2022 ජනවාරි 15 වන සෙනසුරාදා

වැඩියෙන් අවුල් රටද? මෛත්‍රීද?

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 184

අනාගතයේ දිනක ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය පෙළගස්වන විටක මෛත්‍රීපාල සිරිසේන නම් චරිතයේ දේශපාලන භාවිතය විවාදයට ලක්වනු ඇත. එය පැහැදිලි අනාවැකියකි. මෙම සංවාදය මෛත්‍රීපාල සිරිසේන නම් චරිතයේ තත්කාලීන දේශපාලන භාවිතය පිළිබඳවයි. වසර පහක කාලයක් නිදහස් ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. කෙසේ වෙතත් ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකයා වන්නේ ද මෛත්‍රීපාල සිරිසේන මහතාය. 

මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය ලෙස ශ්‍රීලනිපයේ ප්‍රධානීන් කිහිප දෙනෙක් වර්තමාන ආණ්ඩුවේ ඇමැතිධූර කිහිපයක් හොබවමින් සිටිති. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැති ධූරයක් හොබවන්නේ නැත. 2019 ජනාධිපතිවරණයේ දී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමන කළ හෙතෙම නැවත දේශපාලන කරළියේ ඉස්මතු වූයේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයට පොළොන්නරැව දිස්ත්‍රික්කයෙන් තරග කිරීමත් සමඟය. කෙසේ නමුත් ජනාධිපතිවරණ සමයේ ශ්‍රීලනිපය පක්ෂයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළේය. නිහඬව සිටියේ එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ද පසුගිය වසර එකහමාරක් වැනි කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා තරමක් නිහඬව සිටියේය. එහෙත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආසන්න මාස කිහිපය තුළ වූ ආන්දෝලනාත්මක තත්ත්වයත් සමඟ ඔහු ක්‍රමයෙන් සිය නිර්දෝෂී බව ප්‍රකාශ කිරීමට හඬ අවදි කළේය. එම අවදිවීම ක්‍රමයෙන් දියුණු තියුණු වූ අතර මේ වන විටත් රට තුළ පවතින ආර්ථික සහ සමාජීයමය තත්ත්වය සිරිසේන මහතා විෂයේ උත්තේජනයක් විය.
මෛත්‍රීපාල සිරිසේන වර්තමාන අනාගත දේශපාලන භාවිතය සම්බන්ධ හරස්කඩක් පිළිබිඹු කරන ප්‍රකාශයක් පසුගිය සතියේ අපට අසන්නට ලැබුණි. අප පහත උපුටා දක්වන එම ප්‍රකාශය හරහා මෛත්‍රීපාල සිරිසේන චරිතයේ දේශපාලන භාවිතය පිළිබඳ තුන් කල් කියා ගැනීමට ඔබට හැකිවනු ඇත.

“රටම අවුල්. මේ ලෝකෙ දෙයක් දන්නේ නැති අය කියනවා.. මැතිනියගේ කාලේ වගේලු දැනුත්. කන්න නෑ... පෝලිම් කියලා. මම මැතිනියගේ කාලේ සතොසෙන් බඩු බෙදාහැරිය සැපයීම් නිලධාරියෙක්. මෙහෙම අහේනියක් තිබුණේ නෑ. මෙහෙම පෝලිම්වල කවුරැත් කුණුහරැප කිව්වේ නෑ. තනියෙන් රටක් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. හොඳ කණ්ඩායමක් ඉන්න ඕනේ. අවුරැදු 5ක් මම තනියම ආණ්ඩු කරපු කෙනෙක්. මං වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හිටියේ නෑ. ආණ්ඩුවෙත් නෑ. විපක්ෂයෙත් නෑ. එහෙම අගමැති, ඇමැති මණ්ඩලයක් නැතුවත් මම අද තියෙන අර්බුදයට රට දැම්මේ නෑ. 2015ටත් වඩා අඩුවෙන්බඩු මිල තිබුණේ අපේ කාලේ. අමාරැවෙන් රැපියල් 2කින් තෙල් මිල වැඩි කළාම, පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා. ඒ අතර දන්නවානේ... පොල් බෑය, ලූනු ගෙඩිය පෙන්නලා අහපුවා. දැන් සනීපද.. සැපද.. ඇහුවා. දැන් රටම අසනීපයි. 

ජනාධිපති ඡන්දයට කලින් ශ්‍රීලනිපය ගැන පුදුම වටිනාකමක් තිබුණේ. පොදුජන පෙරමුණේ ඉහළම නායකයෝ මාව කී සැරයක් හමුවුණාද? වන් ටූ ත්‍රී තුන්දෙනා වෙන වෙනම මාව හමුවුණා. ශ්‍රීලනිපය නැතිව දිනන්න බෑ කියපු අය ඡන්දෙන් පසු පළමු සතියේම සන්ධාන ගිවිසුම කඩ කළා. ගිවිසුමේ කිසිම කාරණයක් අද වෙනකල් ඉටු කරලා නෑ. කරපිංචා වගේ අරගෙන විසි කෙරැවා. ජනාධිපති ඡන්දයක් ළඟදි එන්නේ නෑ. ජාතික මැතිවරණයකට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. සමහරැ කියනවා ජනමත විචාරණයක් ගැන. ජනමත විචාරණ තියලා කල් දිගුකර ගන්න ලෑස්ති වෙන්න එපා. ඒක කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්."

ජනවාරි නව වැනිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් සිරිසේන මහතා මෙම ප්‍රකාශය සිදු කළේය. කෙසේ වෙතත් මාසයකට අධික කාලයක් තුළ ඔහු සිදු කළ එකම ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙය නොවුණි. පාස්කු ප්‍රහාරය පිළිබඳව ද විශේෂ හෙළිදරව්වක් තමා ඉදිරියේදී සිදු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කොට තිබුණි. එම ප්‍රකාශය ඔහු සිදු කර තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් පවරා ඇති නඩුවෙන් තමන් නිදහස් කරන්නැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ජනවාරි 7 වැනිදා ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.

මේ අතර වත්මන් ආණ්ඩුව කරන අය තමන්ගේ ආණ්ඩුවට මීට වඩා අපහාස විවේචන කළ බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් සහිත නව සන්ධානයක් හරහා නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව ද පසුගියදා මාධ්‍ය අමතා පවසා සිටියේය.

මේ ආදී වශයෙන් නොනැවතුණු වාග් ප්‍රහාර මාලාවක් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා දියත් කරමින් සිටින පසුබිමක විවිධ  කතා ආරංචි ද පැතිර යමින් තිබුණි. මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සිහින දකිමින් සිටින බව පිරිසක් කීහ. පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරැන් 14 සහ විමල්, උදය, වාසු ඇතුළු පිරිස ද එක්කර ගනිමින් ඔහු මෙලෙස පිඹුරැපත් සකසා ඇති බවට ඔවුහු වාර්තා කළහ. නමුත් ඇතැම් වෙබ් අඩවි වාර්තා අනුව කියවුණේ ශ්‍රීලනිප සහ සජබ කණ්ඩායමක් එකතුව මෙම සැලසුම ක්‍රියාවට නංවන බවයි. කෙසේ නමුත් එම ආරංචි සහ තොරතුරැවල සත්‍යතාවය තහවුරැ කිරීමට අපි අපොහොසත් වෙමු.

මෛත්‍රීපාල සිරිසේන චරිතය දේශපාලන වශයෙන් සක්‍රීය වීම හේතුවෙන් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රති ප්‍රහාර නොමඳව අසන්නට දකින්නට ලැබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල කතා කරන්නේ මුකුත් නොදන්නා කෙනකු ලෙසින් යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ජනවාරි 10 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පවසා තිබුණි.

“පහුගිය දවස්වල දැක්කා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රකාශ කිහිපයක්. එතුමා හිටපු ජනාධිපති. එතුමා බලයට පත් වුණේ කොහොමද කියලා මතක ඇති. දැන් කතා කරන්නේ තොත්ත බබෙක් වගේ. එතුමා සියලු දේ ප්‍රාර්ථනා කරල ලැබුණා වගේ කතා කරන්නේ. එදා එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් ක්‍රියාකාරීන් එතුමාව ඉහළින් ඔසවා තබන්න තමන් කරපු කැපවීම තුට්ටුවකට ගණන් ගන්නේ නැතුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හැටියට පසු කාලයේ ඔවුන්ට පයින් ගහපු හැටි අපි දැක්කා. මෙසේ කියන්න හේතු වුණේ ගිය සතියේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා ගුවන්විදුලිය සමඟ පවත්වපු සාකච්ඡාවක දී එතුමා පිළිගත්තා පළමුවරට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති හැටියට පත් කරන්න ගත් තීරණය වැරදි කියලා. හැබැයි ඔය කතාව මම කිව්වේ මීට අවුරැදු හයකට ඉස්සරවෙලා මම 2014 දෙසැම්බර් මාසේ 08 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ වෙලාවේ."

මේ අතර ආන්දෝලනාත්මක චරිතයක් වූ හිටපු මුදල් ඇමැති රවී කරැණානායක ද මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් බරපතළ ප්‍රකාශයක් සිදුකොට තිබුණි. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්බන්ධ ලිපි ගොනු තමන් සතුව ඇතැයි රවී කරැණානායක ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණ සමයේ ඩොලර් වංචාවක් ගැන ද යකඩ ජාවාරමක් සහ අයථා මත්පැන් බලපත් ලබාදීමක් ගැන ද මෙහිදී ඔහු අදහස් දක්වා තිබුණි.

මෛත්‍රීපාල සිරිසේන දේශපාලන භාවිතය සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ ද විවේචන බොහෝ විය. කොයි මොහොතේ හෝ හිටපු ජනපති ඇතුළු පිරිස පොල්ල තියා යන බැවින් හොඳම දේ දැන්ම ඔවුන් ඉවත් කිරීම බව, රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ඉකුත් සතියේ පවසා තිබුණි. ජනවාරි පළමු සතියේ මහනුවර දී ඔහු මෙම ප්‍රකාශය සිදු කළේය. ඉන්දියානු ඔත්තු සේවා මගින් දහ දොළොස් වතාවක් දැනුම් දී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිව සිය ගණනක් බැතිමතුන් පල්ලි තුළ මරණයට පත්වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කරද්දී බවත් මේ නිසා වත්මන් රජයට ඇඟිල්ල දිගු කිරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් අමුණුගම මහතා කීය.

ආණ්ඩුවේ පසුපෙළින් ද මෛත්‍රී විරෝධය ක්‍රමයෙන් වර්ධනය වන බව පෙනී ගියේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අදහස් දක්වා තිබුණි. තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව දේශපාලන කටයුතු කරනවාද යන්න පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය. ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් බිඳවැටීමට මූලික හේතුව වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද මෙම අවස්ථාවට එක්වෙමින් පොදුජන පෙරමුණු පසුපෙළ මන්ත්‍රීවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද පවසා තිබුණි.

සමස්තයක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් ඓතිහාසික සංකීර්ණ දේශපාලන භාවිතයකට සැරසෙන බව පෙනී යයි. මේ වනවිට වයස අවුරැදු හැත්තෑවක් සම්පූර්ණ කොට ඇති මෙම සුවිශේෂී දේශපාලන චරිතයේ ඊළඟ නැවතුම කොතැනද? අපි බලා සිටිමු. මෛත්‍රීපාල සිරිසේන නම් චරිතයේ දේශපාලන භාවිතය අනාගතය විසින් විනිශ්චය කරනු ඇත. අපි ඊට ඉක්මන් නොවෙමු.

 චමිඳු නිසල් ද සිල්වා