන කේතයත් තවත් එක් අපබ්‍රංශයක් නොවීමට නම් මතුවන ප්‍රශ්නවලට පැහැදිලි මගපෙන්වීමක් අවශ්‍ය සේම මෙම ක්‍රමයමෙහි හොඳ නරක පෙන්වා දීම සුදුසුය.
බලපත්‍ර අයැදුම්පත පිරවීමේදී මතු වූ ප්‍රශ්න ගණනාවකට උත්තර සොයා ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ පරිගණක පද්ධතියේ නිමැවුම්කරුවන් සොයා අපි ගියෙමු. එහිදී මෙම පරිගණක පද්ධතිය සම්බන්ධයෙන් එල්ල වන ප්‍රධාන චෝදනාවක් වනුයේ වාහන වර්ග 6කට පමණක් ඉන්ධන නිකුත් කිරීමෙන් අනෙක් අවශ්‍යතා සඳහා ඉන්ධන ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කර නැති බවයි. එහිදී මෙම ව්‍යාපෘතියේ පළමු පියවර වශයෙන් මේ වනවිට ආරම්භ කර ඇත්තේ රථවාහනවලට ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදයයි. එහෙයින් බහුල වශයෙන් භාවිත වන වාහන වර්ග 6 ක් වන කාර්, යතුරුපැදි, ත්‍රිරෝද, වෑන්, බස් සහ ලොරි යන වාහන වර්ග 6 ට පමණක් පළමු අදියරේදී ඉන්ධන නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ මූලික වශයෙන් පිරවුම්හල් අසල දක්නට ලැබෙන ඉන්ධන පෝලිම් සහ මාර්ගයේ තිබෙන වාහන තදබදය අවම කිරීමත් මිනිසුන් පෝලිම්වල විඳින අපහසුතාව වැළැක්වීමත්ය. 

වාහන විශාල සංඛ්‍යාවක් ඇති මහා පරිමාණ ව්‍යාපාරික ආයතනවල වාහන සඳහා ඔවුන්ගේ සියලුම වාහන ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කිරීමට අව්‍යශ්‍ය ක්‍රමවේදයක් ලබාදීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ඉදිරි අදියර දෙකකින් සමන්විත වන අතර ඉදිරියේදී ජෙනරේටර්, ධීවර බෝට්ටු, තණකොළ කපන යන්ත්‍ර, ගොයම් කපන යන්ත්‍ර ආදී කාර්මික උපකරණ සහ මහා පරිමාණ ආයතනවල ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට කටයුතු සැලසුම් කර ඇත. ඒ වගේම පළමු අදියරේදී පෙට්‍රල් සහ ඩීසල් පමණක් නිකුත් කරන අතර ඉදිරි අදියරේදී එයට භූමිතෙල් ඉන්ධනයද ලබාදීමට කටයුතු කරයි.

මේ සම්බන්ධයෙන් එල්ල වන තවත් චෝදනාවක් වනුයේ ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොමැති බවයි. සතියකට අවශ්‍ය ඉන්ධන දින දෙකකදී දිවයිනේ ඕනෑම ඉන්ධන පිරවුම්හලකදී ඉන්ධන ලබාදීමට පහසුකම් සලසා ඇත. එසේම එක් පුද්ගලයකුට එක් වාහනයක් පමණක් ලියාපදිංචිය සිදුකළ හැකිය. එසේම ඉන්ධන පිරවුම්හල්වලදී වාහනයට අදාළ කේතය පරීක්ෂා කරන ආකාරය පිළිබඳ කිසිදු පැහැදිලි කිරීමක් සිදු කර නොතිබුණි. ඉන්ධන පිරවුම්හල්වල සේවය කරන අවම සේවක පිරිස යටතේ මෙම කේතය පරීක්ෂා කරන්නේ පොම්පකරුද එසේත් නැතිනම් අනියුක්ත කරනු ලබන වෙනත් තාක්ෂණ ක්‍රියාකාරිකයකුද යන්න ප්‍රශ්නයකි. මේ සම්බන්ධයෙන් අප සොයා බැලීමේදී තහවුරු වූයේ මෙම වගකීම පොම්පකරුට ලබාදීමට නොහැකි බවත් ඉන්ධන හල් හිමියාට හෝ කළමනාකරුට මෙම වගකීම බාරදීමට කටයුතු කරන බවත්ය. ඔහු වගකීම බාරගත යුතුය. පම්ප් ඇන්ඩ් සම්ප් ක්‍රමය අනුව පොම්පවලින් දවසට ඉන්ධන නිකුත් කරන ප්‍රමාණය සම්ප් එකෙන් අඩුවෙන ප්‍රමාණයට සමාන විය යුතුය. මෙම ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා පොලීසිය සමඟ ද සාකච්ඡා කර පොලිසියෙනුත් අවශ්‍ය සහාය ලබාගැනීමට අපි කටයුතු කරමු. එසේම දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීමේදී යොදන දුරකතන අංකය ඉන්ධන ලබාගැනීමට පැමිණෙන පුද්ගලයාගේ දුරකතන අංකයම විය යුතු නැති බවත් රියැදුරකු මගින් ඉන්ධන ලබාගැනීමේදී වාහන හිමිකරුගේ දුරකතන අංකය මෙම යෙදීමෙන් වාහන හිමිකරුට දවසට අදාළ ඉන්ධන ලබාගත් සම්පූර්ණ ප්‍රමාණය දිනය වේලාව පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට හැකිවෙයි. කිව්.ආර් සංකේතය ක්‍රියාත්මක කිරීමේදී ජංගම දුරකතන ඉන්ධන පිරවුම්හල්වලට ගෙන යෑමෙන් පිරවුම්හල් අවදානම් සහගත තත්ත්වයකට මුහුණ දෙන බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල රක්‍ෂණ ආවරණය ඉවත් කරන බවත් රක්‍ෂණ සමාගම් දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තාවල කියැවිණි. ඒ හේතුවෙන් කිව්.ආර් ක්‍රමයට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවූ බවට බලශක්ති අමාත්‍යංශය නිවේදනය කළේය. එහෙත් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සිය ස්ථාවරය පැහැදිලි කරමින් නිවේදනය කර ඇත්තේ එවන් ප්‍රකාශයක් කිසිදු රක්ෂණ සමාගමක් සිදු කර නොමැති බවත් ඉන්ධන බලපත්‍රය ක්‍රියාවට නැංවීම හේතුවෙන් රක්ෂණය අවලංගු නොවන බවත්ය. නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයක් ඉල්ලනවා කියා අපේ ගම්වල කතාවක් තිබේ. 

“ඉන්ධන පාරිභෝගිකයාට කිව්.ආර් කේතයේ පිටපතක් ඉදිරිපත් කරන්න පුළුවන්. එම කේතය පිටපතක් ගෙන ලැමිනේටින් කර ආරක්ෂා කරගන්නට පුළුවන්. වාහන හිමිකරුවන්ට වාහනයේ ඉදිරිපස වීදුරුවේ මෙම කේතය අලවා තැබීමට පුළුවන්. යතුරුපැදිකරුවන්ට කේතය හැඳුනුම්පතක් ආකාරයට සකස් කරගෙන ළඟ තබාගන්න පුළුවන්. එවිට පාරිභෝගිකයන් පිරවුම්හල්වල දුරකතන භාවිත කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේමයි පිරවුම්හලේ කේත පරීක්ෂාකරුවන්ටත් එම කේත පරික්ෂණ කටයුතු වෙනත් තාක්ෂණික උපකරණයක්, පරිගණකයක් මගින් හෝ ඉන්ධන පොම්පවලට යම් සාධනීය දුරක සිට දුරකතන මගින් හෝ එම පරීක්ෂණ කටයුතු සිදුකර පිරවුම්හලට පාරිභෝගිකයන් ඇතුළු කළ හැකියි. එවිට එම පිරවුම්හල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු නොවෙයි.” 

සතියේ ලබාදෙන තෙල් ප්‍රමාණය පිළිබඳ යෙදවුමේ කිසිදු සටහනක් නොමැති බවට ජනතාව චෝදනා කරති. සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රියේදී එම ආරම්භක සතියේ තෙල් ප්‍රමාණ තීරණය කරනු ලබන බවත් කෝටාව අලුත් වන බවත් තෙල් නැව් ලැබෙන ප්‍රමාණයට සහ තෙල් ප්‍රමාණ සලකා බලා සැමට සාධාරණව බෙදී යන ආකාරයට අදාළ සතියේ තෙල් ප්‍රමාණ තීරණය වෙයි. එසේම යමකුට සතියේ අදාළ දින දෙකෙහිදීම යම් හේතුවකට තෙල් මිලදී ගැනීමට නොහැකි වුවහොත් එය ඉදිරි සතියකට වලංගු වනවාද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා විමසති. එහිදීත් සෑම සතියකම ලබාදෙන තෙල් ප්‍රමාණ එම සතියෙන් අවසන් වන බවත් නැවත එම තෙල් ප්‍රමාණ ඉදිරි සතියකට වලංගු නොවෙයි.

