2022 ජුනි 19 වන ඉරිදා

යුරෝපයේ හැදූ දැවැන්ත පොසොන් තොරණ

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 77
පොසොන් පොහෝදා පුන් සඳ පෑයූවේ ලකඹරෙහි පමණක් නොවේ. ලොවපුරා සියලු රටවලටද පුන් සඳ අපට විලසම පෑයුවේය. එහෙත් ඔවුනට එදින තවත් එක් පුන් සඳ රාත්‍රියක් විය. එය එසේමුත් එවන් දුරු රටවල වෙසෙන සිංහල බොදු ජනයාට පොසොන් සඳේ අසිරිය දැනුණි. මෙ‍ෙතර සිටියද එතෙර සිටියද මෙලක බොදුනුවෝ ශිෂ්ඨාචාර ගතවූයේ පොසොන් පුන්සඳ එළියේ මිහිඳු ගිර පාමුලය. එය ඔවුනට අමතක කළ නොහැකිය. එනිසාම ඒ හැඟුම සිත දරා යුරෝපාකරයේ අපේ බොදු ජනයා පොසොන් සතියේ අපූරු වැඩකට අත ගැසූහ. ඔවුහු සුද්දන්ගේ හිරු නොබසින අධිරාජ්‍යයේ මහා පොසොන් තොරණ බැන්දෝය.
 
මෙම කටයුත්ත සංවිධානය වූයේ  එක්සත් රාජධානියේ කින්ස්බරි බෞද්ධ විහාරය නමින් ප්‍රචලිත ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මූලික කොට ගනිමිනි. එය ඉතිහාසයට එකතු වූයේ යුරෝපයේ ඉදිවූ මෙම දැවැන්ත තොරණයි. ඊට පාදක කොට ගෙන තිබුණේ ස්වර්ණහංස ජාතක කතා පුවතයි. විදුලි බුබුළු 25,000 කින් හැඩවුණ අඩි 35ක උසින් යුතු වූ මෙම තොරණ සැබවින්ම යුරෝපීයයන්ට නව නවමු අත්දැකීමක් විය. ශ්‍රී ලාංකික අභිමානය යුරෝපයේ පොසොන් සඳ එළියේද මෙම මෙම තොරණ නිසාවෙන් රැව් පිළිරැව් දුනි.
 
පොසොන් මස 10, 14, 17, 19 සහ 24 යන දිනවල රාත්‍රි 7.30 සිට රාත්‍රිය පුරා පොසොන් තොරණ ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පියවර ගෙන තිබුණි. දහස් සංඛ්‍යාත බෞද්ධයෝ මේ වටා රොද බැඳගත්හ. බැති ගී ප්‍රසංග සේම පොසොන් දන්සල්ද තොරණ පරිශ්‍රය තුළ සංවිධානය වූයේය. මෙම සියලු කටයුතු සඳහා යුරෝපයේ බෞද්ධයන්ගේ අනුග්‍රාහක දායකත්වයට සේම ශ්‍රම දායකත්වයද හිමිවිය.
 
තොරණ විවෘත කෙරුණේ ඉකුත් 10 වැනිදා එහි වැඩම කොට සිටි රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අකුරටියේ නන්ද හිමියන් අතිනි. මෙම තොරණ සම්බන්ධ ඉතිහාස කතාව උන්වහන්සේ පැහැදිලි කිරීමක් සිදුකළහ.
 
“2017 වර්ෂයේ ශාලාවක අභ්‍යන්තරයේ කුඩා ප්‍රමාණයේ තොරණ ඉදි කරමින් ආරම්භ කරපු කටයුත්ත 2021 වර්ෂයේ යුරෝපයේ විශාලතම බෞද්ධ තොරණ ඉදි කිරීම දක්වා පැමිණියා. ඉන් විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති වුණා. ඒ වගේම බුද්ධාලම්බන ප්‍රිතියත් අපේ ජනතාව තුළ ජනිත වුණා."
 
උන්වහන්සේට අනුව කිහිපවිටක් ශාලාවක් තුළ නිර්මාණය වූ තොරණ 2021 වර්ෂයේ දී පළමුවරට එළිමහනේ ඉදිව තිබේ. 2022 වසරේදී තුරුණු තවත් දැවැන්ත ලෙස දුටුවන් මන බඳින විදුලි ආලෝක දහරා සහ සිතුවම් සහිතව නිර්මාණය වී ඇත.
 
“ගලයායේ ධම්මදස්සි පොඩි හාමුදුරුවන් වහන්සේගේ සංවිධායකත්වයෙන් පියදස්සී නායක හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක පිරිසගේ සහ තරුණ පිරිසගේ අනුග්‍රහක දායකත්වයෙන් තොරණ ඉදිකරනු ලැබුවා. ඒ තොරණින් ලැබුණු ආධාරවලින් වැඩි ප්‍රමාණයක් යොදවා කෝවිඩ් වසංගතය තිබුණු පසුගිය වසරේ පඬුවස්නුවර ප්‍රදේශයේ මහා ආරෝග්‍ය ශාලාවට අවශ්‍ය වුණ වෛද්‍ය උපකරණ රාශියක් ලබාදීමට කටයුතු කළා.*
 
යුරෝපයට පොසොන් අසිරිය කැඳවමින් මෙවර ඉදිවූ ස්වර්ණහංස ජාතක කතා පුවත රුගත් තොරණ රාජයා වෙනුවෙන් ලැබෙන ආධාර මුදල්ද සුවිශේෂී කටයුත්තකට යෙදවීමට මෙම පිරිස බලාපොරොත්තු වෙති. ඒ අනුව මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහා එම ආධාර මුදලින් කොටසක් යොදවනු ඇත. එසේම උතුරු මධ්‍යම පළාත්වල වකුගඩු රෝගීන් සිටින ප්‍රදේශ තෝරාගෙන ජල පහසුකම් සංවර්ධනය කිරීමටද පොසොන් තොරණේ ආධාර මුදල් යොදවන බව ඔවුහු පවසති.
 
