2022 ජුනි 19 වන ඉරිදා

මුව ආවරණ ගැලවීමට පෙර සිතා බලන්න!

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 55

කොවිඩ් 19 වසංගතය අපේ ජීවන රටාව උඩු යටිකුරු කර දැමුවේය. අමුතු පුරුදු කිහිපයක්ම වාගේ අමාරුවෙන් අපේ ඇත්තන්ට හුරු කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට සිදුවිය. සමහර පුරුදු පිළිපදින බව තහවුරු කිරීමට පොලීසියේ සහායද ඕනෑ විය. මුව ආවරණ පැළඳීම රෝග වසංගතයෙන් තමන් බේරීමටත් අනුන් බේරා ගැනීමටත් මෙසේ අමාරුවෙන් හඳුන්වා දුන් අලුත්ම පුරුද්දකි. දැන් මේ පුරුද්ද අතහැරියාට කම් නැතැයි සමහර බලධාරීන් පැවැසීමත් සමග මතුව ඇත්තේ මහා විසංවාදයකි. 

මුහුණු ආවරණයක් පැළඳීම තමන්ට රෝග බෝවීම වළක්වා ගැනීමට මෙන්ම අන් අයට තමන්ගෙන් රෝග පැතිරයාම වළක්වා ගැනීමට ඉවහල්වන ලෝකය පිළිගත්  ආරක්ෂිත උපක්‍රමයකි. එබැවින් කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාවක් ශ්‍රී ලංකාවෙන් මුල්වරට වාර්තා වීමත් සමගම මුව ආවරණ සඳහා ඉල්ලුම එක්වරම ඉහළ ගියේය. ඒ තුළින් මුව ආවරණවල හිඟයක් පවා රටපුරා ඇතිවුණි. එමෙන්ම ඇතැම් වෙළෙන්දෝ අධික ලාභයක් ලැබීම සඳහා ඒවා වැඩි මිලට අලෙවි කරන්නටද වූහ. පසුව මෙය සැමදෙනා අතර පැතිර ගිය පොදු භාවිතාවක් බවට පත්විය. මුහුණ ආවරණ පැළඳීම ආරම්භ වූ පසුව කොවිඩ් රෝගය පැතිරීමේ තරමක අඩුවීමක් දක්නට ලැබුණු බව සෞඛ්‍ය අංශ සනාථ කරන්නටද යෙදුණි.

එවන් තත්ත්වයක් යටතේ මුව ආවරණ ගැන නීතිය වෙනස් කිරීමට පසුගියදා සෞඛ්‍ය බලධාරීන් තීන්දු කර තිබුණි. වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ ගෘහස්ථ සහ බාහිර කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්ය කිරීමේ නියෝගය ඉවත් කරන බව කියැවුණි. ඒ අනුව ගෘහස්ථ ස්ථානවල සහ එළිමහන් ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්යය කරමින් තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඉකුත් (10) සිට ලිහිල් කරන බව දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

මුව ආවරණ පැළඳීම අනිවාර්යය නොවන බව කී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, එනමුදු  ස්වසන රෝග පවතින පුද්ගලයින් තවදුරටත් මුව ආවරණ පැළඳිය යුතු බව පැහැදිලිව කිවේය. එසේම කිසියම් අයෙකුට ස්ව කැමැත්තෙන් මුව ආවරණ භාවිතයට කිසිදු බාධාවක් නොමැති බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. මේ අතර නිරීක්ෂණාත්මක පරීක්ෂණයක් (screening test) ලෙස පී.සී.ආර්. හෝ රුපිඩ් පරීක්ෂණ සිදුකිරීමද අනවශ්‍ය ලෙස දක්වා තිබුණි.

