2022 ජනවාරි 15 වන සෙනසුරාදා

පාන් කියාගන්නවත් බැරිවෙන හැඩයි

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 102

මේ දිනවල ඇතිවී තිබෙන තිරිඟු පිටි හිඟය හා මිල වැඩිවීම හේතුවෙන් නුදුරේදීම පාන් හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ තිරිඟු පිටි සඳහා පැවැති පාලන මිල ඉවත් කිරීමත් සමඟ ප්‍රීමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම පිටි මිල රුපියල් 10කින් ඉහළ දැමූ අතර යළි පසුගිය නොවැම්බර් මස අගදී තවත් රුපියල් 17.50කින් පිටි මිල ඉහළ දැමීමට පියවර ගත්තේය. ඒ අනුව තිරිඟු පිටි මිල 41%ක ප්‍රතිශතයකින් ඉහළ ගියේය. තිරිඟු පිටි කිලෝවක නව මිල රුපියල් 120කි. එවන් තත්ත්වයක් යටතේ පාන් සහ බේකරි නිෂ්පාදන සඳහා පාලන මිලක් පවත්වාගෙන යෑමේ අසීරුතාව මත බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වූ බේකරි නිෂ්පාදන සඳහා පනවා තිබූ පාලන මිලෙන් ඉවත්වීමට එම සංගමය පියවර ගත්තේය. බේකරි නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම හා සැපයුම මත ඒවායේ මිල තීරණය කිරීමට බේකරි නිෂ්පාදන අලෙවිකරුවන්ට අවස්ථාව හිමි විය. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 80 දක්වා ඉහළ ගිය අතර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලද රුපියල් 5ත් 10ත් අතර මිලකින් ඉහළ ගියේය. 

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීම සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස පහළ ගොස් ගොස් ඇතැයි බේකරි හිමියෝ මැසිවිලි නඟන්නට වූහ. රෝස්පාන් සහ බනිස් ගෙඩියක් රුපියල් 30ක්ද බිත්තර පාන් ගෙඩියක් රුපියල් 60ක් ලෙස හා සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ ගිය බැවින් බේකරි නිෂ්පාදන සඳහා එතෙක් පැවැති ඉල්ලුමද යම් ප්‍රතිශතයකින් පහළ බැස තිබිණි. පාන් මිල ඉහළ දැමීමට පෙර පාන් ගෙඩි 250ක් පමණ අලෙවි කළ ඇතැම් බේකරිවලට පාන් ගෙඩි 100ක්වත් අලෙවි කරගත නොහැකි වූ බවට වාර්තා විය.

බේකරි ව්‍යාපාරයට කණකොකා හඬන්නට වූයේ රටේ පවතින ගෑස් හිඟයත් සමඟිනි. රට පුරා ඇති බේකරි 7,000න් 3500ක් පමණ ගෑස් ප්‍රශ්නය නිසා අකර්මණ්‍ය වී ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේය. එහෙත් බොහෝ බේකරි හිමියන් අසීරුවෙන් වුවද තම ව්‍යාපාරය පවත්වාගෙන ගිය අතර ආසන්න අවස්ථා දෙකකදී පිටි මිල ඉහළ යෑම, තිරිඟු පිටි නිෂ්පාදන සමාගම්වලට තිරිඟු ඇට ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම, පාම් ඔයිල් තහනම සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදන මිල ඉහළ යෑම වැනි සාධක මත බේකරි ව්‍යාපාරය කඩා වැටෙන්නට වී තිබේ. තිරිඟු පිටි ඇතුළු අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම නිසා බේකරි හිමියාට සිදුවන පාඩුව පිරිමසා ගැනීමට නම් පාන් රාත්තලක් රුපියල් 100කටවත් අලෙවි කළ යුතු යැයි බේකරි හිමියෝ සඳහන් කරති. 

මෙම තත්ත්වය යටතේ නුදුරේදීම පාන් හිඟයක් ඇතිවිය හැකි යැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙයි. ''ඉදිරියේදී අනිවාර්යයෙන්ම පාන් හිඟයක් ඇතිවිය හැකියි. අපි පසුගියදා පිටි සමාගම් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. ඔවුන් ප්‍රකාශ කළේ තමන්ට පිටි නිපදවීමේ ගැටලුවක් නොමැති වුවද රටේ ඩොලර් නොමැතිකමින් ඒ සඳහා අවශ්‍ය තිරිඟු ඇට ගෙන්වා ගැනීමේ  අර්බුදයක් නිර්මාණය වීම නිසා පිටි හිඟයක් නිර්මාණය වී ඇති බවටයි. එම සමාගම්වලට තිරිඟු ගෙන්වීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණයෙන් ලැබෙන්නේ 10%ක් පමණක් බැවින් පිටි හිඟයට තමන්ට කළ හැකි දෙයක් නොමැති බව ඔවුන් ප්‍රකාශ කරනවා. මෙතෙක් රුපියල් 5000ට වඩා අඩුවෙන් පැවති පිටි මිටිය අද වන විට රුපියල් 7500ක් ඉක්මවලා. අද වන විට බේකරි හිමියන්ට ලැබෙන්නේ වෙනදා ලැබුණු පිටි ප්‍රමාණයෙන් 50%ක් වැනි ප්‍රමාණයක්. බොහෝ බේකරි හිමියන් රෝස් පාන් නිෂ්පාදනය කරන එකෙන් මේ වෙනකොට ඈත්වෙලා තියෙනවා. ඉදිරියේ පාන් පෝලිම්වලට ගිහින්වත් පාන් ගෙඩියක් මිලදී ගන්න බැරි වේවි. අපි රජයට කියන්නේ මේ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගෙන්නා ලෙසයි.” යනුවෙන් සඳහන් කළේය.

