2022 ජනවාරි 15 වන සෙනසුරාදා

ඇමැතින් නොදන්න විදුලිය කැපිල්ල

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 92

ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාව සපුරාලීමේ ගැටලුවක් මේ වන විට නිර්මාණය වී තිබේ. පසුගිය දිනවල නොදන්වා වරින්වර විදුලිය කැපීමක් දිවයින පුරා සිදු වූ අතර, ඉන් ජනතාව දැඩි පීඩාවකට පත්වූහ. මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ දැනට පවතින වියළි කාලගුණය හේතුවෙන් පසුගිය දෙසැම්බරය වන විට 95%ක්ව පැවැති ජල විදුලි උත්පාදනය 70% දක්වා අවම වීම හා රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් තාප බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන  නිසි පරිදි නොලැබීම හේතුවෙනි. 

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලය වගාකටයුතු සඳහාද මුදා හැරීමට සිදුවී ඇති හෙයින් ජල විදුලි නිෂ්පාදනය තව දුරටත් පහත වැටෙමින් පවතී. එහෙයින් විදුලිය නිෂ්පාදනය සඳහා තාප බලාගාර වැඩිවැඩියෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවී තිබේ. තාප විදුලි බලාගාර නොනවත්වා ක්‍රියාත්මක කිරීමට නම් දැවිතෙල් අත්‍යවශ්‍යය. විදුලිබල මණ්ඩලය මේ දිනවල එම දැවිතෙල් සපයා ගැනීමේ විශාල අර්බුදයකට මුහුණ පා සිටී. ඛනිජතෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය නොගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට අවශ්‍ය දැවිතෙල් සැපයීම අත්හැර දැමූ අතර ඊට හේතු වූයේ ඛනිජ තෙල් සංස්ථාවටද රටට අවශ්‍ය තෙල් සපයා ගැනීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට ඩොලර් හිඟයක් පැවතීමය.  ඛනිජ තෙල් සංස්ථාව කියා සිටියේ තමන්ට ඩොලර් ලබා දෙන්නේ නම් විදුලි බල මණ්ඩලයට තෙල් සැපයිය හැකි බවටය. 

බොරතෙල් ආනයනයට මුදල් නොමැති හෙයින් සපුගස්කන්ද තෙල් පිරිපහදුවද පසුගිය 3 වැනිදා සිට ක්‍රියා විරහිත කෙරිණි. විදුලිබල අමාත්‍ය  උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ විදුලිබල මණ්ඩලයට තෙල් ලබා දීමට නම් ඔවුන් තමන්ට ඩොලර් සපයා දිය යුතු බවටය. අපිත් ඩොලර් හොයා ගන්නේ බොහොම අමාරැවෙන්. විදුලිබල මණ්ඩලය අපට ඩොලර් හොයල දුන්නොත් අපිට තෙල් ගෙන්වල දෙන්න පුළුවන්. විදුලිබල මණ්ඩලය වෙනුවෙන් ඩොලර් සෙවීමේ දුෂ්කර කාර්යය අපට බාරගන්න බැහැ. විදුලි බල මණ්ඩලය වගකීමෙන් කටයුතු කළා නම්, අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපට ලබා දුන්නා නම් අපට ඔවුන්ට තෙල් ගෙන්වා දිය හැකියි. යනුවෙනි.

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ විදුලිබල මණ්ඩලයට අවශ්‍ය දැවිතෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ලබා දෙන ලෙසට  විදුලිබල මණ්ඩලයට සහ අමාත්‍යංශයට පසුගිය සැප්තැම්බරයේ දැනුම් දුන් බවය. එහෙත් විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල අමාත්‍යංශයේ අදහස වූයේ ජනවාරි මාසය අවසන්වන තෙක් ඔවුන්ට දැවි තෙල් අවශ්‍ය නොවන බවකි. මේ වනවිට විදුලිබල මණ්ඩලය රැපියල් බිලියන 91ක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට තිබේ. එහෙයින් තව දුරටත් ණයට ඉන්ධන සැපයිය නොහැකි යැයි ඛනිජ තෙල් සංස්ථාව තීරණය කළේය. ඉදිරියේදී තෙල් ලබා දීමට නම් අවම වශයෙන් බිලියන 18ක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු බව ඔවුන් විදුලිබල මණ්ඩලයට දන්වා තිබිණි.

මේ වනවිට නොරොච්චෝල බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රිය වී ඇති අතර ඉන් මෙගාවොට් 300ක ධාරිතාවක් විදුලි පද්ධතියට අහිමි වී තිබේ. පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නම් දෛනික විදුලි කප්පාදුවක් සිදුකළ යුතු බවට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන්නේය. ඊට මහජන උපයෝගිතා කොමිසමේ අවසරය හිමි වූ අතර ජනවාරි 10 වැනිදා සිට පැයක හෝ දෙකක කාලයක් දෛනිකව විදුලිය කැපීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර දුන්නේය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට මුදල් ගෙවීමට ඇති බවත් එවැනි තත්ත්වයක් උද්ගත වූයේ පාරිභෝගිකයන් විසින් බිලියන 43කට අධික බිල්පත් මෙතෙක් ගෙවා නොමැති හෙයින් බවත්ය. &විදුලිබල මණ්ඩලයට පාරිභෝගිකයන් නිසි පරිදි බිල්පත් නොගෙවීම නිසා ඔවුන්ට හැකියාවක් නැහැ මුදල් ගෙවා තෙල් ලබා ගැනීමට. මේ නිසා බිල්පත් ගෙවා නොමැති පාරිභෝගිකයන් කඩිනමින් තම බිල්පත් ගෙවන්නේ නම් විදුලිබල මණ්ඩලය දැනට මුහුණ දී ඇති අර්බුදයෙන් මිදෙන්නට හැකි වේවි. යනුවෙනි.

අවශ්‍ය වුවහොත් විදුලිය කප්පාදුවක් සිදුකරන බවට විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය. ඒ අනුව දිවයින කලාප හතරකට බෙදා සවස 5.30 සිට 9.30 අතර කාලයේ පැයක් බැගින් විදුලිය කපා හැරීමට තීරණය වී තිබේ. දිවා කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන අතර ඉරිදා දිනවලද විදුලිය කැපීමක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබිණි. 

ශ්‍රී ලංකාව තම විදුලිය අවශ්‍යතාව සපුරා ගන්නේ ප්‍රධාන වශයෙන් ජලවිදුලි බලාගාර, තාප විදුලි බලාගාර හා සුළං බලයෙන් හා සූර්ය බලශක්තියෙනි. මේ වනවිට ශ්‍රී ලංකාවේ දෛනික විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 43 සිට ගිගාවොට් පැය 46ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගෑස් හිඟය නිසා ජනතාව වැඩි වශයෙන් විදුලිය පරිභෝජනය කිරීමද විදුලි ඉල්ලුම ඉහළ යාමට බලපා තිබේ. දැනට නිපදවනු ලබන සමස්ත විදුලියෙන් 43.4%ක් සැපයෙන්නේ ජලවිදුලි බලාගාරවලිනි. 5%ක් සුළං සහ සූර්ය බලශක්තියෙන් වන අතර ඉතිරි 51.6% සපයා ගන්නේ තාප විදුලි බලාගාරවලිනි.

මෙවන් වාතාවරණයක් යටතේ විදුලිය කප්පාදුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා පසුගිය 10 වැනි සඳුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරැන් හා නිලධාරීන් සමඟ සාකච්ඡාවක් කැඳවා තිබිණි. ජනජිවිතයට බාධා නොවන පරිදි විදුලි අර්බුදයට විසඳුම් සොයන්නැයි එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා  නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.  එහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ ගල්අඟුරැ සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේ දී පැනනැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය. මේ වනවිට රටේ ගල් අඟුරැ සංචිත විදුලි අර්බුදයක් ඇති නොවන පරිදි පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් බවත්, ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලිය උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකින් තොරව විදුලිය සැපයිය හැකි බවත් එම නිලධාරීන් සඳහන් කර තිබේ.

ගල් අඟුරැ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ඩොලර් නිදහස් නොකිරීම හේතුවෙන් නොරොච්චෝලේ තාප බලාගාරයට අවශ්‍ය ගල්අඟුරැ ලබා ගැනීමට සැපයුම්කරැවන් ඉදිරිපත් වී නොමැති බවට වාර්තා වේ. නොරොච්චෝල බලාගාරයේ අලුත්වැඩියාව හේතුවෙන් මෙගාවොට් 300ක්ද, ඉන්ධන නොමැතිකමින් කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් 30ක්ද, යුගදනවි බලාගාරයෙන් මෙගාවොට් 30ක්ද, ලක්විජය බලාගාරයෙන් මෙගාවොට්  300ක්ද, පාවෙන විදුලි බලාගාරයෙන් මෙගාවොට් 160ක්ද ජාතික පද්ධතියට අහිමි වී තිබේ.

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යෑමට තීන්දු කළ බව කියා සිටියේය. ගල් අඟුරැ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් නියමිත කාලසටහන අනුව නැව් සියල්ල පැමිණ ඇති බවත්, ඉතිරි නැව් සඳහාද මුදල් ගෙවීමට හැකි බවත් ඔහු පැවසීය. &අපි ගල්අඟුරැ මිලදී ගන්නේ දකුණු අප්‍රිකාවෙන් හා රැසියාවෙන්. ඒවා නැවකට පටවන අවස්ථාවේ ඩොලර් මිලියන 8ත් 10ත් අතර ප්‍රමාණයක් ගෙවිය යුතුයි. අපි ගෙන්වීමට ඇති ගල්අඟුරැ සියලු ප්‍රමාණය අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ගෙන්වා ගත යුතුයි. මහා භාණ්ඩාගාරය පසුගිය සතිය වනතෙක්ම අපට මුදල් දුන්නා. අවසාන ඇණවුම ගල්අඟුරැ ටොන් 4,800ක්. එය ගෙන්වන්නේ රැසියාවෙන්.

විදුලි අර්බුදයට හේතු වූයේ නොරොච්චෝලේ ගල්අඟුරැ බලාගාරයේ මෙගාවොට් 300ක් උත්පාදනය කරන එක් යන්ත්‍රයක් අක්‍රිය වී ඇති හෙයිනැයිද එය ලබන 20 වැනිදා වනවිට යථා තත්ත්වයට පත්වනු ඇතැයිද, එවිට කැලණිතිස්ස හා සපුගස්කන්දත්,  පාවෙන විදුලි බලාගාරයත් යළි ක්‍රියාත්මක කිරීමෙන් පසු අවශ්‍ය විදුලිය උපදවා ගත හැකි බවද ජනවාරි මාසයේ අග වන විට විදුලිබල ඉල්ලුම ඉහළ යනු ඇති බැවින් අතිරේක විදුලිය අවශ්‍ය වනු ඇතැයිද ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. &ඇතැම් නිලධාරීන්ට අවශ්‍ය වී තිබෙනවා අපේ විදුලි මිලට වැඩියෙන් විදුලිය මිලට ගැනීමට. මෙය වසර ගණනක සිදුවූවක්. ඒ නිසා ඇතැම් ගිවිසුම් අපි දීර්ඝ කළේ නැහැ. ඇඹිලිපිටිය සහ මාතර ගිවිසුම් දෙකක් දීර්ඝ කිරීමට තිබෙනවා.* යැයි පැවසූ අමාත්‍යවරයා. තෙල් සංස්ථාව සමඟ  සාකච්ඡාවක් පැවැත්වූ බවත් ඔවුන් තෙල් ලබාදීමට එකඟ වී ඇති බවත් ප්‍රකාශ කළේය. 
විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතා කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථාව තෙල් සැපයීමට එකඟ වී ඇති හෙයින් ජනවාරි මස අවසන් වන තෙක් විදුලිය සැපයීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් නිර්මාණය නොවනු ඇති බවටය. ඒ අනුව දිවා කාලයේ විදුලිය කැපීමේ අවශ්‍යතාවක් ඇති නොවන අතර අවශ්‍යතාවක් මතු වුහොත් රාත්‍රි කාලයේ විනාඩි 30ක් හෝ 40ක් වැනි කාලයක් විදුලිය කැපීමට සිදුවනු ඇතැයි  පැවසූ ඔහු & අපට ඉන්ධන මත යැපෙන්නට සිදුවුණේ නොරොච්චෝලේ  ගල් අඟුරැ බලාගාරයේ මෙලාවොට් 300ක් නොමැති වීම නිසයි. දැනට දින පහකට පමණ අවශ්‍ය ඉන්ධන ලැබී තිබෙනවා. ඉදිරියෙත් ඉන්ධන නොකඩවා ලැබුණොත් අපට විදුලිය කැපීමේ අවශ්‍යතාවක් ඇති  වන්නේ නැහැ.* යනුවෙනි.