මේ ප්‍රකාශය සහ නව තීන්දුව ගැන තවත් සෞඛ්‍ය බලධාරීන් පිරිසක් ප්‍රතිවිරුද්ධ මතයක් දරමින් පෙන්වා දී ඇත්තේ මේ තීන්දුව සඳහා නිසි කල මෙය නොවන බව කියමිනි. මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය සමග තමන් සියයට සියයක් එකඟ නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා තිබුණි. එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් නැතැයි තහවුරු වනතුරු අනිවාර්යයයෙන් මුව ආවරණ භාවිත කළ යුතු බවයි. එමෙන්ම පොසොන් සමයේදී මෙන්ම පෙරහර සමයේදී දන්සැල් හා පොසොන් කලාප ආදියට සම්බන්ධ වන පිරිස් මුව ආවරණ පැළඳීම යෝග්‍ය බවද උපුල් රෝහණ මහතා අවධාරණය කර තිබුණි. මේ නිසා කොවිඩ් 19 රෝගය සම්පූර්ණයෙන්ම රටින් තුරන් වී ඇති බවට තහවුරු වනතුරු මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය කළ යුතු බව ඔවුන්ගේ අදහසයි.

වෛරසය අසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සමීප ඇසුරකින්, රෝගී පුද්ගලයා කසින විට, කිවිසුම් පිට කරනවිට වාතය හරහා එන කෙළ බිඳිති මගින් මෙම රෝගය බෝවන බව වසංගත රෝග විද්‍යා අංශය තවමත්  පවසයි. එසේම  දියවැඩියාව, කාලින ශ්වසන රෝග හා වකුගඩු රෝග ඇති පුද්ගලයන්ට කොරෝනා වෛරසය ශරීර ගතවීමේ අවදානමක් පවතින බවටද සෞඛ්‍ය බලධාරීහු ඇඟවූ අනතුරු ඇඟවීමද එසේම බලාත්මකය.

මේ නිසාම මුඛ ආවරණ පැළඳීමේ පුරුද්ද, විශේෂයෙන්ම ගෘහස්ථ රුස්වීම්වලදී තවදුරටත් අනුගමනය කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මහජනතාවට දන්වා තිබුණි. වයෝවෘද්ධ මෙන්ම සංකූලතා ඇති පුද්ගලයින් අනවශ්‍ය ලෙස ස්වසන රෝගවලට භාජන වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය ආයතන තුළදී මුඛ ආවරණ පැළඳීම තවදුරටත් අවශ්‍ය බවට තීරණය කළ යුතු බව ඔවුන් අවධාරණය කර ඇත.

මුව ආවරණ භාවිතය අනිවාර්ය නොකළ නිවේදනයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන්ද රෝහල් තුළදී මුඛ ආවරණ පැළඳීම තවදුරටත් අවශ්‍ය දැයි පැහැදිලි කර නොමැති බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ රට තුළ ඇති ඖෂධ සහ අනෙකුත් සෞඛ්‍ය පහසුකම්වල ඇති අඩුපාඩු කෙරෙහි අවධානය යොමු කර ඇති මේ නිවේදනයෙන් ඔවුන් පෙන්වාදී ඇත්තේ  මෙවන් අවස්ථාවක ජනතාව අනාරක්ෂිතව වෛරසයට නිරාවරණය වීම මගින් සෞඛ්‍ය අංශයට දැරිය නොහැකි හෝ පාලනය කළ නොහැකි තත්ත්වයක්  ඇතිවීමේ අවදානමක්  තිබෙන බවය.

මුඛ ආවරණ අභාවිතය නිසා රෝගී විය හැකි සෑම පුද්ගලයකුටම ප්‍රතිකාර ලබාදීම  සඳහා සිදුවන වියදම් නැවත වැඩිවන අතරම ඔවුන් රුකියාවට නොපැමිණීම මගින් ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීමට අනුබල දීමක්ද එමගින් සිදුකරනු ලබන බව ඉන් පෙන්වා දෙයි. එම නිසා මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට කළ නිවේදනය මෙම අවස්ථාවේදී නුසුදුසු මෙන්ම කාලෝචිත නොවන බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර ඇත්තේ. එසේම පුරුද්දක් ලෙස මුහුණු ආවරණයක් පැළඳීමෙන් අමතර ප්‍රයෝජන රුසක් හිමි වන බව වෛද්‍යවරු පෙන්වා දෙති.