පසුගිය කාලයේ තිරිඟු පිටි නිෂ්පාදනය සඳහා තිරිඟු ඇට අමෙරිකාව, කැනඩාව ආදී රටවලින් ආනයනය කරනු ලැබූ අතර ඩොලර් ගැටලුව නිසා චීනය, රුසියාව, බංග්ලාදේශය, ඉන්දියාව ආදී රටවලින් ආනයනය කරන බවද මේ නිසා තිරිඟු පිටිවල ගුණාත්මක තත්ත්වය පිළිබඳ ගැටලු පවතින බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර තිබේ.

ලංකාව පුරා බේකරි 7,000ක් පමණ තිබෙන අතර පිටි හිඟය හේතුවෙන් ඉන් 2000කට අධික ප්‍රමාණයක බේකරි නිෂ්පාදන සිදු නොකරන බවද වාර්තා වේ. ඇතැම් බේකරිවල  පාන් නිපදවන්නේ සතියේ දින හතෙන් දින හතරක් හෝ පහක පමණි. මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් ඉතිරි  බේකරි ටිකද වසා දැමීමට සිදුවනු ඇති බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

බේකරි හිමියන් ප්‍රකාශ කරන්නේ තවදුරටත් තම ව්‍යාපාරය පවත්වාගෙන යා නොහැකි බවටය. වෙනදාට පිටි මිටි 10කින් පමණ තම නිෂ්පාදන කරගෙන ගියද පවතින අධික මිල හා පිටි හිඟය හේතුවෙන් දිනකට ලැබෙන්නේ පිටි මිටි දෙක තුනක් පමණකැයි බේකරි හිමියෝ කියති. මේ හේතුවෙන් සතියකට දිනක් හෝ දෙකක් පමණක් තම ව්‍යාපාරය පවත්වාගෙන යෑමට සිදුවී ඇති බවද ඔවුහු පෙන්වා දෙති. තවත් බේකරි හිමියෙක් කියා සිටියේ “මගේ බේකරියේ 20ක් 25ක් වගේ පිරිසක් සේවය කරනවා. දැන් ඒ හැමෝටම වැඩ කරන්න විදිහක් නැහැ. ඒ නිසා මාරුවෙන් මාරුවට තමයි පිරිස සේවයේ යොදවන්නේ.” යනුවෙනි. කොවිඩ් වසංගතය නිසා කලක් අඩාලව පැවැති බේකරි ව්‍යාපාරය යළි හිස ඔසවමින් තිබියදී ගෑස් සහ පිටි හිඟයක් නිර්මාණය වීමෙන් තමන්ගේ බැංකු ණය පවා ගෙවාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ඇතැම් බේකරි හිමියෝ පවසති. ඇතැම් බේකරි සහ බේකරි නිෂ්පාදන අලෙවිසල් පවත්වාගෙන යන්නේ කුලී හෝ බදු පදනම යටතේය. තම ආදායම අවම වීම මත කුලිය ගෙවීමට හෝ සේවකයන් නඩත්තු කිරීමට අසීරු තත්ත්වයක් උද්ගතව ඇතැයි ඔවුහු කියති.

රට තුළ පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් ඇතැම් වෙළෙඳුන් තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150 ක් වැනි අධික මිල ගණන්වලට අලෙවි කරන බවද වාර්තා වේ. එවැනි මිලකට පිටි මිලදී ගෙන බේකරි කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකි බව බේකරි හිමියෝ කියති. තිරිඟු පිටිවල පාලන මිල ඉවත් කිරීම හේතුවෙන් ඉන්දියාවෙන් ආනයනය කරන තිරිගු පිටි වර්ගයක් වැඩි මිලට අලෙවි කරන බවද පැවසේ.

සිල්ලර වෙළෙඳසල්වලද මේ වන විට තිරිඟුපිටි හිඟයක් නිර්මාණය වී තිබේ. සිල්ලර වෙළෙඳුන් පවසන්නේ තවත් දෙසතියක පමණ කාලයක් ගතවන තෙක් තමන්ට පිටි නොලැබෙනු ඇතැයි තොග වෙළෙඳුන් පවසන බවයි. 

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා