2022 ජනවාරි 15 වන සෙනසුරාදා

එස්.ටී.එෆ්. මුල්ම කාන්තා ඒ.එස්.පී. එන්.ටී.එන්. කුමාරි

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 67

විශේෂ කාර්ය බලකායේ පළමු සහකාර පොලිස් අධිකාරිනිය ලෙසින් එන්.ටී.එන්. කුමාරි නිලධාරිනිය උසස්වීම් ලැබුවාය. ජාතික ආරක්ෂාව හා නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම සඳහා දැක්වූ විශේෂ කුසලතාවයත් මෙන්ම සේවා අවශ්‍යතා මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මෙම උසස්වීම ලබාදී තිබුණි.

නම්බුකාර තන්ත්‍රීගේ නිරෝෂා කුමාරි ගැහැනු දරුවන් දෙදෙනෙක් සහ පිරිමි දරුවකු සිටින පවුලක බාලම දියණිය ලෙසින් උපත ලැබුවාය. දෙමව්පියන් මාතලේ වුවද කොළඹ පැමිණ ගෙවල් සැදීමත් සමඟ කුමාරිගේ ළමා කාලය ගෙවුණේ සිද්ධමුල්ල ප්‍රදේශයේමය. කුමාරිගේ පාසල් ජීවිතයේ වැඩිකාලයක් ගතවූයේ ජයවර්ධනපුර නිවාස සංකීර්ණයේදීය. ඇයගේ අප්පච්චි පළාත් සභා පළාත් පාලන හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙසද මව හෝමාගම සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරියක් ලෙසින්ද කටයුතු කළහ. වැඩිමහල් සහෝදරයා ගුවන් හමුදාවේ රුකියාවේ නියුතුව සිට මේ වනවිට විශ්‍රාමිකව පසුවන අතර වැඩිමහල් සහෝදරිය පෞද්ගලික අංශයේ ආයතනයක රුකියාවක නිරත වී සිටී.

නිරෝෂා කුමාරි රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පාසලේදී ඇය දක්ෂ ක්‍රීඩිකාවකි. අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රීඩා ඇතුළු බාහිර ක්‍රියාකාරකම්වලටද පාසල් ජීවිතයේදී කුමාරි සම්බන්ධ වී කටයුතු කළාය. ක්‍රීඩා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇයගේ සිතේ විශාල ඇල්මක් තිබුණි. නමුත් එය පසුකාලයකදී ආරක්ෂක අංශයේ නිලධාරිනියක් ලෙසින් වෘත්තීය ජීවිතයට සම්බන්ධ කර ගැනීමේ ආසාවක් හෝ උනන්දුවක් ඇයට තිබුණේ නැත. උසස් පෙළ සමත්ව බාහිර උපාධිය වෙනුවෙන් අධ්‍යාපනය ලබන අවදියේදී පොලිස් දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පළ වී තිබූ දැන්වීමක් පුවත්පතක පළ වී තිබුණි. ඒ එක්දාස් නවසිය අනූ හත වසරේදීය. එම දැන්වීමත් සමඟ කුමාරිට පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීමේ ආසාවක් ඇතිවුණි. ඇය මේ සම්බන්ධයෙන් තම යහළුවන් හා කතාබහ කළාය. පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රීඩාවට හොඳ තැනක් තිබෙනවා කුමාරිගේ යහළුවන් බොහෝ දෙනෙක් ඇයව දිරිමත් කළහ.

ඔවුන්ගෙන් ලැබුණු දිරිමත්වීමත් සමඟ නිරෝෂා කුමාරි පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ඉල්ලුම්පතක් දැමුවාය. මෙම තීරණයට මුල් කාලයේදී කුමාරිගේ දෙමව්පියන් කැමැති වූයේ නැත. ඒ රටේ එකල පැවැති යුදමය වාතාවරණය නිසාමය. නමුත් කුමාරිට අරමුණක් තිබුණි. හිතේ, ඇඟේ තිබුණ ක්‍රීඩා හැකියාව නිසාම ඉදිරියට යාමේ විශ්වාසයක් ඇයට තිබුණි. ඒ විශ්වාසය නිසාම පසුව කුමාරිගේ දෙමව්පියන්ගේ ආශීර්වාදයද ඇයට ලැබුණි. ඒ ආශීර්වාදයත් සමඟ නිරෝෂා කුමාරි පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූවාය.