මීළඟට මතුවන ප්‍රශ්නය වන්නේ තමන්ට ලැබෙන දින දෙකට අමතරව හදිසි අවශ්‍යතාවකට ඉන්ධන ලබාගැනීමට හැකිද යන්නයි. එහිදී සැමට සාධාරණත්වයෙන් ඉන්ධන බෙදාහැරීමේ අරමුණින් දින දෙකක් නම් කර ඇති බවත් ඊට අමතරව අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවකදී ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් ඇති බවත් පැවසේ. උදාහරණයක් ලෙස කොළඹ පදිංචිකරුවකුට හදිසියේ බණ්ඩාරවෙලට යාමට අවශ්‍ය වුවහොත් ඔහුට ලීටර් 10 ක් ගහලා බණ්ඩාරවෙල ගිහින් නැවත කොළඹ පැමිණීමට නොහැකිය. එහිදී ඔහු ගමනට පෙර ඒ පිළිබඳ යම් දැනුම්දීමක් කළහොත් ඔහුගේ ගමනට අදාළ ඉන්ධන ප්‍රමාණය ලබාදීමට කටයුතු කරයි. ගූගල් මැප් මාර්ගයෙන් ඔහුගේ අවශ්‍යතාවේ සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කර බලා ගමනාන්තය වන බණ්ඩාරවෙලදී ඔහුගේ ගමනට අඩුපාඩු වන ඉතිරි ඉන්ධන ප්‍රමාණය ලබාගැනීමට හැකි ක්‍රමයක් මහජනතාව වෙනුවෙන් සකසා ඇත. 

“අපේ ආයතනයේ හැටියට අපට කළ හැකි වන්නේ තාක්ෂණික දායකත්වයක් සැපයීමයි. පෝලිම් නැති කිරීමට සහ ඉන්ධන ක්‍රමානුකූලව බෙදාහැරීමට මෙන්ම ලැබිය යුත්තාට නිසි ඉන්ධන ප්‍රමාණය ලබාදීමට හැකි නම් මේ අවස්ථාවේ සිදුකළ හැකි වැදගත්ම දෙය එයයි. අඩු වියදමකින් ඉතා පහසුවෙන් අපේ රටේ මිනිසුන්ට සුදුසු ක්‍රමවේදයක් සැකසීමට අප කල්පනා කළා. මෙම දත්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී අපට ආ පළමු අභියෝගය වූයේ ඉන්දියන් ඔයිල් සමාගම සහ සිපෙට්කෝ සමාගම එකට සම්බන්ධ කිරීමට සිදුවීමයි. ඒ ඒ සමාගම්වලට වෙන වෙනම ඉන්ධන ලැබුණද මෙම ක්‍රියාවලියේදී නිසි ආකාරයට ඉන්ධන බෙදාහැරීමට අවශ්‍ය දත්ත ලබාගැනීම සඳහා එම ආයතන ඒකාබද්ධ කළ යුතු වෙනවා. එය එක දත්ත පද්ධතියක් හරහා ඇතුළත් කර ලංකාවේ ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට හැකි ලෙස සකස් කර තිබෙනවා. මේ ආකාරයට ඉන්ධන ලබාදීමට වාහනයක නොම්මරයක් තිබුණාම ඇති. එහෙත් මතු අනාගතයේ වෙනත් ප්‍රශ්න ඇති විය හැකි බවට අපේ පළපුරුද්දෙන් අපි අනුමාන කර වාහනයේ චැසි නොම්මරය මෙම පද්ධතියට යෙදීමට ක්‍රියා කළා. මේ සඳහා ජාතික හැඳුනුම්පත් අංකය යෙදීමෙන් දත්තවලට නීත්‍යානුකූල වලංගුභාවයක් ලැබෙනවා. අපි  කළ පර්යේෂණයක් අනුව සම්පූර්ණයෙන්ම පෝලිම් ක්‍රමය නැතිවෙනවා කියා අපි හිතනවා. මෙම ක්‍රමය මුල් කාලයේදී සාමාන්‍යයෙන් පැයකට අඩු පෝලිමක් යයි කියලා. ඒ වගේම ත්‍රිරෝද සහ යතුරුපැදිවලටත් බර වාහන සඳහා වෙන වෙනම පිරවුම්හල් යොදාගැනීමටත් අපි අපේක්ෂා කරනවා.”
මෙම තාක්ෂණික ක්‍රියාදාමයේ නියමුවා වන තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජයන්ත සිල්වා මහතා මෙම උත්සාහයේ මිහිරි අමිහිරි ඵල පිළිබඳ එසේ අදහස් දැක්වූයේය.

