2022 ජුලි 24 වන ඉරිදා

ඉන්දියාව එක්ක ලංකාව රුපියල් ගනුදෙනු සූදානම්

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 257

එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන පරිදි සාමාජික රටවල භාවිත කරන මුදල් නෝට්ටු වර්ග එකසිය අසූවක් තිබේ. මෙම කාසි හා නෝට්ටුවලින් ඇතැම් විශේෂ ජාත්‍යන්තර ප්‍රජාව දන්නේ නැති තරමට නොසලකන ඒවාය. තවත් රටවල මුදල් විශේෂවලට අසීමිත ඉල්ලුමක් තිබේ. ලෝකය පුරා භාවිත වන මුදල් වර්ග අටකට හොඳ පිළිගැනීමක් ඇත. ඇමෙරිකාවේ ඩොලර් එයට එක උදාහරණයකි. ඇමෙරිකාවේ මුදල් නෝට්ටු නොපිළිගන්නා රටක් නැත. ඩොලර් වර්ගම තුනකි. ඇමෙරිකානු හැරුණු විට අනෙක් දෙක කැනඩා හා ඔස්ට්‍රේලියානු ඩොලර් ප්‍රධාන මුදල් වර්ග අතර තිබේ. යුරෝ රටවල භාවිත කරන යුරෝ, ජපානයේ යෙන්, ස්විස් ප්‍රෑන්ක්, සහ දකුණු අප්‍රිකාවේ රුන්ඩ් තවත් කැපීපෙනෙන මුදල් විශේෂයන්ය. 

ජනගහණ වර්ධනය සමඟ චීනයේ යුවාන් සඳහා සෑහෙන පිළිගැනීමක් ඇතිවිය හැකි බව කියැවෙන නමුත් තවමත් ජගත් ප්‍රජාව යුවාන් සමඟ ගනුදෙනු කරන්නට පැකිලෙන ස්වභාවයක් තිබේ. ඉන්දියානු රුපියල ද ගනුදෙනු කරන ප්‍රචලිත මුදල් ඒකකයක් වනු ඇතැයි සැලකේ. 2027 වසර වන විට ලෝකයේ වැඩිම ජනගහණයක් සහිත රට බවට ඉන්දියාව පත්වන බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. ඉන්දීය වැසියෝ ලෝකය පුරා විසිරී සිටිති. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියානු රුපියලට ජාත්‍යන්තරව හිමිවන තැන ගැන විවිධාකාරයේ මත ප්‍රකාශ වෙයි.

අසල්වාසීන්ට ඉන්දියාව සමග ගනුදෙනු

ඉන්දියානු ආර්ථිකය ශක්තිමත්ය. කොවිඩ් අර්බුදය හා එහි ප්‍රතිඵලයක් වශයෙන් පැන නැගී ඇති ආර්ථික අර්බුද මැද පවා ඉන්දියාව සමහර ප්‍රබල රටවලට වඩා ඉදිරියෙන් සිටී. අවශ්‍ය මොහොතේ තීරණ ගෙන ඉක්මනින් ක්‍රියාත්මක වීම එහි සාර්ථකත්වය බව පැවසේ. ශක්තිමත් ආර්ථිකයක් සහිත ඉන්දියාවේ මුදල් තමන්ගේ රටවල ව්‍යවහාර කරන්නට ඉඩ දී ඇති ආසියානු රටවල් ගණනාවකි. නේපාලය, මාලදිවයින, භූතානය හා බංගලාදේශය යන රටවල එම පහසුව ඇත. එම රටවල බැංකු ඉන්දීය රුපියල් භාරගන්නා අතර එම පහසුව ගැන තකන පිරිස් කෙළින්ම ඉන්දියන් රුපියල්වලින් ගනුදෙනු කරන්නට සූදානම්ය. සිම්බාබ්වේ රාජ්‍යය ද ඉන්දීය රුපියලට ඉඩ දී ඇත. පසුගිය කාලයේ ඉරානයට ජාත්‍යන්තර සම්බාධක පනවන ලද අතර ඉන්දියාව හා ඉරානය අතර ගනුදෙනුවලදී ඉන්දියන් මුදල් නෝට්ටු භාරගෙන තිබේ. ඉන්දීය මහ බැංකුව නොබෝදා ගත් තීරණයක් අනුව රුසියාවට එම පහසුව ලැබෙනු ඇත. යුක්ක්‍රේනය හා ගැටුමක සිටින රුසියාව ඉන්දියාවෙන් සහාය ලබාගන්නා අතර සිය වෙළෙඳ කටයුතු සඳහා ඉන්දීය මුදල් භාවිත කරන්නට සූදානම් බව ඇඟවේ.

