2022 ජුනි 19 වන ඉරිදා

තෙල් නැතුව දුවන ත්‍රීවිලර්

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 73

සංචාරක වීසා මත මෙරට රැඳී සිටින ජර්මන් ජාතිකයකු විසින් විදුලි‌ෙයන් චාර්ජ් කර ධාවනය කළ හැකි ත්‍රීරෝද රථයක් නිපදවා තිබේ. සාම්ප්‍රදායික ත්‍රීරෝද රථයක් නවීකරණය කරමින් නිපදවා ඇති මෙම ත්‍රීරෝද රථය රටේ පවතින ඉන්ධන අර්බුදයට කදිම විසඳුමක් වනු ඇත. මෙම නව නිපැයුම සිදු කිරීමට ජර්මන් ජාතිකයා පෙළඹී ඇත්තේ ද ඉන්ධන හල් අසල මෙරට වැසියන් විඳින පීඩාවට පිළියමක් ලෙසය.

චාර්ජ් කර ධාවනය කළ හැකි ත්‍රීරෝද රථය හඳුන්වා දීම සිදු කළ ජර්මන් ජාතිකයා නමින් හෙන්රිකෝ මියුනිච්ය. රිකෝ යන කෙටි නමින් ප්‍රසිද්ධ හෙතෙම මේ දිනවල මහනුවර කුණ්ඩසාලේ පොලිස් නිවාස සංකීර්ණයේ කුලී පදනම මත රුඳී සිටියි. ගොවි යන්ත්‍ර කාර්මික ශීල්පියකු වන ඒ මහතා මෙරටට පැමිණ ඇත්තේ සිය මිතුරකුගෙන් ලද ඇරයුමකට අනුවය. එම මිතුරාගේ ද සහාය ඇති කුණ්ඩසාල ප්‍රදේශයේ දී සිදු කළ අත්හදා බැලීම්වලින් පසු මෙම ආරෝපිත විදුලි ත්‍රීරෝද රථය සාර්ථක කර ගැනීමට හැකි වී තිබේ.

ත්‍රීරෝද රථය ක්‍රියාත්මක කිරීමට බැටරි 08ක් යොදාගෙන තිබේ. ඒවා පැය  පැය 4-5ක් චාර්ජ් කිරීමෙන් කි.මී. 70-80 දුරක් රථය ධාවනය කළ හැකිය. මෙම නිපැයුමේ විශේෂත්වය වන්නේ නිවෙසේ සාමාන්‍ය විදුලියෙන් චාර්ච් කර ගැනීමට හැකි වීමය. “මේක භාවිත කරන අයට ඉන්ධන පිරවුම්හල්වලට යන්න අවශ්‍ය නෑ. මේක සම්පූර්ණයෙන් විදුලියෙන් දුවන්නේ. ඒ නිසා පරිසරයට විෂ වායු යන්නෙ නෑ. මිනිස්සුන්ට පෙට්‍රල් මුදල් ඉතිරි වෙනවා. පෝලිම්වල ඉන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. මේක ගෙදර සාමාන්‍ය විදුලියෙන් චාර්ච් කර ගන්න පුළුවන්. ඔබ රාත්‍රියට චාර්ජ් කර ගත්තොත් පහුවදා උදේ කි.මී. 70-80ක් දුවන්න පුළුවන්.” රිකෝ මහතා පවසයි.

වයස අවුරුදු 18 දී කාර්මික ක්ෂේත්‍රයට පිවිස ඇති හෙන්රිකෝ මියුනිච් මහතා ගොවි යන්ත්‍ර කාර්මික ශිල්පියෙක් ලෙස සිය වෘත්තිය ආරම්භ කළේය. අනතුරුව රේසින් කාර් අංශයේ කාර්මිකයකු ලෙසත් පසුව රේස් ඉංජිනේරුවකු ලෙස හා Formula Car රථවල කාර්මික ඉංජිනේරුවරයකු ලෙස ද කටයුතු කර තිබේ. රථවාහන කාර්මික ක්ෂේත්‍රයේ වසර 25ක පමණ පළපුරුද්දක් සහිත ඔහු මීට පෙර ජර්මනියේ දී ඉතා පැරණි මෝටර් රථයක් ද විදුලි බලය ආරෝපණය කර ධාවනය කළ හැකි පරිදි සකස් කර ඇත. මීට වසර පහකට පෙර අවස්ථාවක දී ද මෙරටට පැමිණ ඇති රිකෝ මහතා බොහෝ සෙයින් ලංකාවට ඇළුම් කරන බව පැවසූ අතර මෙරට මුහුණ පා සිටින අර්බුදකාරී තත්ත්වය තුළ ලංකාවට සහායක් වශයෙන් මෙම නව නිපයුම හදුන්වා දෙන බව කියා සිටියේය.

ත්‍රීරෝද නිෂ්පාදනයේ කිරුළ රඳවාගෙන සිටින ඉන්දියාව සැලසුම් සකස්කොට ඇත්තේ 2025 වනවිට ඉන්දියාවේ ත්‍රිරෝද රථ සියල්ල විදුලියෙන් ක්‍රියාත්මක කරන ඒවා බවට පත් කිරීමටය. චීනය ද බස් රථ ආරෝපණය කරන බැටරි විදුලියෙන් ධාවනය කිරීමට අවධානය යොමු කර තිබේ. එනිසා රිකෝ මහතාගේ උත්සාහය කාලෝචිතය. රටේ අවශ්‍යතාව සපුරන නිමැවුමකි. 2019 වර්ෂයේ Mahindra TREO නමින් විදුලියෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. නමුත් එය අසාර්ථක වූයේ එම රථයේ මිල 2019 වර්ෂයේ රුපියල් ලක්ෂ 15ක් පමණ වූ බැවිනි. එම රථය වර්තමාන වටිනාකම රුපියල් ලක්ෂ 30 ඉක්මවනු ඇතැයි විශ්වාස කළ හැකිය. නමුත් රිකෝ මහතා පෙන්වා දෙන්නේ ඔහු විසින් නිපදවා ඇති රථය අමෙරිකානු ඩොලර් 3000කට නිෂ්පාදනය කළ හැකි බවයි. එනම් වර්තමාන වටිනාකම ඇපියල් ලක්ෂ 11ක් වැනි මුදලකට නිෂ්පාදනය කළ හැකිය.