ඒ මගින් ඕනෑම උණ රෝගයක් පැතිරීම පාලනය කරයි ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු උණ රෝගයන් නිසා සෑම වසරකම පුද්ගලයින් විශාල ගණනක් රෝහල් ගතවන අතර ඉන් පිරිසක් මියයයි. මුහුණු ආවරණ පැලඳීමෙන් උණ රෝගය පැතිරීම පාලනය කරගත හැකිය. බෝවන උණ රෝගයක් වැළඳුනු අයෙක් සමඟ ඔබ ඇසුරු කරන්නේ නම් මුව ආවරණයක් පැළඳීම නුවණට හුරුය. එමඟින් උණ රෝගය සම්ප්‍රේෂණය වීම පාලනය කරගත හැකිය. 

මේ පුරුද්ද සෙම්ප්‍රතිශ්‍යාව පැතිරීමද පාලනය කරයි. වැඩිහිටියෙකුට සාමාන්‍යයෙන් වසරකට සෙම්ප්‍රතිශ්‍යතාව දෙවරක් හෝ තුන්වරක් වැළඳෙන අතර එය වැඩ අතපසු වීමට ප්‍රධානතම හේතුවකි. සෙම්ප්‍රතිශ්‍යාව බෝ වන්නේ පිටවන ජල බිඳිති හරහාය. එය වෙනත් පුද්ගලයින් වෙත ව්‍යාප්ත වීම වළක්වාලීමට මුව ආවරණ ඉමහත් ලෙස උපකාරී වේ. විවිධ අසාත්මිකතා සඳහා මුව ආවරණ ආරක්ෂාවකි. පරාග, දූවිලි සහ සුරතල් සතුන්ගේ ලොම් වැනි අසාත්මිකතා ඇති කරවන ද්‍රව්‍ය පැතිරෙන්නේ වාතය හරහා පා වීමෙනි. මුව ආවරණ පැලඳීමෙන් මෙම අසාත්මිකතා වලින් ආරක්ෂා විය හැකිය. දැන් බහුලව ඇති වායු දුෂණය නිසා ඇතිවන සෞඛ්‍යමය ගැටලු ඇතිවීම වළක්වාගන්නටද හොඳම විසඳුම මුව ආවරණයන්ය. වායු දූෂණය නිසා ඇදුම සහ පෙනහළු ආශ්‍රිත රෝග වැනි දෑ හටගනී. මුහුණු ආවරණ දූෂිත වායු නිසා ඇතිවන බලපෑම පාලනය කරයි. වායුවේ දූෂිත අංශු ද්‍රව්‍ය පෙරීමට මුව ආවරණ උපකාරී වේ. එය මුව ආවරණයේ ගුණාත්මකභාවය මත රඳා පවතී.

ඒ ලෙසම  සිගරට් ඇතුළු දුම් විෂ සහිත විය හැකි සියුම් අංශු වලින් සමන්විත වේ. ඒවා නිසා සෞඛ්‍ය අවදානම ඉහළ නංවයි. මුහුණු ආවරණ යම්තාක් දුරකට දුම්වල අඩංගු මේ විෂ ඉවත් කරන්නට සමත්ය. මෙබඳු කාරණා රුසක්ම මුඛ ආවරණ නොපැළඳ සිටිනවාට වඩා පැළඳ සිටීමට පක්ෂව ඉදිරිපත්ව තිබේ. තමන්ගේ ආරක්ෂාව තමන් සතුය යන තර්කය වඩාත් හොඳින් තහවුරු කළ මේ කොවිඩ් අලකලංචියෙන් පසු ලැබූ අත්දැකීම් අනුව නම් කිව යුතුව ඇත්තේ මුඛ ආවරණය ඉවත්කර දමන්නට පෙර දෙවරක් සිතන ලෙසටය‍.

 සුගත් පී. කුලතුංගආරච්චි