2022 ජුනි 19 වන ඉරිදා

පොළොන්නරු ගොවියෝ මේ කන්නෙත් මකර කටේ

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 80

ඉදිරියේදී බරපතල ආහාර අර්බුදයකට අපට මුහුණපෑමට සිදුවනු ඇති බවට කෙරෙන කතාබහ මෙකල නිතරම ඇසේ. එහිදී මුලින්ම කියැවෙන්නේ සහල් පිළිබඳවය. මේ වනවිටත් රටේ සහල් හිඟයක් ඇතිවී තිබෙන අතර හෙට අනිද්දා වනවිට එය වඩාත් උත්සන්න වනු ඇති බවද කියැවේ. රටේ සහල් හිඟයක් ඇතිවීමට හේතුව දේශීය වී නිෂ්පාදනය හිටිහැටියේ කඩාවැටීම බව ප‍්‍රකට කාරණයෙකි. එය ඉබේ සිදුවූවක් නොව රජය රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීම සහ වී වගාවට යෙදීමට තහංචි පැනැවීම නිසා ඇතිවූවක් බවද නොරහසකි. ඒ හේතුවෙන් දැනට අඩාලවී තිබෙන වී ගොවිතැන ලබන මාස් කන්නයේදීවත් පෙර පැවැති තත්වයට ගොඩනැගුණහොත් රටේ සහල් හිඟය මඟහැරවීමට බොහෝදුරට හැකිවනු ඇතැයි කෘෂි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

එහෙත් ගොවිජනතාව පවසන්නේ සක්කරයාගේ පුතා වයිමා කීවත් රසායනික පොහොර නොලැබේ නම් ලබන මාස් කන්නයේ තබා කවරදාකවත් වී අස්වැන්න පෙර පැවැති මට්ටමට ඉහළ නැංවිය නොහැකි බවයි. එමනිසා ලබන මාස්කන්නය වනවිටවත් ගොවීන්ට රසායනික පොහොර ලබාදීමට රජය ක‍්‍රියා කළහොත් පමණක් මේ රටේ සහල් හිඟය මඟහැරවීමට හැකිවනු ඇති බවද ඔවුහු කියා සිටිති. 

ඒ සම්බන්‍ධයෙන් අප කළ කරුණු විමසීමකදී අදහස් දැක්වූ මහවැලි සී කලාපයේ ගොවි නායකයෙකු වන ජයන්ත රන්දෙණිය මහතා ප‍්‍රකාශ කළේ ගොවි ජනතාව ක‍්‍රමයෙන් වී ගොවිතැනින් ඈත්වන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවයි. එයට හේතුව දිගින් දිගටම වී ගොවිතැන පාඩු ලබන රුකියාවක් බවට පත්ව තිබීම බවද ඒ මහතා කියයි. ඉන්ධන මිල ඉහළයාම නිසා යන්ත‍්‍ර සූත‍්‍රවලට අයකරන කුලිය ඇතුළුව යෙදවුම් මිල ඉහළ යෑම නිසා වී ගොවිතැන සඳහා විශාල මුදලක් දැරීමට සිදුවන බව හෙතෙම පෙන්වා දෙයි.