මෙම පද්ධතියට පාරිභෝගිකයා ඇතුළත් කරන වාහනයේ නොම්මරය සහ චැසි නොම්මරය යන දත්ත දෙක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් එම අවස්ථාවේදීම සත්‍ය අසත්‍ය බව පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු ලියාපදිංචිය සිදු කරනු ලබයි. එහෙත් අප හරි වෙනස් ජාතියක් යැයි අපි නිතරම පවසමු. මෙම පද්ධතිය හඳුන්වා දුන් දිනයේ පමණක් මෙම පද්ධතියට වැරුදි දත්ත විශාල ප්‍රමාණයක් ඇතුළත් කර තිබූ බවත් අනුන්ගේ වාහනවල නොම්මර පවා යොදා තිබූ බවත් තාක්ෂණික වාර්තාවල සඳහන් වෙයි. ඒ මොන සෙල්ලම් දැමුවත් කිව්.ආර් කේතය ලැබෙනුයේ දත්ත නිවැරදිම නම් පමණකි. එයින් ව්‍යාජ උප්පරවැට්ටි මගින් ලියාපදිංචි කිරීම් වැළකෙයි. එය මෙහි සුවිශේෂීතාවකි.

පිරවුම්හල්වල ඉන්ධන ටැංකිවල පවතින ඉන්ධන ප්‍රමාණය බලාගැනීමට ඉදිරියේදී ඉලෙක්ට්‍රොනික් සෙන්සර්ස් පිරවුම්හල් සඳහා යෙදීමට ද බලාපොරොත්තු වෙයි. එහිදී අඩුවෙන ගාණ ස්වයංක්‍රීයව පෙන්වන අතර අදියරෙන් අදියරට මෙවැනි තාක්ෂණික පියවර අනුගමනය කිරීමට මේ වනවිට කටයුතු සූදානම් කර ඇත. එමෙන්ම මෙම මෘදුකාංගයේ ඇති අමතර පහසුකමක් වනුයේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කළ හැකි වීමයි. කොළ, කහ, රතු වර්ණයන්ගෙන් පිරවුම්හල් නම් කර යමකු දුර ප්‍රදේශයකට යනවා නම් ඒ ගමන යාමට පෙර යන අතරමග පිරවුම්හල්වල ඉන්ධන ප්‍රමාණය බලාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබේ. 

උපයන ආදායම හැම මාසයකම මේ ආකාරයට තෙල් උදෙසා පුච්චා දැමීම ජාතික අපරාධයකි. ඩොලර්වලින් ගෙවා තෙල් ගෙන්නන අපි අල්ලපු ගෙදර මිදුලට යන්නේත් ඒසී වාහනයේය. එසේ නැතිනම් යතුරුපැදියේය. ඒ තරමට දියුණු ජාතියකි. කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන් කියා කතාවක් ඇත. එහෙයින් මේ තාක් කිසිදු වගවිභාගයකින් තොරව නාස්ති කර දැමූ මෙම ඉන්ධන භාවිතය යම්තාක් දුරකට හෝ අවම කර ගනිමින් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට සහ තම දෛනික ජීවිතවල ස්වයං පාලනයක් කර ගත හැකි නම් එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාර යැයි මතු දවසක අපි අපිටම ආමන්ත්‍රණය කර ගැනීමට හැකිය. චිංගීස් ආයිත්මාතව් ගුරු ගීතය කෘතියේ සඳහන් කර ඇත්තේ ශීත කුණාටු හමා නපුරු සුළි සුළං පැමිණියත් දිනක වසන්තය එනවා සත්තයි කියාය. වසන්තය කෙසේ වෙතත් තෙල් නැව් ටික ඉක්මනින්ම එන තෙක් අපි බලා සිටිමු. 

 සසංක චලන ගිම්හාන