ලංකාවේ පසුගිය කාලයේ දී ඉලෙක්ට්‍රික් කාර් ජනප්‍රිය විය. නැවතත් ඉලෙක්ට්‍රික් කාර් සඳහා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ. ඒ ඉන්ධන අර්බුදය හේතුවෙනි. ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්නේ නම් ඒ සඳහා ද හොඳ වෙළෙඳපොළක් මෙරට තුළ නිර්මාණය වන බව නිසැකය. කෙසේ නමුත් මෙවැනි වාහන චාර්ජ් කිරීමට විදුලිය නිෂ්පාදනය කරන්නේ ඉන්ධනවලින් නම් එවැනි වාහනවල වැදගත්කම නැති වී යන බව අමුතුවෙන් කිව යුතු නැත. විදුලි බලයෙන් චාර්ජ් කරන වාහනයක නියම ලාභය රටට ලැබෙන්නේ ‘ජලය’ වැනි ලාභදායී ප්‍රභවයකින් නිෂ්පාදනය කරන විදුලි බලය භාවිත කරන්නේ නම් පමණි.

2019 වර්ෂයේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ කොරියාව ඒකාබද්ධ නියමු ව්‍යාපෘතියක් කටයුතු කළේය. කොරියාව සහ ලංකාව අතර පර් යේෂණ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ එම ව්‍යාපෘතිය ලප් තැනම ලොප් විය. එම ව්‍යාපෘතියේ දී යෝජනා වූයේ ත්‍රීරෝද රථ ගාලේ වහලයක් සකස් කර එහි සවි කරන සෝලා පවර් පැනලය මගින් ත්‍රීරෝද රථ චාර්ජ් කර ගැනීමටය. එම ත්‍රීවිලරයක් පැයකට කි.මී. 60ක සමාන්තර වේගයකින් පැය 8ක කාලයක් ධාවනය වන ලෙස නිෂ්පාදනය වීමට අපේක්ෂිත විය. කෙසේ නමුත් එම ව්‍යාපෘතිය මාධ්‍ය සංදර්ශනයකින් නිම විය.

ත්‍රීරෝද රථවලට අමතරව විදුලි යතුරුපැදි නිෂ්පාදනයට බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් විසින් “රෝද” යන සන්නාමය යටතේ විදුලියෙන් ධාවනය කළ හැකි යතුරුපැදියක් වෙළෙඳපොළට නිකුත් කළේය. එය ද පැය 04ක පමණ කාලයක් එක් වරක් චාර්ජ් කිරීමෙන් කි.මී. 60ක පමණ දුරක් ධාවනය කළ හැකිය. වාණිජමය වශයෙන් ඔහු විසින් ආරම්භ කර ඇති එම නිෂ්පාදනය 160000ක පමණ මිලකට වෙළෙඳපොළේ විකිණීමට තිබේ.

හෙන්රිකෝ මියුනිච් මහතාගේ අත්හදා බැලීම මෙරට ලක්ෂ 04ක පමණ ස්වයංරුකියාලාභී ත්‍රීරෝද රියැදුරන්ගේ ගැටලුවට පැහැදිලි විසඳුමකි. “මේ ව්‍යාපෘතිය ලේසියෙන්ම පටන් ගන්න පුළුවන්. මේක ව්‍යාපාරයක් විදිහට කරන්න මට රටේ සහාය අවශ්‍යයි. මට මුළු ජීවිත කාලෙම මෙහෙ ඉන්න පුළුවන්. මම මේ රටට ආදරෙයි. ඒ නිසා රටේ සහාය අවශ්‍යයි. මට පුළුවන් හැමදේම කරනවා. මේ රටට උපකාරයක් කළ හැකි නම් ඒක තමයි මගේ ජීවිතයේ ලබන විශාලම සතුට. මේ නිපැයුම තවත් දියුණු කරන්න, විශාල ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන්න මට රජයේ සහයෝගය අවශ්‍යයි.” ඔහු පවසයි.

දිනෙන් දිනෙන් උග්‍ර අතට හැරෙමින් ඇති ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුම් අවශ්‍යය. රිකෝ මහතාගේ නිපැයුම ඒ සඳහා එක් විසඳුමකි. මෙවැනි ත්‍රීරෝද රථයක ඔයිල් දැමිය යුතු එන්ජින්, පිස්ටන්, සයිලන්සර්, වැනි මිල අධික අමතර කොටස් නොමැති බැවින් නඩත්තු වියදම ඉතා අවම මට්ටමක් වනු ඇත. එමෙන්ම ඒවා කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට නිකුත් කරන්නේ ද නැත. ඒ අර්ථයෙන් බලන කල සීරෝ එමිෂන් සිස්ටම් (Zero Emmition System) අනුව නිෂ්පාදනය කරන බජට් ත්‍රීරෝද රථයකි.

 සටහන: සකීෆ් සාම්