2022 ජුනි 05 වන ඉරිදා

අටළුගම දැරියගේ මාරයා තාත්තා එක්ක කුඩු ගහලා

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 393

බණ්ඩාරගම අටුලුගමදී අබිරහස් ලෙස අතුරුදන් වූ ෆාතිමා අයිෂා අක්‍රම් දැරියගේ මළසිරුර සොයා ගැනුණේ නිවෙසට යන පාර ආසන්නයේ අතුරු මගක වූ මඩ වගුරක ඔබා සඟවා තිබියදීය. එසේ හමුවී තිබුණේ අතුරුදන් වීමෙන් දවසකට පසුව පොලීසිය හා ගම්වාසීන් එක්ව සිදු කළ පරීක්ෂා කිරීමකදීය. දැරියගේ මරණය ඝාතනයක් බවට සැක කළ පොලීසිය සිදු කළ කඩිනම් විමර්ශනයේදී සැකකාර ඝාතකයා අත්අඩංගුවට ගෙන තිබුණේ අටලුගම මුස්ලිම් කොළනියේ සිටියදීය. එම සැකකාර පුද්ගලයා ඝාතනයට ලක්වූ දැරියගේ මවගේ ළඟම ඥාතියකු බව පැවසේ.

හය හතර නොදත් පුංචි දරුවන්ගේ ජීවිත අකාලයේ මියැදෙන්නට හේතුව හිත් පිත් නැති කාමාතුර පාපතරයන්ගේ හැසිරීම් බව පැවසිය හැකිය. එකී ආසන්නම සිදුවීම ඉකුත් දිනක අසන්නට ලැබුණේ බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙනි. එම අවාසනාවන්ත මරණයට ගොදුරු වූ ෆාතිමා අයිෂා අක්‍රම් දැරිය අටුලුගම අල් ගස්සාලි විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුම ලැබුවාය. පාසල් නිවාඩුව නිසා ඇය නිවෙසේ සිට අත්වැඩ පොතක ක්‍රියාකාරකමක නිරතව සිටියාය.

''දුවේ ඔය වැඩේ ටිකකට නතර කරලා කඩේට ගිහින් කුකුළු මස් ටිකක් අරගෙන එන්න.. මම දවල්ට කුකුළු මස් කරියක් උයලා දෙන්නම්... පාරේ දුරට යන්න එපා... ළඟ කඩේකින් ගේන්න.'' යැයි පාඩම් වැඩේ නිරතව උන් දැරියට බාධාවක් කරමින් ඇගේ මව ඉල්ලා සිටියාය. ඊට අවනත වූ දැරිය මවගෙන් මුදල් හා බෑගයක් ඉල්ලාගෙන නිවෙසේ සිට මීටර් දෙසිය පනහක් පමණ දුරින් පිහිටි වෙළෙඳසලක් වෙත ගියාය. ඒ පසුගිය 27 වැනිදා පෙරවරු දහයට පමණය.

දැරිය කුකුළු මස් මිලට ගෙන නැවත නිවෙසට ඒම සඳහා කාලය හොඳටම ප්‍රමාණවත්ය. නමුත් මොහොතින් මොහොත ඇය ප්‍රමාද වූවාය. තැතිගත් දැරියගේ මව ඥාති කාන්තාවකට දැරිය කඩේ ගොස් තවම නොපැමිණි බව කියා ගිය මග හා අසල්වැසි නිවෙස්වලද සොයන්නට වූවාය. හෝරාවක් දෙකක් ගත වුවද දැරිය පිළිබඳ ආරංචියක් නොවූයෙන් නිවැසියන් හා ඥාතීන් සාකච්ඡා කොට සිදුවීම පිළිබඳව බණ්ඩාරගම පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබුණි. පැමිණිල්ල පිළිබඳව අවධානය යොමු කළ පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශය මූලිකත්වයෙන් විමර්ශන ආරම්භ කොට තිබුණේ වැඩි වෙලාවක් ගතවන්නට පෙරය.

පොලීසිය අසල්වැසි නිවෙස්වලින් මෙන්ම දැරිය ගිය බව කියන කුකුළු මස් අලෙවිසලෙන්ද විමසා තිබුණි. එවිට එම වෙළෙඳසල් හිමියා ප්‍රකාශ කර තිබුණේ දැරිය කුකුළු මස් මිලට ගෙන යළිත් නිවෙස දෙසට පිටත්ව ගිය බවය. ඒ අනුව අදාළ මාර්ගය හා අවට සෝදිසි කිරීමට පොලිසිය සමඟ අසල්වාසීන් රැසක් එක්ව සිටියහ. පසුදා සන්ධ්‍යාව වන තෙක්ම පිරිස සෝදිසි කිරීම් කරන අතරතුර පොලිසිය මාර්ගය පසෙක වූ සී.සී.ටී.වී කැමරා කිහිපයක් විමර්ශනයට ලක්කර තිබුණි. එහිදී දැරිය වෙළෙඳසලට යන හා භාණ්ඩය මිලට ගෙන පිටවී යන දර්ශනය හඳුනා ගැනීමට හැකිවිය. මේ නිසා පොලිසිය සැක කර තිබුණේ වෙළෙඳසල හා නිවෙස අතර මීටර් 250ක පමණ දුර අතරදී ඇයට යම් අනතුරක් හෝ සිදුවන්නට ඇති බවය. ඒ අනුව අන්ත කිහිපයක් ඔස්සේ විමර්ශන මෙහෙයවීමට පොලිසිය කටයුතු කර තිබිණි.

