2022 ජනවාරි 15 වන සෙනසුරාදා

පොදු මහජනතාවට විවෘත වූ පෝට් සිටි පදික මංතීරුව

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 96

ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂීම ඉදිකිරීමක් වන කොළඹ වරාය නගරය ශ්‍රී ලාංකිකයන් තුළ විශ්මයක් ඇතිකරවන නිර්මාණයකි. වරාය නගරය සම්බන්ධ ආර්ථික දේශපාලන කරුණු කවරක් වෙතත් ශ්‍රී ලංකා භූමියට අලුතින් එකතු වූ මෙම නව ගොඩබිම දැකබලා ගැනීමට බොහෝ දෙනකු කැමැත්තෙන් සිටි බව නොරහසකි. පසුගිය සතියේ ඊට කදිම අවස්ථාවක් උදාකර දීමට වරාය නගර බලධාරීහු කටයුතු කළහ. 

ඒ අනුව කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගණය ජනතාවට විවෘත කිරීම ඉකුත් ජනවාරි 9 වැනිදා සිදුවිය. නිල විවෘත කිරීම සිදුවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වං යී යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙනි. චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වැනි සැමරුම නිමිති කොටගෙන මෙම විවෘත කිරීම සිදුවිය. 

කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පිහිටි පදික මංතීරුව මහජනතාව සඳහා විවෘත කිරීමට සමගාමීව ක්‍රීඩා අමාත්‍යාංශය සහ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඡායාරෑප ප්‍රදර්ශනයක් සහ රුවල් ඔරු ධාවන තරගයක් මෙදින පැවැත්විණි. 

මරීනා හෙවත් නිකේතන පර්යන්තය කොළඹ වරාය නගරය සතු සුවිශේෂීම කලාපයකි. සුඛෝපභෝගී පෞද්ගලික යාත්‍රා 200කට පමණ නැංගුරම් ලෑමේ පහසුකම් මෙම පර්යන්තයේ පවතී. අනාගතයේ දී ලොව වටා සිටින ධන කුවේරයන්ගේ නොමඳ ආකර්ශනය මෙම නිකේතන පර්යන්තය වෙත යොමුවනු ඇතැයි අපේක්ෂා ‍කෙරේ. ඉකුත් ජනවාරි 10 වැනිදා සිට මෙම කලාපය දැකබලා ගැනීමට මහජනතාවට අවකාශය උදාවිය. 

ඒ අනුව මෙම පදික මංතීරුව වෙත පාගමනින් පැමිණීමට මහජනතාවට මේ වන විටත් අවස්ථාව හිමිව ඇත. ගාලු මුවදොර පිටිය කෙළවර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ සඳහා තාවකාලික පිවිසුම් දොරටුවක් ඉදිකර තිබේ. පදික මංතීරුව අවසානයේ ඉදිකර ඇති ආරුක්කු හැඩති ලෝහමය එල්ලෙන පාලම දක්වා මහජනතාවට ගමන් කළ හැකිය. මහජනතාවට දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා එහි රුඳී සිටීමට ද අවස්ථාව හිමි වේ. 

කොළඹ වරාය නගරයේ ඇවිදින මංතීරුව ඇතුළු මරීනා ප්‍රදේශය නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව උදා කර දුන් පසුගිය සඳුදා දිනයේ සිට ගෙවුණු දින දෙකේදී විශාල ජනතාවක් එය නැරඹීමට පැමිණ ඇතැයි කොළඹ වරාය නගර මාධ්‍ය වාර්තා ඔස්සේ දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් ජනවාරි 10 වැනි සඳුදා, ආරම්භක දිනයේදී මෙය විවෘත වූයේ පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා පමණි. එහෙත් එදින සමස්තයක් ලෙස 2,000කට අධික ජනතාවක් ඒ වෙත පැමිණ ඇතැයි කියැවේ.

මෙම සතිඅන්ත නිවාඩු දින කිහිපයේදී වරාය නගරය නැරඹීම සඳහා සැලකිය යුතු ජනතාවක් පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ. මෙම ඇවිදින මංතීරුව තුළ මෙතෙක් කොළඹ වරාය නගරය ඉදිකිරීම දක්වා වූ වැදගත් සන්ධිස්ථාන සටහන් කෙරුණු පුවරු කිහිපයක්ම ප්‍රදර්ශනයට තබා තිබේ. එසේම ඇවිදින මංතීරුව කොටසේ සහ මරීනා බේ පරිශ්‍රය තුළදී ඡායාරූප ලබාගැනීමේ අවස්ථාව ද උදා කර දී ඇත. එසේම මේ දිනවලදී චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ හැට පස් වසරක මතක සහිත ඡායාරෑප ප්‍රදර්ශන ද ජනතාවට දැකබලා ගැනීමට හැකියාව ලැබේ.

