2022 ජනවාරි 08 වන සෙනසුරාදා

පාසල් කොලු ගැටවුන්ගේ ටික් ටොක් මිනීමැරුම

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 249

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය, හේනමුල්ල ප්‍රදේශයේදී තරුණයකුට පිහියකින් ඇන ඝාතනය කොට ඇතැයි වාර්තා කෙරිණි. සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ පොලීසිය අනාවරණය කොටගෙන තිබුණේ ඝාතනය පරණ කෝන්තරයක් මත සිදුකර ඇති බවත් ඊට ටික් ටොක් වීඩියෝවක සබඳකමක් නැති බවත්ය.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ හේනමුල්ල පිහිටි රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේදී වූ බහින්බස් වීමකදී පිහි ඇනුමට ලක්ව ඝාතනය වී ඇත්තේ වැල්ලම්පිටිය පරණ පාර ප්‍රදේශයේ පදිංචි අබ්දුල් ලතීෆ් නැමැති 17 හැවිරිදි තරුණයෙකි. පැවසෙන ආකාරයට අබ්දුල් ලතීෆ් වැල්ලම්පිටිය නාගරික වතු නිවාසයක ජීවත් වූ පාසල් අධ්‍යාපනය අතරමග නතර කළ අයෙකි. බාල වයස්කරුවකු වූ අබ්දුල් ලතීෆ්ට ජීවිතයේ බරක් පතලක් දැනුණේ නැත. අසල්වැසි මිතුරන් සමඟ නිරතුරුවම කෙළිදොලෙන් පසුවූ ලතීෆ් අත නවීන පන්නයේ ජංගම දුරකථනයක් විය. අන්තර්ජාල වෙබ්අඩවි හා නවීන යෙදවුම් භාවිතයට හුරුව සිටි ලතීෆ් ටික් ටොක් සමාජ ජාලය පරිහරණයට නැඹුරුව සිටියේය. බොහෝ පිරිසක් වීඩියෝ දර්ශන පටිගත කොට ටික් ටොක් සමාජ ජාලයට මුදාහරින ආකාරයට විවිධ රංගනයන් ඇතුළත් වීඩියෝ පට ටික් ටොක් හරහා ප්‍රසිද්ධ කිරීමට අබ්දුල් ලතීෆ් පුරුදුව සිටියේය.

මේ හැර නිවෙස ආසන්නයේ මිතුරන් හා කල්ලි ගැසීම ඔහුගේ කැමැත්තය. ඇතැම් විටෙක නිවෙසේ කටයුතු සඳහා දායක වන ලතීෆ්ට වැඩිමහල් සහෝදරයෙකි. ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහන ආයතනයක සේවය කළේය. උදෑසන සේවයට යන ඔහුට විටෙක දිවා ආහාරය රුගෙන ගොස් දෙන්නේ ලතීෆ්ය.

පසුගිය 3 වැනිදා ලතීෆ්ගේ වැඩිමහල් සොයුරා රුකියාවට ගොස් තිබුණි. දිවා ආහාරය පිළියෙළ කිරීමෙන් පසුව මව කෑම පාර්සලයක් සකසා තිබෙන අතර ලතීෆ් එය රුගෙන හේනමුල්ල ප්‍රදේශයට යාමට සූදානම් විය. ඒ ගමන සඳහා අසල්වැසි මිතුරන් දෙපළක්ද ලතීෆ් හා එක්වූහ. සහෝදරයාට බත් පාර්සලය ලබාදීමෙන් අනතුරුව ලතීෆ් හා මිතුරන් දෙදෙනා හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියහ.

එදින වෙලාව පස්වරු 2.30ට පමණ ආසන්න වී තිබිණි. ලතීෆ් හා මිතුරන් දෙදෙනා රසබර කතාවක යෙදෙමින් ගමන් කරන අතරතුර ඔවුන් පසුපසින් පැමිණි තවත් තරුණ ළමයින් කිහිප දෙනෙකි.

අයියේ.. අයියේ.. අන්න අරුන් දෙන්නගෙන් මැද ඉන්න එකා තමයි අපිට එදා මෝදර බීච් එකේදි සද්දෙ දැම්මේ.. ඌ ටික් ටොක් කරන එකෙක්. අද උන්ගෙ කට්ටිය අඩුයි..

පසුපසින් ගිය තරුණ ගැටවුන් අතර සිටි බාල අයකු අත දිගුකර ඉදිරිපසින් යමින් සිටි තිදෙනාගෙන් අයකු පෙන්වා එසේ කියා තිබිණි. ඒ සමඟම එම කණ්ඩායමේ අයකු %ටික් ටොක්^ යැයි හඬ නගා උසුළු විසුළු කර ඇතැයි කියති. එහිදී තරුණ ලතීෆ් නැමැත්තා පසුපස හැරී ඔවුන්ට යමක් කියා ඇත. ඒ අතරතුර ඔහු කලිසමේ පැළැඳ සිටි බෙල්ට් එක ගලවා අතට ගත් බවද පැවසේ.

මෝදර වෙරළේ සිදුවීම මීට දෙමසකට පමණ ඉහත එකකි. තරුණ දෙපිරිස දිනක් වෙරළේදී හමුව ගැටුමක් ඇතිකරගෙන ඇතත් ක්‍රමයෙන් එය සමථයකට පත්ව තිබුණි. එහෙත් එදා වූ සිදුවීම මතකයේ තිබූ අයුරින් එක් අයකු ඊට මුලපිරෑ ලතීෆ් දැක ඔහු පෙන්වා තිබුණේ වයසින් වැඩි වෙනත් මිතුරකු වෙතය. එසැණින් ආවේගයට පත් එම මිතුරා පසුපසින් දුවගොස් ලතිෆ්ට වැරෙන් පහරක් එල්ල කළේය. ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ලතීෆ් සැරසෙන විටම අනෙක් කණ්ඩායමේ තවත් තරුණයෙක් කඩා පැන ගොස් ලතීෆ්ගේ උදරය පිහි පහරක් එල්ල කළේය. 

ලේ පෙරාගෙන ඇදවැටුණු ලතීෆ් දුටු පහරදුන් පිරිස සැණෙකින් පලා ගොස් තිබුණේ පළපුරුදු මැර කල්ලියක් ලෙසය. තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවූ ලතීෆ් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණේ ඔහුගේ මිතුරන් දෙදෙනා හා අසල්වැසියන් කිහිප දෙනකු විසිනි. පස්වරු 3ට පමණ වූ ප්‍රහාරය හමුවේ ලතීෆ් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළු කර තිබුණේ පස්වරු 4.20ට පමණය. ඒ මොහොත වන විටත් අබ්දුල් ලතීෆ් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය.
අනතුරුව ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම ආරම්භ කොට තිබුණේ ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ජී.බී. හේරත් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසිනි. ඒ අනුව සිදුකළ විමර්ශනයේදී ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පාසල් ශිෂ්‍යයන් තිදෙනකු සමඟ ලාබාල තරුණ දරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම පිරිස වයස අවුරුදු 12 – 16 අතර පසුවන්නන් බවටද හඳුනාගෙන ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වාර්තා කරයි. පහරදීම හා පිහි ඇනුම සඳහා අවුරුදු 16ක හා 14ක වයස්වල පසුවන දරුවන් දෙදෙනකු සම්බන්ධ වී ඇති බවද අනාවරණය විය. ඝාතනය සඳහා යොදාගත් පිහිය එක් දරුවකු විසින් ඉකුත් 31 වැනිදා පිටකොටුවෙන් මිලදී ගත් බවද එය සරුංගල් සැකසීම සඳහා ඉරටු සැකසීමට ලබාගත් බවද කියා ඇත. පහරදෙන අවස්ථාවේ එම පිහියෙන් ඝාතනයට ලක්වූ අයගේ යටිබඩ ප්‍රදේශයට ඇන්න බවටද ඔහු පාපොච්චාරණය කර තිබුණි.

මෙම සැකකාර ළමයින් පිරිස ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල හා පුත්තලම ප්‍රදේශවල සිටියදී අත්අඩංගුවට පත් වූ අතර ඔවුහු පසුගියදා කොළඹ අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ. එහිදී සැකකාර දරුවන් හයදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් මාකොළ පිහිටි ළමා නිවාසයක රඳවා තබන ලෙස ඇය නියෝග කළාය.

ඝාතන සිදුවීමට සම්බන්ධ පාසල් දරුවන් වයස අවුරුදු 12, 14, 15 වයසේ පසුවන අතර සෙසු දෙදෙනා පාසල් ගමන අවසන් කළ වයස 16 හා 17 වියේ පසුවෙති. ටික් ටොක් වීඩියෝවක් අරභයා සිදුකළ ඝාතනයක් යැයි කී සිදුවීම එවැන්නක් නොව ඔවුනොවුන් අතර වූ පරණ කෝන්තරයක් බව දැන් අනාවරණය වී තිබේ.

ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ වැඩබලන ස්ථානාධිපති නිශ්ශංක හා අපරාධ අංශ ස්ථානාධිපති පී.ජේ.බී. හේරත් මහත්වරුන්ගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය

  සමන්ත ප්‍රදීප් විල්තෙර