2022 ජනවාරි 08 වන සෙනසුරාදා

වැලිගම-මිරිස්ස සංචාරකයන්ගෙන් පිරිලා

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 293

දකුණු වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. වැලිගම, මිරිස්ස, උණවටුණ, හික්කඩුව යන සංචාරක  කලාප මේ වනවිට  දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරිගොස් ඇත්තේය. කොටින්ම කිවහොත් මෙරට සංචාරක ක්ෂේත්‍රයට නව අරුණළු උදාවෙමින් ඇත්තේය. මෙරට වෙරළ තීරයට ස්වාභාවික පරිසරයට වහවැටී එහි සුන්දරත්වය විඳදරා ගැනීමට  විදෙස් සංචාරකයන් මෙරටට පැමිණෙති. වැලිගම, මිරිස්ස යන සංචාරක කලාප සංචාරක සමය ආරම්භ වීමත් සමඟ විදේශීය සංචාරකයන්ගෙන් පිරිගොස්  තිබුණි. මිරිස්ස වෙරළ තීරයේ  විදේශීය සංචාරකයන් ඒ මේ අත ඇවිදමින් රිසිසේ විනෝද වන අයුරු අප කළ සංචාරයේදී දැකගත හැකිවිය.

මිරිස්ස, වැලිගම යන සංචාරක කලාපවල හෝටල් හිමියන්ගේ හා සංචාරක කර්මාන්තයේ නිරත අයගේ අතමිට සරුවෙමින් තිබේ. විදේශීය සංචාරකයන් පැමිණීමත් සමඟ තැඹිලි ගෙඩිය විකුණන වෙළෙන්දාගේ සිට මහා පරිමාණ හෝටල් හිමියා දක්වා උදාවී ඇත්තේ හොඳ කලදසාවකි. කොවිඩ් වසංගතයත් සමඟ මෙරට සංචාරක කර්මාන්තයට උදාවූයේ නරක කලදසාවකි. සංචාරක කර්මාන්තයේ නිරත විශාල පිරිසකට රැකියා අහිමි විය. කොටින්ම කිවහොත් ඔවුන්ට යන එන මං නැති විය. සංචාරක කලාප වෙරළ තීරයන් පාළුවට ගොස් තිබුණි. එහෙත් මේ වනවිට රට විවෘත කොට දෙස් විදෙස් සංචාරකයන් පැමිණීමත් සමඟ එකී සංචාරක කලාප කාර්යබහුල තත්ත්වයට පත්වෙමින් ඇත්තේය.

සැබැවින්ම මිරිස්ස වෙරළ තීරය ඉතා ආකර්ෂණීය වෙරළ තිරයකි. විදේශිය සංචාරකයන් ආකර්ෂණීය කරගැනීම සඳහා රාත්‍රී කාලයට මෙකී වෙරළ තීරයේ නොයෙකුත් සාද පැවැත්වේ. එම සාද සඳහා දෙස් විදෙස් සංචාරකයන්ද එක්වෙති. රාත්‍රියේ ආරම්භ කරන ඇතැම් සාද අලුයම තෙක් පැවැත්වෙන අතර ඒ තුළ හරි අපූරු දේවල්ද සිදුවෙයි. ඒ විතරක් නොව විදේශිය සංචාරකයන් වෙනුවෙන් මිරිස්ස මුහුදු තීරයේ බෝට්ටු තුළද විවිධ සාද පැවැත්වේ. ඇතැම් විදේශීය සංචාරකයන් තම උපන්දින සාද පවත්වනු ලබන්නේ මුහුදු තිරයේ නවතා ඇති මෙකී බෝට්ටු තුළදීය. කොවිඩ් වසංගතය නිසා මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදේශීය සංචාරකයන් නිදහසේ තමන්ට රිසි සේ විනෝදවීමට අවස්ථාව උදා කරගෙන ඇති බව පෙනී යයි.

මිරිස්ස සංචාරක කලාපයේ අසිරිය විඳ දරාගැනීම සඳහා වැඩිවශයෙන් පැමිණ ඇත්තේ රුසියානු හා ඉන්දිය ජාතික විදේශිකයන්ය. ඒ අතර යුරෝපීය රටවල සිටද විදේශීය සංචාරකයන් සැලකිය යුතු පිරිසක් පැමිණ සිටිති. 