ඉදිරියේ දී අලුතින් ගොඩකරන ලද භූමියට අයත් කිලෝමීටර් දෙකක වෙරළ තීරය දෙවැනි අදියර ලෙස මහජනතාව සඳහා විවෘත කෙරෙනු ඇතැයි වරාය නගරය බලධාරීහු කියා සිටිති. එම පරිශ්‍රය වෙත ද විශාල ජනතා ආකර්ශයක් ලැබෙනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. මීට අමතරව පෝට් සිටිහි මේ වන විටත් පෞද්ගලික සමාගම් විසින් යෝට් යාත්‍රා, ATV (All-Terrain Vehicle) වැලි කඳු ත්‍රාසජනක සවාරි, ජෙට් ස්කී ජල ක්‍රීඩා, වෙරළ උද්‍යානය සහ තවත් බොහෝ පහසුකම් සහිත ඇක්වා ගොල්ෆ් ක්‍රීඩා පිටිය මහජනතාවගේ විනෝදාස්වාදය සඳහා එක් කර ඇත.

කොළඹ වරාය නගරයේ අසිරිය විඳගැනීමට නුදුරේම තවත් අවස්ථා රුසක් ජනතාවට උදාවනු ඇත. සමාජ දේශපාලන මතවාද කවරක් වුවද කොළඹ වරාය නගරය යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී සලකුණකි. අසිරිය සේම එහි ප්‍රතිලාභ ද ජනතාවට ලැබීම නියත වශයෙන්ම සිදුවිය යුත්තකි. 

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක් - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පිහිටි පදික මංතීරුව මහජනතාව සඳහා විවෘත කළ අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය.

“අපිත් චීනයත් අතර මේ සම්බන්ධතාවයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්. චීන රාජ්‍ය ලෝකය පුරා වෙළෙඳාම ආරම්භ කළ මුල්ම කාලේ ඉඳන්ම ලංකාවට ඇවිත් ගනුදෙනු කළ බවට වාර්තා තියෙනවා. ඔබගේ රටේ ඉඳන් වන්දනාවේ ආපු පාහියන් හාමුදුරුවෝ තබපු වාර්තා අදත් අපේ ඉතිහාසයේ වර්ණවත් කොටසක්. පාහියන් හිමියන් එදා ඉතාම සතුටින් ගෞරවයෙන් අපේ රටට ආවා වගේම තාමත් චීන ජනතාව ලංකාවට එන්නේ බොහොම සතුටින්.

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳුවීම් වෙලා නෑ. ඒ නිසාම අපේ රටවල්වලට ඉතාම හිතකර ගනුදෙනු කර ගන්න හැමදාම පුළුවන් වෙලා තියෙනවා. එදා මැතිනියගෙ කාලෙ ඇතිකරගත්ත රබර් – සහල් ගිවිසුම තාමත් අපේ ජනතාවට මතකයි. %අපේ රබර් ඔබගෙන් සහල්^, ඒ වගේම ලංකාවේ ආහාර හිඟයක් ඇතිවුණු වෙලාවක එදා හිටපු අගමැති චෞඑන්ලායි ලංකාවට වුවමනා ආහාර එවලා ඉතා වටිනා පණිවුඩයකුත් එව්වා, ‘‘ඔබට අවශ්‍ය ආහාර ඔබගේ රටේ නිපදවා ගන්න. එය ස්වාධීනත්වයට මගකි.’’ අපි ඒ මාර්ගයට අවතීර්ණ වුණා. ඔබගේ රටත් මුළු ලෝකයමත් අද පිළිගන්නා ජෛව ගොවිතැන අපි ආරම්භ කළා. කොරෝනා වසංගතය නිසා එය අඩපණ වුණත් අපි උත්සාහ කළේ ලෝකයට වැදගත් ආදර්ශයක් දෙන්න. චෞඑන්ලායි ආරම්භ කළ නොබැඳි පිළිවෙත අපි ඉතා සාදරයෙන් පිළිගත්තා. ඒ පිළිවෙත අපි වාගෙ රටවලට විශාල ශක්තියක් වුණා."

 චමිඳු නිසල් ද සිල්වා