2022 ජනවාරි 15 වන සෙනසුරාදා

ස්ටාර්ලින්ක් ජාලය ශ්‍රී ලංකාවටත්!

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 84

චීනය මේ වනවිට තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් උඩුගුවනේ තනමින් සිටියි. මේ ඊයේ පෙරේදා චීන බලධාරීන් එක්සත් ජාතීන් වෙත පැමිණිලි කර තිබුණේ උඩුගුවන සිසාරා පැතිර ඇති චන්ද්‍රිකා කිහිපයක් තමන්ගේ මධ්‍යස්ථානයේ නිදහස් ගමනට හරස් වූ බවටය. මේ චන්ද්‍රිකා අයත්වූයේ දැනට මහපොළෝවාසීන් අඟහරු කරා ගෙන යන්නට සැලසුම් තනනා එලොන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා ගොන්නටය. 2022 ආරම්භයේදීම ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 49ක ගොන්නක් උඩුගුවනට මුදාහැරියේය. මේ ස්ටාර්ලින්ක් යනු මහපොළොව වටා ජාලයක් තනන චන්ද්‍රික එකතුවකි. එය අන්තර්ජාල පහසුකම් සලසන පෞද්ගලික ආයතනයකි. දැන් මේ ස්ටාර්ලින්ක් පහසුකම අපේ රටටද ලැබීමට නියමිතය.

Starlink යනු පෞද්ගලික අභ්‍යවකාශ සංචාර මෙහෙයවන එලෝන් මස්ක්ගේ සමාගමක් වන SpaceX විසින් දුරස්ථ ස්ථාන වෙත අඩුමිලට අන්තර්ජාලය සැපයීම සඳහා සංවර්ධනය කරන ලද චන්ද්‍රිකා ජාලයයි. SpaceX හි මෙම චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා වූ යෝජනාව 2015 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී. SpaceX විසින් TinTinA සහ TinTinB ලෙස නම් කර ඇති එහි පළමු Starlink පරීක්ෂණ චන්ද්‍රිකා දෙක 2018 පෙබරවාරි මාසයේදී දියත් කරන ලදී.  ඉන්පසු එහි පළමු Starlink චන්ද්‍රිකා 60,  2019 මැයි 23 වැනි දින SpaceX Falcon 9 රොකට්ටුවකින් උඩුගුවනට එක්කරන ලදී. 2022 ජනවාරි මස මුල වනවිට SpaceX විසින් Starlink චන්ද්‍රිකා 1,900කට වඩා  උඩුගුවනට යවා ඇත. මේ චන්ද්‍රිකා එකතුව දැන් ලොව පුරා තෝරාගත් ප්‍රදේශවල බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සපයයි. SpaceX අවසානයේ බලාපොරොත්තු වන්නේ මෙම ජාලයට චන්ද්‍රිකා 42,000ක් තරම් ප්‍රමාණයක් එක්කිරීමටයි.

පහත් කක්ෂයක සැරිසරන දියුණු චන්ද්‍රිකා භාවිතා කරමින්, Starlink වීඩියෝ ඇමතුම්, ඒ හා සබැඳි ක්‍රීඩා, අඛණ්ඩ සේවා ප්‍රවාහය සහ ඓතිහාසිකව මෙතෙක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා සමඟ කළ නොහැකි වූ අනෙකුත් ඉහළ දත්ත අනුපාත ක්‍රියාකාරකම් රැසක් සක්‍රීය කරයි. පරිශීලකයන්ට 100 Mb/s සහ 200 Mb/s අතර බාගත කිරීමේ වේගයක් සහ බොහෝ ස්ථානවල ප්‍රමාදය 20ms තරම් අඩු කිරීමටද මෙයට හැකි බව කියයි.

මේ වනවිට Starlink හි ව්‍යාපාර ජාලයද වේගවත් වෙමින් පවතී. 2021 පෙබරවාරි මාසයේදී, මස්ක් සිය සමාගම ස්ටාර්ලින්ක්, පාරිභෝගිකයින් 10,000 කට වඩා සේවය කරන බව අනාවරණය කළේය. දැන්, තවත් අනාගත ගනුදෙනුකරුවන් වෙත පෙර ඇණවුම් පුළුල් කිරීමෙන්, දෙවැනි පරම්පරාවේ ගෘහස්ථ අන්තර්ජාල සැටලයිට් ඩිෂ් නිකුත් කිරීමෙන් සහ මගී ගුවන් යානා සඳහා පියාසර Wi-Fi ලබාදීමේ හැකියාව ගවේෂණය කිරීමෙන් පසුව, Musk පවසන්නේ Starlink විසින් රටවල් 14ක පාරිභෝගිකයන් වෙනුවෙන් චන්ද්‍රිකා අන්තර්ජාල පර්යන්ත 100,000කට වඩා නැව්ගත කර ඇති බවයි.

SpaceX හි Starlink දෘඪාංගයට චන්ද්‍රිකා ඩිෂ්ඇන්ටෙනාවක් සහ රවුටරයක් ඇතුළත් වන අතර, අභ්‍යවකාශයේ සිට සංඥා ලබාගැනීම සඳහා ඔබ නිවසේදී එය සුසර කර ගත යුතුව ඇත. මෙහි මූලික සැලසුමේ තවත් වැඩිදියුණු කිරීම් 2022 දී සිදුවීමට නියමිතය.  දැනට, මෙහි මිල ඩොලර් 499 ක් පමණ වේ. නමුත් මේ මිල තවත් අවම කිරීමට සමාගම කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

අපි Starlink සම්බන්ධතාවයක් ලංකාවේදී මිලදී ගන්නේ කෙසේද? එය ඉතා සරලය, ඒ සඳහා කළ යුත්තේ Starlink වෙබ් අඩවියට ගොස් ඔබේ ලිපිනය ඇතුළත් කර ඇණවුමක්ස සඳහා ගෙවීමය. එවිට ශ්‍රී ලංකාවට starlink පහසුකම ලබාදුන් වහාම ඔබේ Starlink කට්ටලය ඔබට ලැබෙනු ඇත. ඒ සඳහා මසකට දැනට වැයවන්නේ ඩොලර් 99කි.

සම්බන්ධතාවය ඇතිකර ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ සංඥා ලබා ගැනීමට සහ සංඥා ඔබේ රවුටරයට ලබාදීම සඳහා නිවසේ කුඩා චන්ද්‍රිකා ඇන්ටෙනාවක් ඇටවීමයි. අදාළ සමාගම නිවසේ වහළ, අංගන සහ පිටත සඳහා සවි කිරීම් විකල්ප ගණනාවක් සහිත ඇන්ටෙනා නිපදවා ඉදිරිපත් කරයි. ඇන්ඩ්‍රොයිඩ් සහ iOS සඳහා Starlink යෙදුමක් පවා ඇත, එය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ග්‍රාහක උපකරණ සඳහා හොඳම සහ නිශ්චිත ස්ථානය තෝරා ගැනීමට උදවු වේ.

  සුගත්

 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00