ජර්මනියේ සිට මෙරටට පළමුවරට පැමිණි එම්. ජුලියා මිරිස්ස වෙරළ තීරයේදී අපට හමුවිය. ඇය අපිත් සමඟ කථාබහට වැටුණාය.

“ලංකාවට පළමු වතාවට තමයි පැමිණියේ. ලංකාවේ සති හතරක පමණ කාලයක් ගතකරනවා. ශ්‍රී ලංකාව ඉතා ලස්සන රටක්. මෙරට මිනිස්සු හරිම ප්‍රියමනාපයි. සුහදශීලියි. ආගන්තුක සත්කාරක අතින් ඉතා විශිෂ්ටයි. මෙරටට පැමිණ කොළඹින් තමයි අපි සංචාරය ආරම්භ කළේ. හික්කඩුව සහ ගාල්ලට ආවා. මිරිස්සේ දින කිහිපයක් ගත කරනවා. උඩවලව, ඇල්ල වැල්ලවාය හරහා හපුතලේට ගොස් සීගිරියෙත් සංචාරය කරන්න තමයි බලාපොරොත්තු වන්නේ. කොවිඩ් එන්නත ලබාගත්තා. පී.සී.ආර්. වාර්තා බලලා තමයි අපිට ලංකාවට එන්න අවසර දුන්නේ. ඇත්තටම කොවිඩ් වංසගත කාලය අපිට ඉතා දුක්බර කාලයක් වුණා. රට වසා තිබූ කාලයේදී නිවෙස්වලට වී ගත කිරීමට සිදුවුණා. නිවෙස්වලින් පිටතට පවා බැසීමට නොහැකි වුණා. සතියකට පමණ අවශ්‍ය කෑමබීම තබාගෙන සිටියා. මේ කාලය තුළදී නිවෙස්වල ගත කිරීමට අපිට ඉතා අපහසු වුණා. වෙළඳසල් නම් වැසුවේ නැහැ. විදේශිකයන් ආවේ නැහැ. ඇත්තටම කොවිඩ් කාලයේදී ලංකාවේ ඉන්න තිබුණා නම් ගොඩක් හොඳයි. අපිට පුදුම නිදහසක් දැනෙන්නේ. නැවත වතාවක් ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා.”

ජුලියා සමඟ ජර්මනියේ සිට මෙරටට පැමිණි එස්. අන්යා නැමති විදේශිය කාන්තාවද ලංකාව ගැන කථා කළේ ඉතා ආඩම්බරයෙනි. 

“ලංකාව ඉතා ලස්සන රටක්. මම ලංකාවට පැමිණියේ දෙවැනි වතාවට. ජර්මනියේ වියදම වැඩියි. ජර්මනිය එක්ක බලනවිට ලංකාවේ  වියදම ගොඩක් අඩුයි. කොළඹදී එක් කෑම වේලක් සඳහා අපි දෙදෙනාට වැය වුණේ ඩොලර් 25ක මුදලක්. නමුත් ජර්මනියේ ඒ සඳහා ඩොලර් 100ක පමණ මුදලක් වැයවෙනවා. හෝටල් ගාස්තු ගොඩක් අඩුයි. ඒ විතරක් නෙවෙයි ලංකාව ආරක්ෂිත රටක්. කොවිඩ් වසංගතය ඉතා හොඳින් පාලනය කරලා තියෙනවා. ඒ නිසා කිසිදු බයක් නැතිව මෙරට සංචාරය කිරීමට එන්න පුළුවන්. අපේ මිතුරන්ට මිතුරියන්ටද කියනවා කිසිදු බයක් නැතිව ලංකාවේ සංචාරය කරන්න කියා ආනියා කීවාය.”

මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියකුවන චරිත් සිරිවර්ධන මහතා අපිට කීවේ මෙවැනි කථාවකි.