මේ අතර ගම්මුන් දැරිය සොයන මෙහෙයුමට දායකව සිටි අතර ඔවුහු අහළ පහළ මාර්ග කැලෑ රොද පීරමින් දැරිය සොයන්නට වූහ. වර්ෂාව නිසා පහත්බිම ජලයෙන් පිරී තිබුණු අතර එවැනි අත්හැර දැමූ බිම්කඩවල් පවා සෝදිසි කරන්නට කටයුතු කර තිබිණි.

''අයියෝ... මේ කෙල්ලගේ සෙරෙප්පුවක් නේද?'' අතුරුදන් දැරියගේ ඥාතියකු මහ හයියෙන් කෑගසා තිබුණේ වගුරු බිමේ වැටී තිබුණු රබර් සෙරෙප්පුවක් දැකීමෙනි. තැතිගෙන කලබල වූ පිරිස ''මේ හරිය හොඳට බලපල්ලා.. කෙල්ලගෙ සෙරෙප්පුව කොහොමද මෙතනට ආවේ..'' යැයි කියමින් වැඩි අවධානයකින් තව තවත් සොයන්නට වූහ. මේ අතරතුර මොහොතක වගුරුබිමේ මඩ වූ ස්ථානයකින් රෙදි කැබැල්ලක් ඉහළට මතු වී තිබෙන බව කෙනෙකු දැක තිබුණි. ''අර දරුවාගේ ගවුම් කෑල්ලක් නේද.. බලපල්ලා ඔතන..'' කියමින් එම ස්ථානය පිරික්සන විට දැරියගේ පාදයක් මඩ ගොහුරෙන් මතු වී තිබිණි. රැස්වූ පිරිස් ආවේගයට පත්ව ''කවුද මේ අපරාධය කළේ.. හොයපල්ලා'' කියද්දී දැරියගේ මව හා ඥාතීහු විලාප දෙමින් වැලපෙන්නට වූහ.
මිනිසුන්ගේ මගපෙන්වීම මත එම ස්ථානයට පැමිණි පොලිසිය ''දරුවාගේ බොඩිය මඩ වළේ ඔබලා හංගලා වගේ'' යැයි මේ අතර පවසන්නට විය. අනතුරුව පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් කැඳවා විමර්ශනය කරන අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන්නට පොලිසිය පියවර ගෙන තිබුණි. ඒ අනුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි උඩවත්ත මහත්මිය එහි පැමිණ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළාය. අනතුරුව දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහල වෙත රුගෙන ගොස් තිබිණි.

ඥාතීන් හා ගම්මුන් කියා තිබුණේ දැරියට එම ස්ථානයට යාමට වුවමනාවක් නැති බවකි. එම ස්ථානය නිවෙසට යන පාරෙන් අතුරු පාරක ඇති බවත් ඒ දෙසට වෙනත් කිසිවකුගේ වුවමනාවට යන්නට ඇති බවත් පොලීසියට ගම්මුන් පවසා තිබුණි. ඒ සම්බන්ධයෙන් පොලීසියට පැවතියේද බරපතළ සැකයකි. දැරියගේ ඥාතීන්ගේ අදහස් පිළිගත් පොලීසිය සැක කර තිබුණේද යම්කිසි පුද්ගලයකු අපරාධයක් සිදුකිරීමේ අදහසින් දැරිය එම මාර්ගය දෙසට ගෙන්වා ගන්නට ඇති බවය. දැරියගේ සෙරෙප්පුව හමුවූ ස්ථානය හා මළසිරුර තිබූ ස්ථානය අතර දුර සැලකීමේදී ඒ ආසන්න ඇළ මාර්ගයේදී මරණය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කර තිබුණි.