''මේ වෙනකොට කුඹුර හාගන්න ඩීසල් නෑ. පොහොර ටික නෑ. වල් නාශක, කෘමිනාශක වර්ග නෑ. තිබුණත් මිල ඉතාම වැඩියි. ඉතින් කොහොමද අපි ගොවිතැන් කරන්නේ. මේ කලාපයේ ගොවීන් බොහෝ දෙනෙකුගේ අස්වැන්න පසුගිය මාස්කන්නයේ අඩුවුණා. ඒක මෙහේ විතරක් නොවෙයි රටේම ඇතිවුණු තත්ත්වයක්. එයට ප‍්‍රධාන හේතුව අවශ්‍ය රසායනික පොහොර නොමැතිවීම. වෙනදා හෙක්ටයාරයකින් වී කිලෝ 4000ක් 4,500ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ගත්තු ගොවීන්ට මෙවර ලැබුණේ වී කිලෝ 3000කටත් අඩු ප‍්‍රමාණයක්. මේ වතාවේ අස්වැන්න ඊටත් අඩුවේවි. මෙහෙම ගොවිතැන් කරලා වැඩක් නෑ කියලයි ගොවීන් කියන්නේ. රජය පසුගිය කන්නයේ අස්වැන්න අඩුවීම වෙනුවෙන් වන්දි මුදලක් දෙනවා කියලා කියනවා. නමුත් තවම ඒ මුදල් ලැබුණේ නෑ. මුදල් ලබාදෙන දිනයක් ගැනවත් හරි තොරතුරක් නෑ. ඒ විතරක් නොවෙයි මේ වෙනකොට රසායනික පොහොර තියා කිසිම පොහොරක් ගොවීන්ට ලැබිලා නෑ. ගොවීන් හරිම අසරණ තත්වයකට පත්වෙලා ඉන්නේ. 

මේ ආණ්ඩුව බලයට පත්වුණේ ගොවියාට පොහොර සහනාධාරය නොමිලයේ දෙනවා කියලා. නමුත් මේ වෙනකොට නිකංදෙනවා කිව්ව පොහොරත් නෑ. මොනවත් නෑ. අපිට ඔරොත්තු දෙන මුදලකට පොහොර ගන්නත් නෑ. වෙළඳපොළේ රුපියල් 1500ට තිබුණු පොහොර හොණ්ඩරය දැන් 42.000යි. ඩීසල් මිල ඉහළ ගිහින්. ඒ නිසා මේ කන්නයේ සී සෑමට ඇතුළුව යන්ත‍්‍ර සූත‍්‍ර සඳහා විශාල මුදලක් වැයකරන්න වෙනවා. මේකයි තත්ත්වය ඉතින් අපි කොහොමද කුඹුරු ගොවිතැන් කරන්නේ. යල කන්නයේ වී වගාව සඳහා වැව්වලින් ජලය නිකුත්කරලා මාසයක් ගතවෙලත් ගොවීන්ට කුඹුරු වගාකරගන්න බැරිවුණා. ඒකට මූලික හේතුව සීසෑම සඳහා ට‍්‍රුක්ටරවලට උවමනා ඩීසල් නැතිකම. වැව්වලින් වතුර දුන්නනට වැඩක් නෑ. කන්නය ආරම්භයේ ඉඳලම ඩීසල්නෑ. ඒනිසා තවම බිං හීයවත් හාගන්න බැරිවුණ ගොවීන් ඉන්නවා.''

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පමණක් වී වගා කෙරෙන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටයාර් 60,000ක් පමණය. පරාක‍්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල යන මහවැව් යටතේ සහ ඇලහැර අමුණෙන් පෝෂණය වන ඇලහැර මහ ගොවි ජනපදයේ කුඹුරුවලට සහ මහවැලි කලාපවල කුඹුරුවලට යල කන්නයේ වී වගාව සඳහා මේ වනවිට ජලය  නිකුත්කර තිබේ. එහෙත් දැනට වී වගාව ආරම්භකර ඇත්තේ සියයට පනහක පමණය. මුළුමනින්ම වගාව අවසන් කර ඇත්තේ සියයට 30ක පමණ බව දිස්ත‍්‍රික්කයේ ගොවි නායකයෝ පැවැසූහ.