“2013 වර්ෂයේ ඉඳලා තමයි මා සංචාරක කර්මාන්තයේ නිරත වෙලා ඉන්නේ. සංචාරක කර්මාන්තයට හොඳ කලදසාවක් උදාවෙමින් තියෙනවා. නත්තල්වලින් පස්සේ විදේශීය සංචාරකයන් පැමිණෙමින් සිටිනවා. අපිට ආරංචි හැටියට පී.සී.ආර් පරීක්ෂණයෙන් පසු තමයි විදේශිය සංචාරකයන් මෙරටට පැමිණිම සදහා ගුවන් ටිකට්පත ගන්නේ. මේ යන විදියට ඉදිරියේදී සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයක් ඇතිවේවි. මිරිස්සට සංචාරක සෘතුවක් නැහැ. වර්ෂය මුළුල්ලේම දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙනවා. ඉන්දියන් හා රුසියානු ජාතිකයන් ගොඩක් ඇවිත් ඉන්නවා. චීන ජාතිකයන් ඇත්තේම නැති වගේ. මගේ හෝටලයේ කාමර 06ක් තියෙනවා. ආදායම ඒතරම්ම හොඳයි කියන්න බැහැ.  කාමර 06න්  දිනකට ඩොලර් 750ක් හමුවෙනවා. එක් කාමරයක් ඩොලර් 150ක මුදලකට තමයි දෙන්නේ. වෙනදාට වඩා හෝටල් ගාස්තු සියයට 50කින් පමණ අඩුකරලා තියෙනවා. මිරිස්ස ඉතා ආකර්ෂණීය වෙරළ තීරයක්. වෙරළ තීරයේ තමයි ඩිනර් එක සූදානම් කරන්නේ. දේශීය සංචාරකයන්ද ගොඩක්  එනවා. ජල සැපයුම නිසි අයුරින් ලැබෙන්නේ නැහැ. විදුලියද හිටපු ගමන් විසන්ධි වෙනවා. රාත්‍රියට ඩී.ජේ. ගහනවා. ඒ සඳහා ඇතැම් විදේශිකයන් කැමැති නැහැ. ඔවුන් මෙරටට එන්නේ නිදහසේ ගත කරන්න. කන් පැලෙන ශබ්දයට ඔවුන් කැමැති නැහැ. පොලිස් නිලධාරීන්ද ඇවිත් කියනවා ඩී.ජේ ගහන්න එපා කියලා.”

රවිඳු සසාන් ජයවික්‍රම (25) මිරිස්ස සංචාරක කර්මාන්තයේ නිරත තරුණයෙකි.

“දෙස් විදෙස් සංචාරකයන් සඳහා ටුවර් සංවිධනය කිරීම තමයි කරන්නේ. තල්මසුන් බැලීමේ ගමන් සංවිධානය කරනවා. සපාරි ටුවර් සංවිධානය කරණවා. දැනට වසර 10ක සිට සංචාරක කර්මාන්තයේ නිරතව සිටිනවා. විදේශිය සංචාරකයන් දැන් සියයට 25ක් පමණ එනවා. සියයට සියයක් නැහැ. රුසියානු සංචාරකයන් තමයි වැඩිපුර  එන්නේ. සති දෙක තුනක් ගතකරන විදේශිකයන් තමයි වැඩිපුර ඇවිත් ඉන්නේ. දිනකට  තල්මසුන් බැලීම සඳහා ගමන්වාර දෙක තුනක් සංවිධානය කරනවා. තල්මසුන් බැලීමට යන විදේශිය සංචාරකයකුගෙන් රුපියල් 9000ක් අය කරනවා. අපිට එක ටිකට් පතක් අලෙවි කළහොත් රුපියල් 2500ක කොමිස් මුදලක් තියෙනවා. කොරෝනා කාලයේ නම්  අපේ සියලු ආදායම් නැතිවුණා. ඒ කාලයේ කොන්ත්‍රාත් වැඩපලක වැඩකළා.  ඉදිරියේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයට හොඳ කලදසාවක් උදාවන බවට පෙර නිමිති පහළවෙමින් තියෙනවා. ඇතැම් විදේශීය සංචාරකයන් නම් කියන්නේ සැම දෙයකම වගේ මිල ගණන් වැඩිවෙලා කියලා. හොඳට වියදම් කරන විදේශිකයන්ද ඉන්නවා. ඇතමුන් රෙස්ටුරන්ට වලට පවා එන්නේ නැහැ. පොඩි කඩයකින් තමයි රයිස් එකක් දමාගෙන සප්පායම් වෙන්නේ” යැයි රවිඳු කීවේය.