සැබැවින්ම එතෙර සිටියද මෙතෙර සිටියද ලක් බොදු දනන්ගේ මෙම පහන් හැඟුමන් අප අගය කළ යුතුමය. මව්බිම දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරමින් සිටින විට මව්බිමේ මිනිසුන්ට සවියක් වීමට ඔවුන් දරණ උත්සාහය ප්‍රශස්තය. එසේම ලන්ඩනයේ මෙන්ම සමස්ත යුරෝපයම බෞද්ධ ප්‍රබෝධය සඳහා මෙම කටයුත්ත හේතුවන බවද නොමසුරුව පැවසිය යුතුය. මන්ද මෙය යුරෝපයේ ජීවත්වන අයට නවමු අත්දැකීමකි. ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය යොමු කිරීමටද කදිම හේතුවකි.
 
මෙම සියලු කටයුතුවල පෙරගමන්කරුවා වී ඇත්තේ එක්සත් රාජධානිය ඇතුළු යුරෝපය පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමිය. මේ අදී තවත් කටයුතු රැසක් පසුගිය කාලය පුරාවටම උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් යුරෝපාකරයේ සිදු වූ බව සිහිපත් කළ යුතුය. කෙසේ වුවත් උන්වහන්සේ මේ වනවිට තරමක් වයෝවෘද්ධව අසනීප තත්ත්වයෙන් වැඩවාසය කරන හෙයින් උන්වහන්සේගේ ගෝල නමක් වන ගලයායේ ධම්මදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ තොරණ කටයුතු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරති.
 
විදුලි බුබුළු 25,000 කින් හැඩවුණ අඩි 35 ක උසින් යුතු මෙම දැවැන්ත තොරණ එක්සත් ජනපදවාසීන් තුළ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ නැවුම් හැඟුමක් ජනිත කරවනු ඇත. අපි ඒ බව ඔබට කීවෙමු. මෙම කටයුත්ත ඇසළ පොහොය නිමිති කොටගෙනද සිදු කිරීමට කිරීමට බලාපොරොත්තු වන බව කියවේ. එසේම ඉදිරි වසරවලදී ද යුරෝපයේ තොරණ ඉදිකිරීමට මෙහි නිර්මාණකරුවෝ ඇප කැප වී සිටිති. එම නිසාම මතු මත්තේදී තව තවත් පුංචි දිවයිනේ සිටි පැමිණි විශ්මකර්ම මිනිසුන්ගේ ප්‍රතිභාව පිළිබඳ යුරෝපීයයන් කතාබහ කරනු ඇත.
 
ඉකුත් පෙබරවාරි මාසේ අග සිට පුරා මාස තුනකට අධික කාලයක් දිවා රූ වෙහෙස වී එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකික බෞද්ධයෝ මෙම තොරණ ඉදිකළෝය. මව්බිම පිළිබඳව, බුදුදහම පිළිබඳව උත්තුංග හැඟුමන් ඔවුන් තුළ වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. එමනිසාම මේ කටයුත්ත උදෙසා කැප කැපවුණු සියලුම දෙනාට ශ්‍රී ලාංකික අප සැමගේ ප්‍රණාමය නොමඳව හිමිවිය යුතුමය. මෙම තොරණේ සිතුවම් නිර්මාණය කොට තිබුණේ ප්‍රසාන් දීප්ත කුමාර නම් ශ්‍රී ලාංකිය සිත්තරෙකි. ඔහු ප්‍රමුඛ එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික කලාකාමී බෞද්ධයන් රුසක් මෙම කටයුතු උදෙසා දායකත්වය ලබා දී තිබුණි.
 
ධම්මදස්සි හිමියන් තොරණ සමාරම්භයේදී පැවසූ පරිදි බොහෝවිට රාත්‍රි කාලයේ තොරණේ කටයුතු වෙනුවෙන් වෙන් කරගත් දායක පිරිස සිදුකළ, සිදුකරනු ලැබූ කැපවීම සුළුපටු නොවේ. දුරු රටක ජීවන අරගලයක නියුතුව සිටින මෙම කලාකාමී බෞද්ධයන්ගේ කාලය රන්ද පරයන බව අපි දනිමු. එහෙත් ඔවුන් සිය මිනිත්තු පැය දින සියගණනින් දහස්ගණනින් මේ වෙනුවෙන් කැපකර ඇති බව සාඩම්බරයෙන් පැවසිය යුතුය. පිය සාඩම්බර බෞද්ධ සිංහල ජනයාගේ සොභාවයි. අප නැවතත් අවසානයේදී මේ උදෙසා කැප වූ සියලුම දෙනාට ශ්‍රී ලාංකීය අප හැමගේ බැතිබර ප්‍රණාමය පුදකර සිටිමු.
සමාරම්භක උලෙළේ විඩියෝ පට ඇසුරින් 
 
 චමිඳු නිසල් ද සිල්වා