ශ්‍රී ලංකාව ඉන්දීය මුදල්වලට දොරටු විවෘත කර නැත. දැනට පවතින දුෂ්කර ආර්ථික තත්ත්වයට විකල්පයක් වශයෙන් ඉන්දීය කර්මාන්ත, ව්‍යාපාර හා සංචාර අංශවලට ඉන්දීය රුපියල්වලින් ශ්‍රී ලංකාවේ වියදම් කරන්නටත්, ශ්‍රී ලංකාවේ රුපියල ඉන්දියාවේදී පිළිගන්නටත් අදහසක් ඉදිරිපත්ව ඇත. ඉන්දියානු ශක්තිමත් රටවල් දහයක ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරන එරට බලධාරීහු සංචාරක කටයුතුවලදී එම රටවල් ගැන අවධානය යොමු කරන සේ අනියමින් දක්වති. එයට හේතුව සුළු මුදල් ප්‍රමාණයක් රුගෙන ගොස් වැඩිපුර වාසි ලබා ගැනීමට ඇති හැකියාවය. අවුරුද්දකට කලින් ඉන්දියානු රුපියලක් මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ රු. 2.65 ක පමණ වියදමක් දරන්නට සිදුවිය. දැන් එය දෙගුණ වී තිබේ. දෙරට අතර ගනුදෙනුවලදී ඉන්දියානු රුපියලකට ශ්‍රී ලංකාවේ රු. 5.05 ක් ගෙවන්නට සිදුවී ඇත. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය අවප්‍රමාණය වන විට මෙවැනි පිරිහීමක් අපේක්ෂා කළ යුතුය.

වැඩි සංචාරක පිරිසක ගමනාන්තය 

වර්තමානයේ බලපා ඇති සාධක නොවන්නට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සංචාරක කටයුතු විශාල ව්‍යාප්ත එකකි. ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ ගණනින් බෞද්ධ සිද්ධස්ථාන, සහ කොල්කටා, මුම්බායි යන නගරවල වෙළෙඳ කටයුතු සඳහා සම්බන්ධ වෙති. සාමාන්‍යයෙන් වසරකට ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් තුන් දහසක් පමණ ඉන්දියාවේ විවිධ අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබති. මෙම දිනවල එය දහසකට පමණ සීමා වී තිබේ. ශ්‍රී ලංකාවට එන සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් ඉන්දියානුවන් බව ද සංචාරක මණ්ඩලයේ වාර්තා දක්වයි. මෙම සෑම සියලු දෙනාම තම රටවලින් බැහැර වන විට විනිමය රෙගුලාසි අනුව ජාත්‍යන්තර හුවමාරු මුදල් වශයෙන් ඩොලර් මිල දී ගන්නට පෙළඹෙති.

ඩොලර් භාවිත කිරීම හේතුවෙන් අතරමැදි වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත. තමන්ට කෙළින්ම ගනුදෙනු කරන අවස්ථාව තිබියදී වෙනත් හුවමාරු මුදල් ඒකකයක් මිල දී ගැනීම සඳහා දෙපැත්තකට වැඩිපුර ගෙවන ව්‍යුහයක් නිර්මාණය වී ඇති අතර එය කාර්යක්ෂමතාවයට බාධාවකි. 

ඉන්දියාවෙන් ලැබෙන වාර්තා දක්වන පරිදි ඇමෙරිකානු ඩොලයට සාපේක්ෂව ඉන්දියානු රුපියල අවප්‍රමාණය වන ස්වභාවයක් ද තිබේ. 2014 සිට අද දක්වා 25% කින් අවප්‍රමාණය වී ඇති බව දැක්වේ. 2021-22 කාලය තුළ අවප්‍රමාණය පමණක් 7% කි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඇමෙරිකානු ඩොලරයකට ඉන්දීය රුපියල් 6.74 ක් වූ නමුත් දැන් එය ඉන්දීය රුපියල් 8.05 ක් බවට පත්ව ඇත. ඇමෙරිකානු ඩොලරයට ඇති ඉල්ලුම පාලනය කරන විධිමත් උපාය මාර්ග අනුගමනය කළහොත් ඍජු ආර්ථිකයක් සකස්වනු ඇත. එහි වාසිය පාරිභෝගිකයන්ටය. ඉන්දියාවේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා ශ්‍රී ලංකාවේ දරු දැරියන් දහසකගේ පමණ දෙමාපියන් මෙම දිනවල මහත් අකරතැබ්බයකය. ඔවුන්ට තමන්ගේ දරුවන්ට මුදල් යවන්නට ක්‍රමයක් නැත. ඩොලර් හිඟය ඉගෙනුමට ද බලපා තිබේ. ඉන්දියාව පමණක නොව අනෙක් රටවල ද අධ්‍යාපනය ලබන පිරිසට මුදල් යවන නීත්‍යානුකූල ක්‍රම අවහිර වීම විශාල බාධාවක් වී ඇති බව පෙනේ.

