2022 ජුනි 19 වන ඉරිදා

ලෝකයම කැළඹූ පිටසක්වල පණිවුඩය !

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 64

පිටසක්වල දියුණු ශිෂ්ටාචාරයක පණිවිඩයක් තමන්ට ලැබී ඇති බවට චීනයේ රාජ්‍ය අනුග්‍රහය ලත් විද්‍යා වෙබ් අඩවියක් විසින් ඉකුත්දා වාර්තා කිරීමත් සමඟ ලොවපුරා මහත් ආන්දෝලනයක් හටගත්තේය. එරට Guizhou පළාතේ ඇති ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂයක් වන Sky Eye හෙවත් FAST මගින් ලද දත්ත අනුව මෙම පිටසක්වල ශිෂ්ටාචාරයකින් පැමිණි සංඥා අනාවරණය කරගෙන ඇති බව වාර්තා විය. පසුව මේ වාර්තාව ඉවත්කර ගෙන තිබුණ නමුදු ඒ හේතුවෙන් හටගත් ආන්දෝලනය තවමත් අවසන් වී නැත. වසර කිහිපයකට පෙර ලබාගත් රේඩියෝ දත්ත ගොනු දෙකක සමානතා දුටු විද්වතුන් අතර හටගත් විසංවාදයක් නිසා මේ ආන්දෝලනය හටගත්තේය.

ඈත අභ්‍යවකාශයේ දිස්වූ රෙඩියෝ තරංග දිලිසීම් 2ක් හේතුවෙන් ලොවපුරා පැතිර යන මේ කතාබහ අතරම බොහෝදෙනා මේ රේඩියෝ ආලෝක සංඥාවන්  පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් වූ පැරුණි කතාබහ සමඟ ඈඳාගෙන තිබේ. මේ සංඥාවන් පිටසක්වල ජීවීන් වෙතින් ඔවුන්ගේ පැවැත්ම සනාථ කරමින් නිකුත්කරන සංඥාවන් විය හැකිය යන මතයද කලකට පසු ඉදිරියට අවුදින් ඇත.

ආලෝක වර්ෂ බිලියන 3ක් එපිටින් පිහිටි වාමන මන්දාකිණියකින් නිකුත් වූ මේ අන්දමේ නවතම අද්භූත සංඥාව, ඉතා වේගවත් පුනරාවර්තන රේඩියෝ පිපිරීමක් හැටියට තාරකා විද්‍යාඥයන් විසින් දැන් හඳුනාගෙන ඇත. මෑත වසරවල සිදුකළ නව පර්ෙය්ෂණයන්ට අනුව හඳුනාගත් වෙනත් රේඩියෝ පිපිරීම් සංඥාවන් සමඟ සසඳන විට මේ සංඥාව වඩාත් සුවිශේෂී බව විද්වතුන් පෙන්වා දෙති.

මෙබඳු වේගවත් ගුවන්විදුලි පිපිරුම් අභ්‍යවකාශයේදී සාමාන්‍ය සිදුවීමකි.  එවන්  වේගවත්   ගුවන්විදුලි පිපිරුමක් හෙවත් FRB යනු අභ්‍යවකාශයේ ඇති ගුවන්විදුලි තරංග ක්ෂණිකව පුපුරා යාමකි. සාමාන්‍යයෙන් මේවා මිලි තත්ත්පරයක කාලයකදී සිදුවන දිගු පිපිරීම්ය.  බෙහෝවිට මෙබඳු තනි ගුවන්විදුලි පිපිරීම් එක් වරක් විමෝචනය වී නවතින අතර නැවත නැවත සිදු නොවේ. නමුත් මේ නව සංඥාව නැවත නැවත දිස්වන  පුනරාවර්තන වේගවත් රේඩියෝ පිපිරීමකි. එබඳු පුනරාවර්තන සංඥාවකදී කෙටි, ශක්තිජනක රේඩියෝ තරංග කිහිප වතාවක්ම නිකුත්වන බව දැන් දන්නා කරුණකි. පළමු FRB පිපිරුම 2007දී සොයාගන්නා ලදී. එය ඇත්ත වශයෙන්ම සොයාගන්නා ලද්දේ ඊට වසර හයකට පමණ පෙර මැගලනික් වළාකුළු පිළිබඳ පල්සර් සමීක්ෂණයකින් ලද ලේඛනාගාර දත්ත  නිරීක්ෂණය මගිනි.

තාරකා විද්‍යාඥයන්ට මේ සමහර ගුවන්විදුලි පිපිරීම් ඒවා උපත ලද මන්දාකිණි දක්වාම   ලුහුබැඳීමට හැකි වී ඇත. නමුත් මේ ස්පන්දනවලට සැබෑ හේතුව ඔවුන් තවමත් හඳුනාගෙන නොමැත. මේ ප්‍රතිරාවය වන  අලුත්  දීප්තිමත්, තීව්‍ර ගුවන්විදුලි විමෝචනවල මූලාරම්භය ගැන වැඩි විස්තර දැනගැනීමෙන් විද්‍යාඥයන්ට ඒවා හටගැනීමට හේතුව කුමක්ද යන්න තේරුම් ගත හැකිවනු ඇතැයි බලාපොරොත්තු වේ.