තාක්ෂණික ඉංජිනේරැ අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ නිශාන්ත මහතා සඳහන් කරන පරිදි මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ අංක 3 බලාගාරය තවමත් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වී තිබීම මෙම විදුලි අර්බුදයට ප්‍රධාන හේතුවය. රාත්‍රී කාලයට මෙගාවොට් 250ක පමණ විදුලි හිඟයත් පවතින අතර නොරොච්චෝලේ ගල් අඟුරැ බලාගාරයෙන් මෙගාවොට් 270ක් පද්ධතියට එක්කළ හැකි අතර අවස්ථාවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් එම බලාගාරය සක්‍රිය තත්ත්වයට පත් කිරීමට නොහැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට මෙයට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් කිරීම බලධාරීන්ගේ වගකීමක් බවද ඔහු පෙන්වා දෙයි.

&පසුගිය අප්‍රේල් මාසයේ හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා වන ගිවිසුම් 3ක් අවලංගු වුණා.  එම ගිවිසුම් 3 නැවත වලංගු කර ගැනීම සඳහා එක්තරා කණ්ඩායමක් ඉතා සූක්ෂ්ම ලෙස විදුලි අර්බුදයක් නිර්මාණය කරමින් මහජනයාට පීඩා ඇති කරමින් නැවත ක්‍රියාත්මක වී තිබෙනවා. දැවි තෙල් හිඟයක් තිබෙන බව ප්‍රකාශ කරමින් හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා වන ගිවිසුම් දීර්ඝ කිරීම ඉතාමත් කඩිනමින් සිදුවන බව නම් අපට පෙනෙන්නට තිබෙනවා.

දැනට  ක්‍රියාවිරහිත කොට ඇති සපුගස්කන්ද පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ලබන 26 දා සිට යළි ආරම්භ කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය ප්‍රකාශ කරයි. ලබන 23 වන විට බොරතෙල් නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිත බවත් ඒ අනුව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු යළි ඇරඹිය හැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ. රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් බොරතෙල් ලබා ගැනීමට නොහැකි වීම මත පසුගිය 3 දා සිට සපුගස්කන්ද පිරිපහදුවේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරැ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පෙන්වා දෙන්නේ විදුලිය අර්බුදයක් ඉදිරියේ ඇති නොවීමට නම් කඩිනමින් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු විය යුතු බවටය. වසර පුරාම හොඳින් හිරැ එළිය ලැබෙන රටක් නිසා අපට පහසුවෙන්ම එයට යොමු විය හැකි බවත් මාස පහක් හෝ හයක් ගතවන විට මෙගාවොට් 300ක් හෝ 400ක් ප්‍රධාන පද්ධතියට එක් කළ හැකි බවත් එවිට ඩොලර් නැතැයි කියා ගැටලුවක් ඇති නොවන බවත් ඔහු සඳහන් කරයි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා