2022 ජුනි 19 වන ඉරිදා

මෝචරියටත් නැති කාලේ ගෑස් හැංගූ අමන රාළේ

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 45

ගෑස් හිඟය දැන් උග්‍ර මුහුණුවරක පවතී. එහි විපාක ඔඩුදුවා තිබේ. තුන්වේල තබා එක වේලක්වත් ආහාර පිසීමට ගෙවල්වල ගෑස් ඉතිරිව නැත. ඒ තරමටම වෙළෙඳපොළේ ගෑස් නැතත් ගෑස් බලාපොරොත්තුවෙන් සිටින පෝලිම් දිගුවෙමින් ඇත. මේ හේතුවෙන් ආපනශාලා, අවන්හල්, බේකරි, හෝටල් සියල්ල අඩාලව ඇත්තේ නගර ආශ්‍රිතව ආහාර අර්බුදයක් ඇති කරමිනි.

රෝහල් කටයුතු, මෝචරි මෙන්ම ආදාහනාගාර මේ වනවිට දැඩි බලපෑමකට ලක්ව ඇත්තේ ගෑස්, ඩීසල්, පෙට්‍රල් ඇතුළු ඉන්ධන මෙන්ම විදුලිය නොකඩවා සැපයීමට හැකියාවක් නොමැතිකමිනි. එතරම් බරපතළ ගෑස් අර්බුදයක් පවතිද්දී ගෑස් නැති රටේ ගෑස් හංගන හා ඒවායෙන් අධික ලාභ උපයන්නට උත්සාහ කරන කූඨ ව්‍යාපාරිකයෝ වෙති. එවැනි කූඨ ව්‍යාපාරිකයකුගේ ගෑස් ආශ්‍රිත ජාවාරමක් අනාවරණය කර ගැනීමට හැකිව තිබුණේ පාරිභෝගික අධිකාරිය සිදු කළ හදිසි වැටලීමකදීය.

ගෑස් හිඟය ආරම්භ වීමත් සමඟ අනුරාධපුරය නගරය හා අවට කිසිදු තැනකට ගෑස් ලැබුණේ නැත. මාස ගණනකට පසුව අනුරාධපුරය ගෑස් තොග ගබඩාවකට ගෑස් සිලින්ඩර ලැබී තිබුණි. එයද ලාෆ් වර්ගයේ ගෑස් පිරවූ සිලින්ඩරය. මෙම ලාෆ් ගෑස් තොග අලෙවි නියෝජිතයා සතු ඉන්ධන හලකි. ව්‍යාපාර දෙකෙහිම කාර්යාලය අනුරාධපුර පුල්ලයාර් හන්දිය ආසන්නයේ පිහිටා ඇත. මෙම ගෑස් නියෝජිත මධ්‍යස්ථානය වෙත මාස ගණනකට පසුව ගෑස් ලැබුණේ වැඩි මිල වටිනාකමකින් යුතුව වුවද පාරිභෝගිකයෝ පොරකමින් ඒවා මිලට ගැනීමට යුහුසුළු වූහ.

මෙසේ දෙවතාවකදී අදාළ තොග ලැබී ඇත. අත්‍යවශ්‍ය පිරිස පළමු දිනයේම පැමිණ ගෑස් මිලට ගත්තද දුර බැහැර පිරිස් පසු දිනද ගෑස් ලබාගැනීම සඳහා පැමිණ සිටියහ. එහිදී අදාළ කාර්යාලයේ සේවකයන් පවසා තිබුණේ මෙම ස්ථානයෙන් ගෑස් නිකුත් නොකරන බවත් උප නියෝජිතයන් මගින් පමණක් නිකුත් කරන බවත්ය.

මේ අතර ඇතැම් පාරිභෝගිකයන් වෙත එම සේවකයන් තර්ජන ස්වරූපයෙන් කියා ඇත්තේ ''ඇයි.. මොකද? ඔයාලට ඊයෙ එන්න තිබුණනෙ.. අද ආවට දෙන්නෙ නෑ.. පුළුවන් දෙයක් කරන්න'' යනුවෙනි.

එසේ තිබියදී පාරිභෝගිකයන් කිහිප දෙනකු වෙත ආරංචියක් ලැබී තිබුණේ අදාළ ආයතනය සතුව ගෑස් තොගයක් සඟවා තිබෙන බවකි. ඒවා අදාළ ව්‍යාපාරිකයා සතු අත්හරින ලද වී මෝලක ගබඩා කර තිබෙන බව දැනගැනීමට ලැබී තිබිණි.
මේ තොරතුරු දැනගත් ගෑස් නිසා අපහසුතාවට පත්ව සිටි පුද්ගලයකු පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය අමතා දුරකථනය මගින් ''පුල්ලයාර් හන්දියේ ගෑස් තොග ගබඩාවකට ආපු ගෑස් වී මෝලක හංගලා. වැඩි ගාණට විකුණන්න තියාගෙන ඉන්නවා. මිනිස්සුන්ට දෙන්නෙ නෑ. මේක හරිම අසාධාරණයක්..'' යැයි පවසා තිබුණි.

එසැණින් ක්‍රියාත්මක වූ එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.ඒ.එම්.සී. පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු එහි පැමිණ සිද්ධිය පිළිබඳ සොයා බැලූහ. එහිදී ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩර් 540ක් හා කර්මාන්ත සඳහා භාවිත කරන ගෑස් සිලින්ඩර් 54ක් සඟවා තිබී සොයාගෙන ඇත. මේවා ලොරි රථ දෙකක රුගෙනවිත් සඟවා ඇති බවද හෙළි වී තිබුණි. පුල්ලයාර් හන්දිය සාලිය මාවත පිහිටි වී මෝලක සඟවා තිබූ ගෑස් තොගය පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ මෙහෙයවීම මත අනතුරුව ජනතාවට බෙදා දීමට කටයුතු කර තිබුණි. එය සිදුකෙරුණේ ව්‍යාපාරිකයාගේ ප්‍රධාන බෙදාහැරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය තුළය. පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු ලියාපදිංචියක් නොමැති අනවසර ස්ථානයක ගෑස් තොග සඟවා ගැනීමේ වරදට සැකකාර ගෑස් නියෝජිතවරයාට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළහ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර
බී.ජී. චතුරංග - අනුරාධපුරය