2022 ජනවාරි 15 වන සෙනසුරාදා

මම්මා නෝ පප්පා නෝ ආප්ප කන්න ගෑස් නෝ!

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 68

ගෑස් පිළිබඳ කතා දහස් ගණන් රටේ සතර දිගින් ඇසෙයි. එම කතා සියල්ල අතරින් අවහන්හලේ ගෑස් කතාව අපි ඔබට කීමට සැරසෙමු. රටපුරා දහස් ගණන් ඇති කුඩා අවන්හල් හිමිකරුවන් සේම සේවකයෝද ගෑස් නොමැති වීමේ අර්බුදයෙන් පීඩා විඳිති. ගෑස් හිඟය මේ වනවිට යම් පමණකට යථා තත්ත්වයට පත්වෙමින් ඇති බව සැබෑවකි. එහෙත් ගෑස් යනු තවදුරටත් හිඟයක් සහිත පාරිභෝජන භාණ්ඩයකි.

ගෑස් හිඟය ඉතා ප්‍රබලව පැවති වකවානුවේ ඇතැම් නගරවල අවන්හල් වසා දමා තිබුණි. කිසිසේත්ම ගෑස් සිලින්ඩරක් සොයා ගැනීමට නොහැකි වූ පසුබිමක තමන්ට වෙනත් විකල්පයක් නොමැති බව අවන්හල් හිමියෝ කීහ. කෙසේ වෙතත් මේ වනවිට විවිධ දුෂ්කරතා රුසක් මධ්‍යයේ ගෑස් සොයා ගැනීමට මෙම ව්‍යාපාරිකයෝ සමත්ව සිටිති. එහෙත් සිය අවශ්‍යතාවයට ප්‍රමාණවත් පරිදි ගෑස් සපයා ගැනීමට තවදුරටත් නොහැකි බවද ඔවුහු පෙන්වා දෙති. ඒ අනුව මේ වනවිට අරපිරිමැස්මෙන් ගෑස් භාවිතය සඳහා රටපුරා අවන්හලක් තුළ විවිධ උපක්‍රම භාවිතා වෙයි.

අප මෙම සටහනින් උත්සාහ දරන්නේ එම අරපිරිමැස්මෙන් ගෑස් භාවිතා කිරීමට ලංකික අවන්හල් හිමියන් යොදාගෙන ඇති අපූරු උපක්‍රම කිහිපයක් පිළිබඳ ඔබව දැනුවත් කිරීමටයි.

• අවන්හල්වල කෑම ජාති අඩු වෙයි

මේ දිනවලදී අවන්හල්වල ඉතා අල්ප වශයෙන් දක්නට ලැබෙන ආහාර ද්‍රව්‍යයක් වෙයි. ඒ අන් කිසිවක් නොව මෙරට සියලුම අවන්හල්වල ඉතා සුලභව දක්නට ලැබුණු ජනපති මන්දිරයේ පවා කතාවට ලක්වූ ආහාරයක් වන &ආප්ප*ය. අවන්හල් හිමියන් පවසන පරිදි ආප්ප පිච්චීම සඳහා අධික ලෙස ගෑස් වැයවෙයි. එම නිසා ආප්ප නිෂ්පාදනය සහමුලින්ම නවතා දැමීමට බොහෝ අවන්හල් හිමියන් කටයුතු කර ඇත.

මීට අමතර උදෑසන ආහාර සඳහා වන බේකරි නිෂ්පාදනද යම් පමණකට අඩුකිරීමට නිශ්පාදකයන් කටයුතු කොට තිබේ. එම නිසා වෙනදා මෙන් විවිධාංගීකරණයක් සහිත උදෑසන ආහාර මිලදී ගැනීමට අද වනවිට පාරිභෝගිකයන්ට නොහැකිය. එසේම උණුවතුර රත් කිරීමට නොහැකි බැවින් ටී සහ ප්ලේන්ටී අලෙවියද ඇතැම් අවන්හල් හිමියන් නතර කර දමා ඇත. අඩු ලාභයක් සහිත ආහාර ද්‍රව්‍ය මෙලෙස අලෙවියෙන් වැළකී සිටින බව අප කළ විමසීමක දී අවන්හල් හිමියෝ පැවසූහ.

• අවන්හල් වරුවක් වැසීම

වෙනදාට උදෑසන සහ රාත්‍රී කාලයේදී විවෘතව පැවති ඇතැම් අවන්හල් මේ වනවිට එක වරුවක දී පමණක් විවෘතව තැබීමට ඇතැම් හිමිකරුවෝ කටයුතු කරති. බොහෝවිට තම අවන්හලට වැඩිපුර පාරිභෝගිකයන් පැමිණෙන වරුවේ පමණක් අවන්හල් විවෘතව තබන බව ඔවුන් කියා සිටියි. මේ හරහා යම් පමණකට ගෑස් ඉතිරි කරගත හැකි බව ඔවුහු කියා සිටියි.

මේ අතර වෙළෙඳ සංගම් සහිත නගරවල ඇතම් ව්‍යාපාරිකයන් සාකච්ඡා කොට සිය වෙළෙඳසල් විවෘත තැබීමට කාලය බෙදාගෙන ඇති බවටද තොරතුරු තිබේ. ඊට අනුව සේවා මුර ක්‍රමයකට එකිනෙකට ආසන්න වෙළෙඳසල් විවෘත තබන හිතවත් ව්‍යාපාරිකයන් සිටින බව කියැවෙයි. ගෑස් හිඟය හමුවේ අප හට අසන්නට ලැබුණු පුදුම සහගත කතා අතරින් මෙයද අපූරු කතාවකි. කිසිදාක ව්‍යාපාරිකයන් මෙවැන්නක් කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි නමුත් එවන් දෑ මෙරට තුළ මේ වනවිටත් සිදුවෙමින් තිබේ.

• භූමිතෙල් ලිප් සහ දර ලිප් අවන්හල්වලටත්

මෑතකාලීනව ගෑස් හිඟය හේතුවෙන් සාමාන්‍ය ජනතාව ආහාර පිසීම සඳහා දර ලිප සහ භූමිතෙල් ලිප භාවිත කරනු දැකගත හැකිවිය. භූමිතෙල් ලිප් සඳහා විශාල ඉල්ලුමක්ද වෙළඳපොළ තුළ නිර්මාණය වූ අතර දර සඳහාද විශාල වටිනාකමක් ලැබුණි. මේ වනවිට ගෘහස්ථ භාවිතය පමණ නොව වාණිජ වශයෙන් අවන්හල් තුළද භූමිතෙල් ලිප් සහ දර ලිප් භාවිතය ආරම්භ වී තිබේ. විශේෂයෙන්ම ඉඳිආප්ප වැනි ආහාරපාන පිසීමට අවන්හල් තුළ භූමිතෙල් ලිප් භාවිතයට ගන්නා අයුරු දක්නට ලැබෙයි.

ඊට අමතර අවන්හල් මුළුතැන් ගෙවල්වල ඇතුළත හෝ ඉන් පිටත දරලිප් නිර්මාණය කොටගෙන ආහාර පිසීම සිදුකරනු ලබන අයුරු අප වෙත නිරීක්ෂණ විය. විශේෂයෙන්ම බත් සහ ව්‍යාංජන පිසීම වෙනුවෙන් ඇතැම් අවන්හල් හිමියෝ දරලිප් භාවිත කරති. එසේම ප්ලෙන් ටී සෑදීමට උණුවතුර රත් කරන්නේද දර ලිප්වලය. කෙසේ වෙතත් මේ හේතුවෙන් ඇතැම් අවන්වල ආහාර ද්‍රව්‍ය භූමිතෙල් ගඳක් සහ දුම්රසක් ඇති බව පාරිභෝගිකයෝ චෝදනා කරති.

• අනවශ්‍ය තරම් කල්තබාගත් ආහාර

ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් ශීතකරණ තුළ පරිභෝජනය නුසුදුසු ආහාර පවා කල්තබා ගැනීම අදක ඊයෙක සිට සිදුවන්නක් නොවේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙවන් අවන්හල් වැටලීම සිදුකරති. කෙසේ වෙතත් ගෑස් අර්බුද හමුවේ මෙලෙස ආහාර ශීතකරණ තුළ බහා තැබීම වැඩි වී ඇතැයි ද වාර්තා වේ. වෙනදා මෙවන් කූට උපායන් භාවිතා නොකළ පිරිස්ද පවතින වාතාවරණය තුළ මෙවැනි දෑ සිදුකිරීමට පෙළැඹී ඇතැයි කියැවේ. කෙසේ වෙතත් කොවිඩ් වාතාවරණය තුළ අවන්හල් සම්බන්ධ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය ගිලිහීමද මීට හේතුවක් වූ බව පෙනී යයි.

මේ ආදී අප දත් නොදත් උපක්‍රම රුසක් අවන්හල් ක්ෂේත්‍රයේ ගෑස් අර්බුදයට පිළියම් ලෙස ක්‍රියාත්මක වේ. සිය ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යෑම බොහෝ ව්‍යාපාරිකයන්ගේ අරමුණයි. ඔවුන් මේ ආදී උපක්‍රම යොදාගෙන ඇත්තේ එබැවිනි. මෙම උපක්‍රමවල ගුණදොස් විග්‍රහ කිරීමට අපි උනන්දු නොවෙමු. එසේම ගෑස් නිසාවෙන් ඉහළ ආහාර මිල ගණන් සම්බන්ධවද අප සාකච්ඡාවට බඳුන් නොකරමු. මේ ගෑස් අර්බුදයේ දහස් ගණනක් වූ කතා අතරේ තවත් එක් කතාවක් පමණි.

 චමිඳු නිසල් ද සිල්වා