තාරකා විද්‍යාඥයන් විසින් FRB 190520 ලෙස නම් කර ඇති මෙම වස්තුව 2019 මැයි 20 වන දින ගුවන්විදුලි තරංග පිපිරීමක් නිකුත් කරන විට මුලින්ම අනාවරණය කර ගන්නා ලදී. එදා පර්යේෂකයන් විසින් චීනයේ ඇති මීටර් පන්සියයක විශාලත්වයෙන් යුතු,  Aperture Spherical radio Telescope නොහොත් FASTහෙවත් Sky Eye දුරේක්ෂය භාවිත කර  මේ  පිපිරීම සොයා ගන්නා ලදී. ඔවුන් 2019 නොවැම්බරයේ ලබාගත් එම දත්ත පසු විපරම් නිරීක්ෂණ සිදු කරනවිට, තාරකා විද්‍යාඥයෝ අසාමාන්‍ය දෙයක් දුටුහ. ඒ එම වස්තුව නිතර නිතර, පුනරාවර්තන රේඩියෝ තරංග පිපිරීම් නිකුත් කරමින් සිටින බවය.  2020 දී, මෙම තාරකා විද්‍යාඥයන් කණ්ඩායම ජාතික විද්‍යා පදනමේ Karl G. Jansky Very Large Array නොහොත් VLA දුරේක්ෂපෙළ සහ හවායි හි Subaru දුරේක්ෂය භාවිතයෙන් මේ පිපිරීමේ මූලාරම්භය හඳුනාගැනීමට තැත් කළේය. දෘශ්‍ය ආලෝකය ආධාරයෙන්  සිදුකළ  සුබාරුගේ නිරීක්ෂණවලින් පෙනී ගියේ මේ පිපිරුම පැමිණ ඇත්තේ ඈත වාමන මන්දාකිණියක සීමාවෙන් බවය. මේ සොයාගැනීම් විස්තර මේමස මුල සතියේ බදාදා නේචර් සඟරාවේ පළ වූ අතර ඒ ගැන විද්‍යාත්මක ලෝකයේ ආන්දෝලනාත්මක අවධානය යොමුවිය.

VLA දුරේක්ෂ පෙළ මගින් සිදුකළ අලුත් නිරීක්ෂණ මගින් අනාවරණය වූයේ මෙම ආකාශ වස්තුව වෙතින් නිරන්තරයෙන් දක්නට ලැබෙන පුනරාවර්තන පිපිරීම් අතර වරින්වර දුර්වල රේඩියෝ තරංගද නිකුත් කරන බවයි. එහි, මේ හැසිරීම 2016දී සොයාගන්නා ලද FRB 121102 නමැති අද්භුත වස්තුවේ හැසිරීමට බොහෝ සමාන බවද ඔවුහු හඳුනාගත්හ.

දැනට හඳුනාගෙන ඇති මෙබඳු වේගවත් රේඩියෝ පිපිරීම් සිය ගණනකින් 5෴කට වඩා අඩු ප්‍රමාණයක් පුනරාවර්තනය වන බව දන්නා නමුත් ඒවායින් කිහිපයක් පමණක් නිතිපතා ක්‍රියාකාරී වේ. නමුත් මෙම අලුතෙන් සොයාගත් FRB 190520 යනු එකම අඛණ්ඩ ක්‍රියාකාරීත්වයකින් යුතු  එකක් වන අතර, එයින් අදහස් වන්නේ එය සොයාගත් දා සිට කිසි විටෙකත් අක්‍රියව නැති බවයි. 

මෙම FRB 190520 &අලුත උපන්* වස්තුවක් ලෙස සලකනු ලබන්නේ එය ඝන පරිසරයක පිහිටා ඇති බැවිනි. එම පරිසරය නියුට්‍රෝන තාරකාවක් නිර්මාණය වීමට හේතු වූ සුපර්නෝවාවක් මගින් නිකුත් කරන ද්‍රව්‍ය නිසා ඇති විය හැකිබව විද්වත් මතයයි. මෙම ද්‍රව්‍යය කාලයත් සමඟ විසිරී යන විට, හෙවත්  FRB 190520 වයසට යනවිට ඒ වෙතින්  දක්නට ලැබෙන මේ පිපිරුම් අඩු විය හැකි බව විද්වත්හු දැන් කියති.

ප්‍රථමයෙන් FRB 121102 අනාවරණය කරගැනීම සහ දැන් මේ අලුත් සංඥාවේ  මූලාරම්භය වන ආලෝක වර්ෂ බිලියන 3කට වඩා ඈතින් පිහිටි කුඩා වාමන මන්දාකිණිය දක්වා එය ආපසු ලුහුබැඳීම තාරකා විද්‍යාවේ පෙරළියක් ලෙස සලකයි. සමහර අය දැනට නැවත පණ ගසා විත් ඇති පිටසක්වල ජීවීන් මෙම පිපිරීම්වල මූලාශ්‍රය විය හැකිය යන අදහසට වැඩි කැමැත්තක් දක්වන අතර, තවත් තාරකා විද්‍යාඥයන් පිරිසක් පිළිගන්නේ කළු කුහර හෝ අධි-චුම්භක නියුට්‍රෝන තරු (Magnetars) මේ සඳහා හේතුවන බවය. අධි-චුම්භක තාරකා යනු විශ්වයේ ඇති ප්‍රබලතම චුම්බක ක්ෂේත්‍ර සහිත චිකාගෝ හෝ ඇට්ලන්ටා වැනි නගරයක ප්‍රමාණයේ ඝන තාරකාවන්ය. විද්‍යාඥයන් සිතන්නේ මෙම පිපිරීම් එම චුම්බක තාරකාවල චුම්බක ක්ෂේත්‍රයෙහි ඇතිවූ ස්වභාවික සංසිද්ධියක ප්‍රතිඵලයක් විය හැකි බවයි.

 සුගත් පී කුලතුංගආරච්චි