2022 ජනවාරි 08 වන සෙනසුරාදා

රජයේ නිලධාරීන්ගේ ඉල්ලා අස්වීම මෝස්තරයක් වෙලාද?

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 60

දේශපාලනය විද්‍යාවක් ලෙස හදාරන්නකුගේ තර්කයට අනුව විටෙක රාජ්‍යයේ ස්ථිර විධායක බලය ගොනු වී ඇත්තේ රාජ්‍ය සේවය සතුවයි. එම තර්කය සාධනය කිරීම හෝ බිඳීමට ඔබට නිදහස තිබේ. අප අද සංවාදයට ගනු ලබන්නේ වෙනත් කාලීන කරුණකි. එහෙත් ඉහත පූර්විකාව මෙම සාකච්ඡාව සඳහා ගලපා ගැනීමට අවසානයේ ඔබට අවස්ථාවක් උදාවනු ඇත. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පසුගිය දෑ අවුරුද්ද තුළ රාජ්‍ය ආයතනික වූ විධායක ශ්‍රේණියේ නිල දරුවන්ගේ ඉල්ලා අස්වීම් පිළිබඳවය.

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ නිලධාරීන් අතරින් සැලකිය යුතු පිරිසක් පසුගිය කාල වකවානුව තුළ ඉල්ලා අස්වූහ. ආයතනික දේශපාලනික සහ පෞද්ගලික හේතු එම ඉල්ලා අස්වීම් පිටුපස වූබව නොරහසකි. මෙහිදී අප සලකා බලනුයේ දේශපාලනික වශයෙන් පුවත් මැවූ ඉල්ලා අස්වීම් පිළිබඳවය. එසේ නම් ඉල්ලා අස්වූ පුද්ගලයන් පිළිබඳ විනිශ්චයක් ලබා දීමට අපි උත්සුක නොවෙමු. මෙය එක්තරා ආකාරයක පෙළගැස්මකි. 

රජයේ ප්‍රධානතම මුල්‍ය ආයතනය වන මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන්ම මෙම පෙළගැස්ම ආරම්භ කිරීම උචිතය. මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා 2021 සැප්තැම්බරයේ සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළේය. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, ඉදිරි මාසයට යෙදෙන සිය 80 වැනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කර තිබුණ ද පසුගිය දින 10 තුළ ඇතිවූ සිත් රිදවීම් නිසා තමා දැඩි මානසික ආතතියකට ලක්ව සිටි බවය. ඒ අනුව තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කළ නමුත් මතවාදී හා පෞද්ගලික ගැටුම් හේතුවෙන් එය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව හිටපු මහ බැංකු අධිපතිවරයා කීය.

මෙම සිදුවීමට දෙවනුව වඩාත් දේශපාලනික සහ අන්දෝලනාත්මක ඉල්ලා අස්වීම් පෙළ වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ ඉල්ලා අස්වීම් පෙළයි. ඉල්ලා අස්වීම් සහ ඉවත්කිරීම් ද සහිත පසුගිය දෙවසර දෙකහමාර තුළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් සිව් දෙනකු ඉවත් වී තිබේ.

2019 නොවැම්බර් - රවීන්ද්‍ර හේවාවිතාරණ (මාස 9)

2020 අගෝස්තු - මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා (මාස 7)

2021 මාර්තු - රෝහණ පුෂ්පකුමාර (මාස 3)

2021 ජූනි - මහාචාර්ය උදිත් කේ. ජයසිංහ (මාස 6)

2021 දෙසැම්බර් - ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක (වර්තමාන)

කාබනික පොහොර තීන්දුව ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව තීරණය කිරීමත් සමඟ මෙම ලේකම් මාරුව සිදුවිය. කෙසේ වෙතත් මෑතකාලීනව වඩාත් ආන්දෝලනාත්මක වූයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉවත් කෙරුණු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සම්බන්ධ සිදුවීමයි. එම ඉවත් කිරීමට තුඩු දුන්නේ ඉදිරියේ දී ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතිවීම පිළිබඳ ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයයි.

මෙම සිදුවීම් ද්විත්වයට අමතරව පසුගිය සමයේ සිදුවූ ඉල්ලා අස්වීම් සම්බන්ධයෙන් සැලකීමේ දී  ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති උවයිස් මොහොමඩ් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම විශේෂිතය. එම ඉල්ලා අස්වීම සිදුවූයේ 2021 දෙසැම්බර් මාසයේදීය. බලශක්තිය අමාත්‍යවරයාගේ ඉල්ලීම මත එම ඉල්ලා අස්වීම සිදුවූ බව කියැවිණි. රට තුළ වූ ඛනිජ තෙල් අර්බුදයට සමකාලීනව මෙම ඉල්ලා අස්වීම වාර්තා විය.

2021 සැප්තැම්බර් මාසයේ දී සිදුවූ තවත් ඉල්ලා අස්වීමක් වූයේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීමයි. ඇය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සොහොයුරා වන ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණියයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළේය. ඒ අනුව ඇය මෙම තනතුරට පත් වූ අතර ඉල්ලා අස්වීම පෞද්ගලික හේතුවක් මත සිදුවූ බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීම පිටුපස වෙනත් හේතුවක් ඇති බවට ද මාධ්‍ය වාර්තා පළ විය. රජය විසින් රඳවාගෙන සිටි අලි ඇතුන් කිහිප දෙනකු ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමක් ලෙස මෙම ඉල්ලා අස්වීම සිදුවූ බව ඒ අනුව කියැවිණි.

මේ අතර ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන නියෝජිත ආයතනයේ සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලය, ආයෝජන මණ්ඩලය (BOI) සහ එහි සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය සුවිශේෂී කොට දැක්විය හැකිය. ආයෝජන මණ්ඩල සභාපති සංජය මොහොට්ටාල මහතා කිහිපවිටක් සිය ධූරයෙන් ඉවත් වීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ජනාධිපතිවරයා ඔහුව එම තනතුරේ දිගින් දිගටම රඳවා ගත් බවත් ආරම්භයේ දී තොරතුරු වාර්තා විය. එහෙත් ඉකුත් දෙසැම්බර්යේ අදාළ සාමූහික ඉල්ලා අස්වීම සිදුවිය. ඊට කෝප් කමිටුවේ දී ආයතනික බදවා ගැනීම් පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයට එල්ල වූ චෝදනාවක් ද හේතු වූ බව තොරතුරු වාර්තා අතර සඳහන් විය.

2021 වසරේ අප්‍රේල් මාසයේ සිදුවූ තවත් ඉල්ලා අස්වීමක් පිළිබඳ අප අවධානය යොමු කළ යුතු වේ. රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සේවය කළ නොහැකි බව පවසමින් මෙලෙස ඉල්ලා අස්වූයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතායි. විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් බාරදෙමින් ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය. විවිධ අපහසුතා සහ දුෂ්කරතා මධ්‍යයේ වුවද තමන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන් සාර්ථකව වැඩ කටයුතු කළ බවත් එහෙත් රාජ්‍ය අමාත්‍යවරයාගේ විවිධ බලපෑම් හමුවේ ඇතැම් කටයුතු සාර්ථක කරගත නොහැකි වූ බවත් ඔහු සිය ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයා හට පවසා තිබුණි.

මේ අතර ඉල්ලා අස්වීම්, තනතුරුවලින් ඉවත් කිරීම් රුසක් පසුගිය කාලය පුරා සිදුවිය. ඕෂධ සේනානායක විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වීම, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට ඉල්ලා අස්වීම, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ප‍්‍රසන්න ගුණසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසකගේ ඉල්ලා අස්වීම, වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ඉල්ලා අස්වීම මේ අතරින් කිහිපයක් පමණි.

සමස්තයක් ලෙස මෙම ඉල්ලා අස්වීම්වල  බොහෝ හේතුන් දේශපාලනික සහ ආයතනික අර්බුද වේ. කෙසේ වෙතත් මෙය හරහා පෙන්නුම් කරන්නේ රාජ්‍ය ආයතනික ව්‍යුහයේ බිඳවැටීමකි. දේශපාලන විද්‍යාවේ අර්ථයෙන් රාජ්‍ය ආයතනික ව්‍යුහය බිඳවැටීම සරලව ගත හැකි කරුණක් නොවේ. එහෙත් රාජ්‍ය ආයතන ව්‍යුහය තුළ ඉල්ලා අස්වීම් යනු සාමාන්‍ය දෙයක් බව යමකුට තර්ක කළ හැකිය. කෙසේ නමුත් මෑත කාලීනව සිදුවන මෙම ඉවත් කිරීම් සහ ඉල්ලා අස්වීම් සරලව බැහැර කළ හැකිද යන්න පුරවැසියන් ලෙස අප අපෙන්ම ප්‍රශ්න කළ යුතුය.  

 චමිඳු නිසල් ද සිල්වා 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00