මම පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙද්දී මට අවුරුදු විස්ස සම්පූර්ණ වී මාස කිහිපයක් ගතවූවා පමණයි. ගෙදර හිටපු පුංචි ගැහැනු ළමයා පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා ඒ පුහුණුවීම් කරද්දී මුලදී ටිකක් දරාගන්න අමාරු වුණා. නමුත් ක්‍රීඩාව නිසා තිබුණු කැමැත්ත නිසාම ඒ හැමදේම දරාගැනීමේ හැකියාවක් මට තිබුණා... යැයි විශේෂ කාර්ය බලකායේ නව සහකාර පොලිස් අධිකාරිනී නිරෝෂා කුමාරි මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.

 

ඇය පළමුව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ මූලික පුහුණුව හැදෑරුවාය. ඒ පුහුණුවීම් අවසන් කාලයේදී විශේෂ කාර්ය බළකායට පරීක්ෂක ශ්‍රේණි නිලධාරිනියන් කිහිප දෙනෙක් තෝරාගනු ලැබූහ. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවට තෝරාගැනීමේදී සියලුම සුදුසුකම් සපුරා පොලිස් පුහුණුවීම් ලබමින් සිටි කුමාරිට විශේෂ කාර්ය බළකායට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබුණි.

මූලික පුහුණුවීම්වලින් පසුව ඇයව යොමුවූයේ ආරුගම්බේ විශේෂ කාර්ය බලකායේ කඳවුරටය. ඇයත් සමඟ තවත් පරීක්ෂක ශ්‍රේණි නිලධාරිනියන් දෙදෙනකුද සෙසු නිලධාරිනියන් කිහිප දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකටද මෙම අවස්ථාව උදා වී තිබුණි. ඒ කාලයේදී නැගෙනහිර ප්‍රදේශයේ යුද්ධය පැවතුණි. නිලධාරීන් මෙහෙයුම් රාජකාරි කටයුතුවල යෙදෙන හැම මොහොතකදීම කඳවුරේ සිට පාලන රාජකාරිය, මෙහෙයුම්වලට ගොස් සිටි නිලධාරීන් හා සන්නිවේදන කටයුතු, කණ්ඩායම් රාජකාරිවලට යොමුකිරීම වැනි කටයුතු බාරව තිබුණේ මොවුන්ටය.

ඒ කාලයේ අද වගේ දුරකතන පහසුකම් තිබුණේ නැහැ. ජංගම දුරකථන නම් අපිට මුල්කාලයේදී තිබුණේම නැහැ. ඒ නිසා අපි අපේ තොරතුරු, දෙමව්පියන්ගේ තොරතුරු ලිපි හරහා තමයි දැනගත්තේ. ඒ කාලේ ගෙදරට ලියුමක් යවලා ඒකට උත්තර එනකම් සති දෙක තුනක් බලාගෙන හිටියා. තරුණ ගැහැනු ළමයෙක් හැටියට ඒක ජීවිතේ කැප කිරීමක් කරපු කාල සීමාවක්. නමුත් ඒ හැමදේකින්ම දරා ගැනීම කියන දේ මේ පුහුණුවීමත් එක්ක අපිට ඉගැන්වූවා. විශේෂ කාර්ය බලකායේ පුහුණුව හරි අපූරුයි. ජීවිතේ බලන කෙනෙක් ඒ පුහුණුවීම් දිහා බලාගෙන ඉඳල &අම්මෝ* කියල කියන වෙලාවල් තියෙනවා. නමුත් ඒ විනයත් එක්ක ගිය පුහුණුව හරි විශේෂයි. ඒ විනය පදනම් කරගෙන පුහුණුව ආරම්භයේ සිට අවසානය දක්වා අපිව හරිම ලස්සනට නිර්මාණය කළා. පුහුණුව අතරතුරේදී පුහුණුව අතහැරදාලා ගෙදර යන්න කිසිමදාක මට හිතුණේ නැහැ. ඒ පුහුණුව හරි විනෝදයි. හැබැයි හරි අමාරුයි. දහඩිය පෙරාගෙන කරපු ඒ පුහුණුව හරි අමාරු වුණත් ඒක විනෝදකාරී, විනයගරුක කාලයක්.* යැයි නිරෝෂා කුමාරි මහත්මිය කියයි.

පුහුණුවත් සමඟ කාලය කළමනාකරණය සම්බන්ධයෙන් අපූරු පුහුණුවක් ඔවුන්ට ලැබුණි. විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුමට සහකාර පොලිස් අධිකාරිනියට ඇත්තේ විශාල ගෞරවයකි. &කැමා* නිල ඇඳුම ඇඟලා ගත් මොහොතේ සිට කියා නිමකළ නොහැකි ගෞරවයක් ඇගේ හිතේ ඇත.උපාධි ලෝගුව ඇඟලා පසුව හිතට දැනෙන ගාම්භීරත්වය සේම හැඟීමක් &කැමා* නිල ඇඳුමෙන් ඇයගේ හිතට දැනුණි. යුද්ධය අවසන් වන අවදියේදී නිරෝෂා කුමාරි රාජකාරි කරන ලද්දේ විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේය.

2000 වසරේදී නිරෝෂා කුමාරිගේ විවාහය සිදුවුණි. ඒ යෝජනාවකින් මුණගැසුණු අමල් අමරසිංහ මහතා සමඟය. ඔහු පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු ලෙසින් කටයුතු කරයි. නිරෝෂා කුමාරි දියණියන් දෙදෙනකුගේ ආදරණීය මවකි. වැඩිමහල් දියණියට වයස අවුරුදු විස්සකි. ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. දෙවැනි දියණිය තවමත් උසස් පෙළ අධ්‍යාපනය හදාරන්නීය. දියණියන් දෙදෙනාම ඉගෙන ගනු ලැබුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලෙනි.
&විවාහ වූවාට පසුව කාන්තාවකට මෙවැනි රාජකාරියක් කිරීම ටිකක් දුෂ්කරයි. නමුත් ඒ අභියෝගය මම ජයගන්න මට මගේ පවුලෙන් විශාල සහයෝගයක් ලැබුණා. මගේ සැමියාගෙන්, දරුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මගේ රුකියාව උපරිමයෙන්ම කරන්න මගේ සැමියා මට ගොඩාක් උදව් කළා. මම සමහර අවස්ථාවලදී &මට මේක කරන්න අමාරුයි...* දරුවන්ගේ වැඩත් එක්ක මේ රාජකාරිය කරන්නේ කොහොමද?* කියලා මම පසුබසිද්දී &ඔයා ඒක මඟහරින්න එපා. මම ළමයින්ගේ වැඩ බලාගන්නම්.. කියලා මාව දිරිමත් කළේ මගේ සැමියායි. මොනව අවස්ථාවකදීවත් මගේ රාජකාරිය මගෙන් මඟහරින්න ඔහු ඉඩ දුන්නේම නැහැ. දරුවන් දෙදෙනාගේ පාසල් වැඩකටයුතුවලට පවා මම වෙනුවෙන් සහභාගි වුණේ මගේ සැමියායි. මම ඒ දරුවන්ගේ වැඩවලට නොගියත් මගේ කොටසත් උපරිමයෙන් කරල මගේ හිත රාජකාරිය වෙනුවෙන්ම යොදවන්න අවශ්‍ය නිදහස වටපිටාව ඔහු හැම මොහොතකම ලබලා දුන්නා.* යැයි ඇය වැඩිදුරටත් දේශයට පැවසීය.
ඇය මේ වනවිට විශේෂ කාර්ය බලකායේ ප්‍රථම සහකාර පොලිස් අධිකාරිවරියයි. විශේෂ කාර්ය බලකාය තුළ ඇයට විශාල වගකීමක් පැවරේ. විශේෂ කාර්ය බළකායේ කාන්තාවන්ගේ රාජකාරි මෙහෙයවීම මෙන්ම ඔවුන්ගේ ඇතිවන ගැටලු තුළ ඇති ඕනෑම රාජකාරියක් මෙහෙයවීමටත්, මැදිහත්වීමටත් ඇයට පැවරී ඇති රාජකාරිය වේ.

දිශානි ජයමාලි කරුණාරත්න

විශේෂ ස්තූතිය:

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සහ ස්ථානාධිපති මාධ්‍ය උප පොලිස් පරීක්ෂක විශේෂ කාර්ය බලකාය ගාමිණී පිටගම්පල මහතා