මේ අවස්ථාව වන විට දැරියගේ පියා ඇතුළු ප්‍රදේශයේ විසි දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගන්නට පොලිසිය පියවර ගෙන තිබුණි. පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශනය සඳහා දායකව සිටි අතර ඔවුහු අසල්වැසි පිරිස් මනා කිරීක්ෂණයකට ලක් කළහ. ඒ අතර අයකුගේ මානසික ව්‍යාකූලත්වය දෙස ද අවධානය යොමුකර තිබුණේ කිසිවකුටත් හොරාය. දැරියගේ ඝාතනයේ සුල මුල සොයා ගැනීම සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සුනඛ ඩ_නෝ යොදවාගෙන තිබුණේ දැරිය පෙරදා රාත්‍රියක ඇඳ තිබූ ඇඳුමක ඉව ලබා දීමෙනි. එහිදී සුනඛයා ඉව ඔස්සේ ගොස් තිබුණේ දැරිය කුකුළු මස් ලබාගත් වෙළෙඳසල වෙතය.

විමර්ශන අතර එකිනෙකාගේ හැසිරීම පිළිබඳ අවධානය යොමුකර තිබූ පොලීසිය අදාළ දින දෙක තුළ මානසික ව්‍යාකූලත්වයකින් සිටි අයකු හඳුනාගෙන තිබුණි. ඔහු ඝාතනය වූ දැරියගේ මවගේ ඥාතියකු වන බවද සොයාගෙන ඇත. ඔහු පිළිබඳ විමර්ශන සිදු කරන අතරතුර සැකකරුගේ නිවෙසේ කාමරයක තුළ තිබී මඩ තැවරුණු සරමක් සොයාගෙන තිබිණි. ඒ අනුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී ''මම ඇත්තම කියන්නම්. මම අයිෂාට ආස කළා.. එයාව අල්ලන්න හිතුවා. හැබැයි බැරි වුණා. මම එදා උදේ අයිස් ගහලා හිටියේ. පාර්සලයක් අරගෙන දරුවා යනවා මම දැක්කා. මම පල්ලිය ළඟ ඉඳලා එයා පස්සෙන් ගියා. දරුවා අල්ලාගෙන යන්න ලෑස්ති වුණා. එයා ආවේ නෑ. කවුරුත් පේන්න හිටියෙත් නෑ. රෙදි කෑල්ලකින් කට වහලා වතුරට අරගෙන ගියා. එයා අල්ලනවට විරුද්ධ වුණා. ආයෙත් දරුවා ගෙදර යවන්නත් බය හිතුණා. ගිහින් සේරම කිව්වොත් ප්‍රශ්නයක්නෙ.. රෙදි කෑල්ල කටේ ඔබලා ළමයා මඩේ ගිල්ලවලා මගේ දණහිස්වලින් තද කරගෙන හිටියා. එතකොට දරුවා සෙලවුණේ නෑ.'' යැයි සැකකාර ඝාතකයා පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණි.

අහස පොළොව නුහුලන පුංචි දැරියකගේ ඝාතනය සුල මුල හෙළි කර ගැනුණේ එසේය. මරණ පරීක්ෂණයේදී දැරිය ලිංගික අපයෝජනයකට ලක්ව නැති බව අනාවරණය විය. මුඛයේ පාංකඩ ඔබා හුස්ම හිරකර ඝාතනය සිදු කර ඇති බව තහවුරු කර තිබිණි. දැරියගේ සිරුරේ තුවාල නැතත් මුඛයේ තුවාල කිහිපයක් දක්නට ඇති බව තහවුරු විය.

මියගිය දැරිය පවුලේ දෙවැනියාය. වැඩිමලා ඇගේ අයියාය. බාල නැගණියට මාස කිහිපයකි. ඇගේ පියා මත්ද්‍රව්‍ය පානයට හුරුවූවකු වන අතර ඝාතකයා ඔහු සමඟ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකි. ඔහු ද දැරියන් තිදෙනකුගේ පියකු වන අතර ඔහුගේ බිරිය ගැබිනියක බව පැවසේ. සැකකාර ඝාතකයා වෘත්තියෙන් කොත්තු බාස් කෙනෙකි.

මෙම සැකකරු දැරිය සොයන මෙහෙයුමට එක්ව පිරිස නොමග යවන්නට උත්සාහ කර ඇතැයි කියති. එය විමර්ශන නිලධාරීන්ගේ අවධානයට ලක්ව තිබුණි. සැකකරු අත්අඩංගුවට ගැනීම ඔහුගේ හැසිරීමම හේතුවක් වී ඇති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේය.

මේ පාපතර සිදුවීම මෙන්ම මෑත ඉතිහාසයේදී කොටදෙණියාව සේයා සදෙව්මිණි දැරිය, යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනය ඇතුළු ම්ලේච්ඡ අපරාධ රුසක මතක ඉතිරි වී තිබේ. එවැනි අපරාධකරුවන්ට යළිත් ක්‍රියාත්මක නොවිය හැකි වගකීම් සහගත සමාජයක් නිර්මාණය කිරීමට රටේ නීති සම්පාදනය කළ යුතුව පවතී.

 සමන්ත විල්තෙර