යල කන්නයේ වගාව සඳහා ජලය නිකුත්කර මේ වනවිට මාසයක් පමණ ගත වී ඇතැත් ඉමක් නොපෙනෙන යායේ කුඹුරු බොහොමයක් තවමත් පවතිනුයේ පුරන්වය. එයට හේතුව ලෙස දැන් මුලින්ම කියැවෙන්නේ කුඹුරු සීසෑමට යොදාගන්නා ට‍්‍රුක්ටරවලට අවශ්‍ය ඩීසල් මිලදී ගැනීමට නොමැතිකමය. එමෙන්ම වී වගාවට අවශ්‍ය රසායනික පොහොර සම්බන්‍ධයෙන් කාරණයට මෙතෙක් විසඳුමක් නොලැබීමද බරපතල කාරණයක් බව ගොවීහු පැවැසූහ. පොහොර ප‍්‍රශ්නය ඇතුළුව ගොවිතැනට අදළ මූලික ප‍්‍රශ්න කිහිපයකට විසඳුම් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව මේ ගොවි නායකයෝ කියා සිටිති. බොහෝ යායවල වගා කටයතු මෙතෙක් ආරම්භ නොවීමට හේතුව ඩීසල් නොමැතිකම බව ගොවීහු කියා සිටිති.

යල කන්නයේ වී වගාව ආරම්භ කිරීමට පෙර රසායනික පොහොර සහ කෘෂි රසායන ගොවීන්ට ලබාදෙන ලෙසත් එමෙන්ම පසුගිය මාස් කන්නයේ කාබනික පොහොර භාවිත කිරීම නිසා අඩුවූ අස්වැන්න වෙනුවෙන් ලබාදීමට රජය පොරොන්දු වී ඇති වන්දි මුදලද නොපමාව ලබාදෙන ලෙසත් ගොවීහු ඉල්ලීම් කරති. මෙම ඉල්ලීම්වලට කඩිනම් විසඳුමක් ලබානොදුනහොත් පසුගිය මාස් කන්නයේ වී වගාවට අත්වූ ප‍්‍රතිඵලයට වඩා අන්ත ප‍්‍රතිඵලයක් මෙවර අත්වන බව ඔවුහු කීහ.

ඒ සම්බන්‍ධයෙන් අදහස් දැක්වූ පොලොන්නරුව දිස්ත‍්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති හා  පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා:

''යල කන්නයේ වගාවට වැව්වලින් වතුර නිකුත් කිරීම ආරම්භ කරලා දැනට මාස එකහමාරකට වඩා වැඩියි. දැන් මේ වෙනකොට යල කන්නයේ වගාව ආරම්භ කරල දිස්ත‍්‍රික්කයේ සමස්ත කූඹුරු ප‍්‍රමාණයෙන් සියයට පනහක විතර. වැඩි දෙනකුට තවම බිං හීයවත් හාගන්න බැරිවුණා. ඒකට හේතුව ඩීසල් නැතිකම. වෙනදා ගොවියෝ වගාවට වතුර දුන්නහම යන්නේ කුඹුරුවලට. දැන් ඉන්නේ ඉන්ධන පිරවුම්හල් ළඟ ඩීසල් පෝලිම්වල. මේ විදියට ප‍්‍රමාදවෙලා කුඹුරු වගා කරන්න කාලයකුත් නෑ. ඒ වගේම මෙහෙම පහුවෙලා වගා කරලා වැඩක් නෑ. අනිවාර්යෙන්ම කෘමිහානි, වසංගත රෝග ආදියට වගාව ගොදුරුවෙනවා. ඒ නිසා ප‍්‍රමාද නොවී වගාව කරන්න ඕන. ඩීසල් හිඟය වගේම ගොවීන්ට තවත් ප‍්‍රශ්න ගණනාවක් තියෙනවා. මූලික වශයෙන්ම පොහොර නැතිකම. රසායනික පොහොර, කෘෂි රසායන දෙන බව අපට මුලින් කිව්වා. නමුත් අද වෙනකම් ලැබුණේ නෑ. 

පසුගිය කන්නයේ වගා හානි වෙනුවෙන් වන්දි ලබාදීමට රජය එකඟවී තිබෙනවා. ඒ වන්දි මුදල අපිට ලැබුණේ නෑ. ඒවා අපිට කඩිනමින් ලබා දෙන්න කියන ඉල්ලීම අපි නිතරම කරනවා. නමුත් මේ වනතෙක් කිසිම පිළිතුරක් අපිට ලැබුණේ නෑ. යල කන්නයේ වගාවට අවශ්‍ය තරම් වතුර වැව්වල තිබෙනවා. නමුත් වගාවට අවශ්‍ය මූලික යෙදවුම් ටික නැතිව වගාවට යන්න ගොවීන්ට හැකියාවක් නෑ. එම නිසා මේ ඉල්ලීම් සම්බන්‍ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්න කියන ඉල්ලීමයි අපි කරන්නේ. කාබනික පොහොර භාවිතය නිසා ගොවීන්ට සිද්ධවෙලා තියෙන දේ අද ඇස් පනාපිට පේන්න තිබෙනවා. අපි මේ ගැන මේ මුලදීම කිව්වා. අස්වැන්න අඩුවෙලා ගොවියා කබලෙන් ලිපට වැටෙනවා. රටේ වී හිඟයක් ඇතිවෙනවා. හාල් හිඟයක් ඇතිවෙනවා කියලා. නමුත් වගකිවයුතු කිසිම කෙනෙක් ඒ ගැන ඇහුම්කන් දුන්නේ නෑ. ජනාධිපතිතුමා පවා පිළිඅරගෙන තිබෙනවා ගොවීන්ට රසායනික පොහොර නොදීම වරදක් කියලා? වැටුණු වලේ අපිට දවල් වැටෙන්න බෑ. ඒ නිසා කන්නය ආරම්භ කිරීමට පෙර අපිට ඩීසල් ටික දෙන්න, රසායනික පොහොර දෙන්න. වල් නාශක, කෘමිනාශක ටික සහන මිලකට ලබාගන්න අවශ්‍ය වෙළඳපොළ වටපිටාව සකසන්න. අපි සූදානම් මේ ආහාර අර්බුදය ජයගන්න වගා කරන්න. නමුත් ගොවියාට පහසුකම් අවශ්‍යයි. එහෙම නොවුණොත් පසුගිය කන්නයට වඩා අන්ත තත්ත්වයත් මේ වතාවේ ඇතිවෙනවා. වගාව අසාර්ථක වෙලා අස්වැන්න අඩු වෙන එක ස්ථිරයි. ජනාධිපතිතුමා කියනවා පොහොර නෑ කියලා. යල කන්නයේ වී වගාව අත් හරින්න එපා කියලා. නමුත් ගොවියා පොහොර නැතිව කොහොමද වගා කරන්නේ. රසායනික පොහොර ගෙන්වීම නවත්වනකොටම අපි කිව්වා මේ රටේ වී ගොවිතැන වලපල්ලට යනවා ඒක කරන්න එපා කියලා. ඒ නිසා ගොවීන්ට වගාවට අවශ්‍ය පොහොර ටික දෙන්න කියලා. නමුත් ඒ ඉල්ලීම් තුට්ටුවකටවත් ගණන් ගත්තේ නෑ.''

ගොවීන්ගේ කතාබහ තුළින් පෙනීයන කාරණයක් වන්නේ එළැඹෙන මාස් කන්නය තබා මෙවර යල කන්නයේ වී වගාව පවා කර ගැනීමට නොහැකි අවිනිශ්චිත තත්ත්වයෙක සිටින බවය. එමෙන්ම වගාවට උවමනා පොහොර කෘෂිරසායන ඇතුළු මූලික යෙදවුම් නොමැතිකමද බරපතල තත්ත්වයකි. මේ අතර ඒවායේ වෙළඳපොළේ පවතින අධික මිල ප‍්‍රධාන ගැටලුව බවට පත්ව තිබේ. මේ වනවිට ගොවියා පත්ව සිටින අසරණභාවය කෙබඳුද යන්න කුඹුර සීසෑමට අවශ්‍ය කරන ඩීසල් ටික පවා මිලදී ගන්නට නොමැතිකම තුළින් මනාව පැහැදිලි වෙයි. 

 කරුණාරත්න ගමගේ