2022 ජුනි 19 වන ඉරිදා

වව්නියාවේ නිදන් හොරුන්ට අතහිත දුන් පොලිස් පරීක්ෂක

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 64

''කනගරායන්කුලම පැත්තේ පුරාවිද්‍යා ඉඩම් ගොඩක් තියෙනවා. නිදන් හාරනවා ජයටම. ඉස්සර එල්.ටී.ටී.ඊ. එකේ බැංකුවක් ඒ පැත්තේ තිබිලා තියෙනවා. යුද්දෙ දවස්වල රත්රන් බඩුයි සල්ලියි ඔය කියන පුරාවිද්‍යා ඉඩමක වළදාල තියෙනවලු. කට්ටියක් එකතුවෙලා හාරන්න ලෑස්ති වෙනවා. ගොඩගත්තොත් නිදානයක් තමයි.''

වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය බාර උසස් පොලිස් නිලධාරියකු වෙත හිතවත් තොරතුරුකරුවකු විසින් මෙම තොරතුර දන්වා තිබුණි. එම දිනය ගෙවුණු අප්‍රේල් මස 2 වැනිදාය. රටේ පැවති දේශපාලනික අර්බුදය නිසා පෙර කී දිනයේ සිට රටපුරා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කර තිබිණ. පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ ඇඳිරි නීතිය හේතුවෙන් එම රාජකාරිවල නිරතවීම නිසාත් මහජනතාව බැහැරට නොයා නිවෙස්වල රැඳී සිටින නිසාත් ඒ දවස නිදන් හෑරීමට සුදුසුම දිනයක් ලෙස ඔවුන් සලකන්නට ඇත.

ඒ අනුව නිදන් හෑරීමේ සූදානමින් හතර දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් වව්නියාව කනගරායන්කුලම ආශ්‍රිත ප්‍රදේශයට ගොස් තිබුණි. දිනකට පෙරාතුව එහි ගිය පිරිස නවාතැන්පොළක කාමර වෙන් කරවාගෙන රාත්‍රිය ගත කළහ. මේ සඳහා පැමිණි පිරිසට හිතවත් අයකු එම ප්‍රදේශය ආශ්‍රිතව සිට නොයෙක් ආකාරයෙන් උදව් ලබා දී තිබිණි.

නිදන් හෑරීමට සූදානම් වූ කල්ලියේ වැඩ කටයුතු එසේ සූදානම් කෙරෙමින් තිබියදී තොරතුර ලද පරිදි වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු වැටලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට වූහ. මේ අතරතුර ඉකුත් අප්‍රේල් 2 වැනිදා රාත්‍රියේ කනගරායන්කුලම ප්‍රදේශයට ආසන්න පැරණි විහාරස්ථානයක නටබුන් පවතින ස්ථානයකට පිරිස ගොස් තිබුණේ ගම්මුන්ට හොර රහසේය. නිදන් හොරුන්ට අවස්ථාව ලබා දී සිට ඔවුන් පොළොව කැණීම් කරන මොහොතක වැටලීම සිදුකර අත්අඩංගුවට ගැනීම පොලිස් නිලධාරීන්ගේ අදහස වී තිබිණි. මේ ආකාරයට කැණීම් සිදුවන අවස්ථාවේ එහි ළඟා වූ පොලිස් නිලධාරීහු සැකකරුවන් හතර දෙනකු සමඟ නිදන් හෑරීම සඳහා භාවිත කළ උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගත්හ.
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් කොළඹ මහනුවර ඇතුළු පිට පළාත්වල පදිංචිකරුවන් බව තහවුරු කරගෙන තිබිණි. පිරිස සිදු කළ පාපොච්චාරණයේදී හෙළිව ඇත්තේ අදාළ කැණීම සිදු කළ භූමියේ පුරාවස්තු හා නිදන් තිබෙන බවට තොරතුරු තිබූ බවය. ඊටත් වඩා එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ බැංකුව සතු රත්රන් හා මුදල් තොගයක් මෙම භූමියක වළදමා තිබෙන බවට ලද තොරතුරු අනුව කැණීම සිදුකරන්නට කටයුතු කළ බවය. මේ නිසා නිදන් හෑරීමේ කල්ලියට කොළඹ ප්‍රදේශයේ රත්රන් මිලට ගන්නා ව්‍යාපාරිකයෙක් ද එක්ව සිටියේය.

පිට පළාතක සිට වව්නියාව දක්වා පැමිණි පිරිස බියෙන් සැකයෙන් තොරව කටයුතු කිරීම පොලීසියේ සැකයට කාරණයක් විය. ඒ පිළිබඳ සිදු කළ ප්‍රශ්න කිරීමේදී ''අපිට හිතවත් කෙනෙක් මෙහෙ ඉන්නවා. අපිව මෙහෙට ගෙන්නලා නවතින්න තැනක් ලෑස්ති කරලා කන්න බොන්න ලෑස්ති කරලා එයා උදව් කළා.'' යැයි සැකකරුවන් ප්‍රකාශ කර තිබුණි. මෙසේ කියන පුද්ගලයා නීතිය රකින්නට කැපවූ පොලිස් නිලධාරියකු බව නිලධාරීන්ට අනාවරණය වූයේ වැඩිදුර ප්‍රශ්න කිරීමේදීය. ඒ අනුව සැක කටයුතු එම පුද්ගලයා කනගරායන්කුලම පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු බවට හඳුනා ගැනිණ.

එම සැකකාර පොලිස් නිලධාරියා පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමත් සමඟ විමර්ශන නිලධාරීහු ඒ පිළිබඳ උසස් නිලධාරීන් දැනුම්වත් කිරීමට කටයුතු කළහ. එහිදී සෙසු සැකකරුවන් හතරදෙනා අත්අඩංගුවේ පසුවන අතරතුර සැකකාර පොලිස් නිලධාරියා පිළිබඳ අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කෙරිණ. ඒ සඳහා ප්‍රථමයෙන් සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැරූ පොලිස් ස්ථානාධිපති තනතුරෙන් ඉවත් කර වව්නියාව සිට කොළඹ නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් ස්ථානයක සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර තිබිණ. අනතුරුව කනගරායන්කුලම හිටපු පොලිස් ස්ථානාධිපතිට එරෙහිව විමර්ශන ආරම්භ කෙරුණේ පුරාවිද්‍යා ඉඩමක නිදන් හෑරීමට උත්සාහ කළ පිරිසට ආධාර අනුබල දීමේ වරදටය. ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ විමර්ශන නිලධාරීන්ට සැකකාර හිටපු පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි.

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ අංශයක් මගින් පරීක්ෂණ සිදුකෙරුණේ පොලිස්පතිවරයාගේද නියමයෙනි. ඒ වනවිට සැකකාර නිලධාරියා රාජකාරි ස්ථානයෙන් අසනීප නිවාඩු දමා තිබුණි. ඔහු පදිංචි නිවෙසේ සොයා බැලුවද නිවැසියන් ඔහු ආගිය තැනක් පිළිබඳව දැන සිට නැත. තවදුරටත් සැකකරු සැඟවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ක්‍රියාත්මකය.

මෙම පොලිස් නිලධාරියා පිළිබඳ පෙර වැරදි කිසිවක් වාර්තා වී නැත. යහපත් පවුල් ජීවිතයක් ගත කරන ගුණගරුක දරුවන් සිටින අයකු වන මොහු රාජකාරිය මනාව ඉටුකර තිබෙන අයකු බවට තහවුරු වී ඇත. නිදන් ගොඩගැනීමට ගිය රත්රන් ව්‍යාපාරිකයා ඇතුළු පිරිසට කොවිඩ් රෝගය වැළඳී තිබෙන අතර මේ වන විටත් අතුරු ආබාධවලින් පෙළෙන බව කියයි. ඔවුන් යම් දඩ මුදලක් ගෙවා හෝ ඇප ලබාගැනීමට අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ. වව්නියාව හා මන්නාරම දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ උපදෙස් මත වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.
     
■  සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00