ව්‍යවහාර මුදල් සම්බන්ධයෙන් ලිහිලක්

දූපතක සිටින අප ලෝකයේ සිදුවන අලුත් ව්‍යුහය අනුව තීරණ ගත යුතුය. යුරෝපා හවුලේ රටවල් විසි හතක් එකට සිටී. එයින් රටවල් දහ නමයක් යුරෝ මුදල් ඒකකය පොදුවේ භාවිත කරයි. දේශ සීමා හරහා ඇවිද ගොස් එකම කාසියක්, එකම හැඳුනුම්පතක් අනුව තමන්ට අවශ්‍ය එදිනෙදා කටයුතු කර ගැනීම විශාල වාසියක් වී ඇත. යුරෝ භාවිත කරන ගනුදෙනුකරුවන්ට එහි ගනුදෙනු විනිවිද පෙනේ. බැංකුවක් හෝ මුදල් හුවමාරු කරන ස්ථානයක් ඔවුන් නියම කරන මිලකට අනුව විදේශ විනිමය මිල දී ගන්නට සිදුවන අතර ඒවා දිනපතා වෙනස්වීම මත ගනුදෙනුකරුවන්ට අවාසි සිදුවේ. යුරෝ ගනුදෙනුකරුවෝ එයින් ගැලවී සිටිති. යුරෝ මුදල් පොකට්ටුවේ ඇති යුරෝපා සංගමයේ පුරවැසියකුට රටවල් දහ නමයක් හරහා පහසුවෙන් ගමන් කිරීමට ඇති හැකියාව සලකා බැලිය යුතු පැත්තකි.

ශ්‍රී ලංකාවට ද මෙවැනි වාසිදායක අංශ ගැන පර්යේෂණ කළ හැක. මහ බැංකුව අලුත් පැති ගැන සාකච්ඡා කළ යුතුව තිබේ. විදේශ විනිමය සඳහා ඩොලර් හිඟ ශ්‍රී ලංකාව ඉන්දියාව සමග රුපියල්වලින් ගනුදෙනු ආරම්භ කළහොත් එය වෙනම ආර්ථික උද්දාමයක් ඇති කරන අවස්ථාවකි. ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන ඉන්ධන, කිරිපිටි, ඖෂධ ඇතුළු අනෙක් දේ ආනයනයේ දී ශ්‍රී ලංකාවේ මුදලින් ගෙවන්නට අවස්ථාව ඇති කරගතහොත් එය පහසුවකි. ශ්‍රී ලංකාව අසීමිතව මුදල් අච්චු ගහන රටකි. පසුගිය වසර දෙක තුන තුළ බිලියන ගණන් මුදල් සංසරණය සඳහා නිදහස් කර තිබේ. අධි මුදල් ප්‍රමාණයක් සපයා ඒවායෙන් ඉන්දියාව සමඟ ගනුදෙනු කරන්නට උත්සාහ කළොත් එය අනුවණකමකි. වැඩි මුදල් සංසරණය සමඟ උද්ධමනය ඇතිවේ. ශ්‍රී ලංකා මහ බැංකුව දක්වන පරිදි වාර්ෂික උද්ධමනය 70% ක පමණ ප්‍රතිශතයකි. මෙම උද්ධමනයේ එක කොටසක් මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් බව දැක්විය යුතුය. යහපත් මුල්‍ය විනයක් සහිතව රටවල් අතර දේශීය මුදලින් ගනුදෙනු කරන පහසුව ලබාගතහොත් එය වෙළෙඳාම, ආයෝජනය හා සංචාරක අංශයන් හි විශාල පිබිදීමකට හේතුවක් වනු ඇත.  

 සාරා කන්දෙගොඩ