මිරිස්ස ප්‍රදේශයේ හෝටල් හිමියකු වන එස්. ජිනේෂ් මහතා මෙසේ කීවේය.

දැනට වසර 20ක පමණ කාලයක සිට සංචාරක කර්මාන්තයේ නිරතව සිටිනවා. විදේශිකයින් සංචාරකයන් පැමිණියත් ඔවුන් වියදම් කරන්නේ ඉතා අඩුවෙන්. එතරම්ම වාසි නැහැ. කොවිඩ් වසංගතයෙන් පසුව වුවත් සංචාරක කර්මාන්තයේ ලොකු වර්ධනයක් පෙන්නේ නැහැ. ආදායම් බදු ගෙවන්න කියලා ලියුම් එවනවා. අපිට කිසි සහනයක් නැහැ. රාත්‍රියට ඩී.ජේ ගහනවා. මල්වෙඩි ගහනවා. ඇතැම්  විදේශිය කතුන්ද නොයෙකුත් හිරිහැරවලට ලක්වෙනවා. කැළිකසල ඉවත් කිරීමේ කටයුතු නියමිත අයුරින් සිදුවන්නේ නැහැ.” ජිනේෂ් කීවේය.

මිරිස්ස සංචාරක කලාපයේ හොටල් හා අවන්හල සංඛ්‍යාව 500කට අධිකය. සමහරු ගෘහ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය කරගෙන යති. රාත්‍රියේ පැවැත්වෙන ඇතැම් සාදවලදී විදේශිය කතුන් නොයෙකුත් හිරිහැරවලට ලක්වන අවස්ථා තිබේ. ඒ අග නගරයේ සිට මෙරටට පැමිණෙන සෙල්ලක්කාර තරුණයින්ගෙනි. අග නගරයේ සිටි ඇතැම් ව්‍යාපාරිකයන්ගේ සෙල්ලක්කාර දරුවන්  විනෝදවීම සඳහා මිරිස්සට පැමිණෙති. ඔවුහු සාදවලදී විදේශීය කතුන්ට හිරිහැර වන හැසිරෙති. එවැනි අවස්ථාවලදී විදේශිය කතුන්ද නිකම් සිටින්නේ නැත. විදේශීය කතුන්ගෙන් කම්මුල් පහරට ලක්වූ සෙල්ලක්කාර තරුණයන්ද ඒ අතර නැතිවා නොවේ.

එමෙන්ම  විදේශිය සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා නොයෙකුත්  ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇතැම් හෝටල් හිමියන් කටයුතු කරති. ගාල්ල උණවටුණේ රිදීවිලා හෝටලයේ අධිපති සුමිත් උබේසිරි මහතාද විදේශිය සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා නිර්මාණශීලීව විවිධ දේ සිදුකරන හෝටල් හිමියෙකි. 1948 සිට 2016 දක්වා නිෂ්පාදිත Land Rover රථ සියල්ලම එකම වහලක් යට දකුණු පළාතෙහි දැකිය හැකි එකම ස්ථානය වන්නේ ගාල්ල, උණවටුන, රිදීවිලා හෝටලයේදී පමණි. ඉතා පෞරාණික වටිනාකමකින් යුත් මෙම වාහන සියල්ලම එකලස් කර ඇත්තේ අපමණ බාධක මැද්දේ බව සුමිත් උබේසිරි මහතා අප සමග කථාබහට එක්වෙමින් කීවේය.

“විදේශීය සංචාරකයන්ගෙන් මගේ හෝටලය පිරීගොස් තියෙනවා. සියලු කාමර වෙන් කරලා තියෙනවා. මේ සංචාරක සමය ඉතා හොඳයි. අපේ හෝටලය සඳහා පැමිණෙන විදේශික සංචාරකයන් වෙනුවෙන් තමයි මෙම ලැන්ඩ් රෝවර් ජීප් රථ වෙන්කරලා තියෙන්නේ.”

 යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද