2022 ජනවාරි 01 වන සෙනසුරාදා

වරායේ හිර වූ කන්ටේනර්

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 76

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සහිත කන්ටේනර් 1500ක් පමණ මේ වනවිට වරායේ සිරවී පවතින බවට ආරංචි පැතිරෙමින් තිබිණි. රටේ පවතින ඩොලර් හිඟය මෙම කන්ටේනර් මුදාගැනීමට බාධාවක් වී ඇත. ඒවායේ ආනයනකරුවන් පවසන්නේ මේවාට ගෙවීම සඳහා වාණිජ බැංකුවලින් ඩොලර් ලබාගැනීම දුෂ්කරව ඇති බවය. ණයවර ලිපි මගින් ගෙන්වා ඇති මෙම කන්ටේනර් සඳහා වරායේදී ඩොලර් මගින් ගෙවීම් කර නිදහස් කරගත යුතුය. එහෙත් මේ වනවිට රාජ්‍ය බැංකුවල ඩොලර් නොමැත. ශ්‍රී ලංකා මහ බැංකුව මෙරටට ගෙනෙන ඩොලර්වලට රුපියල් 10ක් වැඩිපුර ගෙවන බව ප්‍රකාශයට පත් කළේ තමන්ට ඩොලර් ලබාගැනීමේ උපක්‍රමයක් වශයෙනි. එසේ වුවද පෞද්ගලික ගැනුම්කරුවන් ඩොලරයට රුපියල් 250ක් පමණ මේ වනවිට ගෙවන නිසා මහ බැංකුවට ඩොලර් විකිණීමට සූදානම් කෙනකු සොයාගත නොහැකිව පවතී.

ළඟ එන උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඉල්ලුම විශාල වශයෙන් ඉහළ නැගීම සාමාන්‍ය සිරිතකි. එහිදී ආනයන භාණ්ඩ රට තුළට නොලැබෙන විට මිල ඉහළ නැගීම උපරිමයෙන් සිදුවේ. වෙනදා මෙන් නොව මෙවර නත්තල් සහ ජනේරු උත්සවවලදී ඉහළ මිලක් ගෙවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට පාරිභෝගිකයාට සිදුවන නිසා මෙම උත්සවවල උත්කර්ෂවත්භාවය හීන වී යනවා ඇත.

මෙලෙස වරායේ රඳවා ඇති කන්ටේනර් නියමිත දිනයට නිදහස් කර නොගතහොත් ඒ සඳහා ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සැපයුම්කරුවන්ට සිදුවෙනවා ඇත. එසේ වුවහොත් මෙරට බෙදාහරින භාණ්ඩවල මිල තවත් ඉහළ යාම නොවැළැක්විය හැකිය. එසේම ගොඩබෑමට දිගු කල් ප්‍රමාද වුවහොත් ඇතැම් භාණ්ඩ නරක් වී යාමට ඇති ඉඩකඩද වැඩි වනවා ඇත. එවිට සැපයුම්කරුවන්ට පාඩුවක් සිදුවනවා සේම එම ආහාර හිඟවීම හා මිල ඉහළ යාම නිසා පාරි‍භෝගික ජනතාවටද දැඩි දුෂ්කරතාවයක් උද්ගත වෙයි.

වරායේ සිර වී ඇති මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු බහාලුම් නිදහස් කර ගැනීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කළ ඉල්ලීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව වාර්තා විය. මේවා නිදහස් කර ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් කෝටි 2 ½ක් ඒවා ගෙන්වා ඇති ආනයනකරුවන්ට බැංකු හරහා මුදාහරින ලෙස වෙළෙඳ අමාත්‍යංශය පසුගිය මාසය මැදදී පමණ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා තිබුණි.

මෙම මුදල ලබාදීමට මහ බැංකුව මුලදී කැමැත්ත ප්‍රකාශ කර තිබූ නමුත් ණය වාරික ගෙවීමට ප්‍රමුඛත්වය ලබාදීමට සිදුව ඇති බව පවසා මහ බැංකු අධිපතිවරයා මේ අවස්ථාවේ එය ඉටු කළ නොහැකි බව දන්වා තිබේ.

දැනට එම කන්ටේනර්වල ඇති ආහාර ද්‍රව්‍ය නරක් වීමේ අර්බුදයකට ලක්ව ඇති අතර සීනි කන්ටේනර්වල සීනි දිය වී වැගිරෙන ස්වභාවයක්ද උද්ගතව ඇති බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්‍යවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන පරිදි මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ අතර, සුදු සහල්, සුදු සීනි, මිරිස්, මයිසූර් පරිප්පු, වටානා කරවල, සුදු ලූනු, බී ලූනු, අර්තාපල්, ග්‍රීන්පීස්, කඩවල, කොත්තමල්ලි, සව්හාල්, මහදුරු, සූදුරු, කඩල, බටර් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙයි. මේවා වැඩි කාලයක් තබාගත නොහැකි වන අතර ඉක්මනින් නරක් වීමට ඉඩ ඇත. බැංකුවලින් ස්වල්ප වශයෙන් ඩොලර් ලැබෙන නමුත් එහි විධිමත්භාවයක් නොමැති අතර බලපුළුවන්කාරයන් ඩොලර් ලබාගැනීමට සුදුසුකම් ලබාගෙන තිබෙන බැවින් සැපයුම්කරුවන් වැඩි කොටසකට අසාධාරණයක් සිදුවන බව ඔවුහු කියති.

කිරිපිටි ආනයනය කරන ඇතැම් සමාගමකට තම මව් සමාගම්වලින් ණයට ලබාගත හැකි නමුත් සෑම කෙනකුටම ඒ අවස්ථාව නොලැබේ. ඒ නිසා ඔවුන් අමාරුවේ වැටී සිටින බවට මැසිවිලි නැගේ. මේ වනවිට රට තුළ උග්‍ර කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇති අතර පාරිභෝගිකයන්ට වරු ගණන් පෝලිම්වල සිටීමට සිදුව ඇත. දේශීය කිරිපිටි නිෂ්පාදනයට රටට අවශ්‍ය කිරිපිටිවලින් සියයට 20කට වඩා සැපයීමට නොහැකි බව පැවසේ. දියර කිරි පාරිභෝජනයටද ජනතාව වැඩි මනාපයක් නොදක්වන නිසා තත්ත්වය බැරූරුම් වී ඇත. එසේම පසුගියදා මිල්කෝ සමාගම ප්‍රමිතියෙන් තොරව තැනූ පැකට් එක්ලක්ෂ විසි දහසක් වළලා දමා තිබේ.

සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර පවසන්නේ දැනට වරායේ හිරවී ඇති කන්ටේනර් 1500ක් තුළ සීනි කන්ටේනර් පමණක් 600කට අධික ප්‍රමාණයක් ඇති බවය. ළඟ එන උත්සව සමයට සීනි පාරිභෝජනය ඉහළ යන නිසා මේ හේතුවෙන් රටේ සීනි හිඟයක් ඇතිවිය හැකි බව ඔහු කියයි. &දැනටමත් ඒ පිළිබඳ පෙරනිමිති පහළ වෙලා. මිල ගණන්ද ඉහළ ගිහිල්ලා. ලංකාවේ නිෂ්පාදනය කරන සීනි සතොස මගින් කිලෝව 120 – 125ට අලෙවි කළද එය රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා සීනි මිල දැනටමත් ඉහළ ගොස් ඇති අතර ඉදිරියේදී තවත් ඉහළ යාවි. කෙසේ හෝ මෙම කන්ටේනර් මුදාහැරීමට රජය කටයුතු කළ යුතු වෙනවා.

සීනි හිඟවීම නිසා අපද්‍රව්‍ය සහිත නරක් වූ සීනි වෙළෙඳපොළට ඒමට පටන් අරන්. පසුගියදා දඹුල්ල නගරයෙන් ඒවා හමුවීම එක් අවස්ථාවක්. සීනි හට්ටි ගසා සෑහෙන කාලයක් තබාගත් විට යට බෑග්වලට බර ඇවිත් ඒවා නරක් වෙනවා. මෙම ඇල්ලූ සීනි තොග 2019 ඔක්තෝබර් 13 දින සීනි ආනයන බද්ද රුපියල් 50 සිට ශත 25ට බැස්සූ කාලයේ ආනයනය කරලා නොවිකුණා තබාගෙන තිබුණු තොගයි. මෙලෙස වැටලීම කළ එක් අවස්ථාවක් මෙය. තවත් හොර පාරට ගෙන්වූ නරක් වූ සීනි රසකැවිලි හා බීම වර්ග තැනීමට පාවිච්චි කරනවා. මෙම තත්ත්වය රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක්. නරක් වූ සීනි මතට හොඳ සීනි දමලා බෑග් මාරු කරලයි විකුණන්නේ. එය කළේ සීනි ආනයනකරුවන් නොවෙයි. අතරමැදි තැරුව්කරුවන් පිරිසක් එකතුවෙලයි. එයට අපේ ආනයනකරුවන් සම්බන්ධ නැහැ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉලේම නාදන් පවසන්නේ මෙම කන්ටේනර් ප්‍රශ්නය මාසයක් තිස්සේ ඇදීගෙන එන එකක් බවය. සංගමය මේ පිළිබඳ වගකිව යුතු අංශවලට දැනුම් දුන් නමුත් තවමත් විසඳුමක් ලැබී නැති බව ඔහු කියයි. ළඟ එන උත්සව සමයට පෙර හෝ මේවා නිදහස් කර ගැනීමට උත්සාහ කළද එය දුෂ්කර වී ඇති බව ඔහු කියයි. වරායේ තබාගෙන ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති අතර එය තම වරදක් නිසා නොව රජයේ පාර්ශ්වයෙන් ඩොලර් නිදහස් කර ගැනීමට නොහැකි වීම නිසා බව ඔහු කියයි. මේ තත්ත්වය දිගටම පැවතුණහොත් කන්ටේනර් තුළ ඇති ඇතැම් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නරක්වීමේ අවදානමකට යොමුවිය හැකි අතර එයින් ආනයනකරුවන්ට පාඩු සිදුවීමෙන් ඔවුන් කලකිරීමට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටී. මේ තත්ත්වය දිගටම පැවතීම ආනයනකරුවන් අධෛර්යට පත් කිරීමක් නිසා විසඳුමක් කඩිනමින් ලබාදීම අවශ්‍ය බව ඔහුගේ අදහසය.

පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික සංවිධානයේ සභාපති රංජිත් විතානගේ

මෙලෙස අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් වරායේ ගොඩගැසීම දැන් නිතර නිතර සිදුවෙනවා. එහෙම ගොඩගැසුණු පසු රජය අමාරුවෙන් ඩොලර් සොයලා දීලා නිදහස් කර ගත්තත් එය දිගටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒ නිසා මෙම තත්ත්වයට වහාම ප්‍රතිකර්ම අවශ්‍යයයි. මෙයට තාවකාලික පිළියම් නොව ස්ථිර විසඳුමක් දිය යුතුයි. දැනට රටේ ඇති භාණ්ඩ මිල ඉහළ යාම හා හිඟවීම මෙයින් තවත් උග්‍ර වෙනවා. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ නැංවුවත් ඒවා දිගටම සැපයීමට බාධාවක් වෙලා තියෙන්නේ වරායෙන් පිටතට ගැනීමට දුෂ්කර වීමයි. ආනයනකරුවන් ඩොලර් සපයා ගැනීමට එහෙ මෙහෙ දුවන බවක් පෙනෙනවා. බැංකුවලට ලැබෙන සීමිත ඩොලර් ප්‍රමාණය වුවත් පාවිච්චි කිරීමේ නිසි ක්‍රමවේදයක් නැහැ. මේ නිසා වංචා දූෂණ ඇතිවීමටද ඉඩ සැලසෙනවා. උත්සව සමයේ පාරිභෝගික භාණ්ඩවල ඉල්ලුම කවදත් වැඩි වෙනවා. එයට මුහුණදීමට රජය කල් ඇතිව සූදානම් විය යුතුයි. මොකද හදිසියේ උත්සව දින නියම වෙනවා නොවෙයිනේ. ඒ නිසා ජනතාවට සහන සැලසීම බලධාරීන්ගේ වගකීමක්. මේ වනවිට පාරිභෝගිකයා හැම අතින්ම විපතට පත්වෙලයි තියෙන්නේ. ගෑස් පරිහරණය කිරීම පවා ජීවන සටනක් බවටයි හේතුවෙලා ඇත්තේ.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසන්නේ දැනට වරායේ ගොඩගැසී ඇති කන්ටේනර් නිදහස් කිරීමට ආණ්ඩුවට සැලසුමක් නැති බවය. වාණිජ බැංකුවලට විටින් විට ලැබෙන ඩොලර් සුළු ප්‍රමාණය වුවද කිසිදු සැලසුමක් නොමැති වෙනත් ඕනෑ එපාකම් මත මුදාහරින නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වර්ගවල හිඟය තවදුරටත් දිගටම තිබිය හැකි බවද ඔහු කීවේය.

මෙම උත්සව සමයේදී අමෙරිකානු ඩොලර් මිලියන 800ක් පමණ අවශ්‍ය වෙනවා සුවිශේෂ ආහාර ද්‍රව්‍ය සහ වයින් වැනි ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට. එහෙත් මේ වසරේ එවැනි වියදමක් දැරිය නොහැකියි. ගෙනත් ඇති කන්ටේනර් පවා නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් මත නත්තලට කියා අමුතු දේවල් ගෙන්වීමට කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා වෙන නත්තල් උත්සවවලදී වගේ මෙවර අවශ්‍ය දේවල් ලැබෙන්නේ නැහැ.

මේ වනවිට ඩොලරයේ කළුකඩ මිල රුපියල් 250 දක්වා ඉහළ නැඟ ඇති අතර, ලැබෙන විදේශ විනිමය වුවද රජයට දෙන අය අඩුවෙලා තියෙනවා. ඒ නිසා ඒවා වැඩි මිලට කළු කඩයට යනවා. ආණ්ඩුව ගෙවන රුපියල් 10 ප්‍රමාණවත් වන්නේ නැහැ. ආනයනකරුවන් වුවද තමන් ගෙවන භාණ්ඩ මුදාහැර ගැනීමට අපහසු වීම නිසා යළිත් ඇණවුම් කිරීමෙන් වැළකී සිටීමට පෙළඹෙනවා. ඒ තත්ත්වය මත අනාගතයේදී මේ ආහාර ද්‍රව්‍ය හිඟය හා මිල ඉහළ යාම තවත් උච්ඡතම අවස්ථාවට එළඹෙනවා ඇති. මහ බැංකුවට මෙම තත්ත්වය මර්දනය කිරීමට කිසිදු සැලසුමක් නැහැ.

උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ ඩොලර් හිඟයක් නිසා භාණ්ඩ වරායේ හිරවී නොමැති බවයි. ඩොලර් නැතිකමක් නැහැ. එයට වෙනත් හේතු තියෙන්න පුළුවන්.

බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකි බව පැවසූ හැම අවස්ථාවකදීම අපි මැදිහත්වෙලා ඒවා නිදහස් කරලා දීලා තියෙනවා. විවිධ අමාත්‍යංශවලින් අපට ඉල්ලීම් කළ විට අපි ඒවාට මැදිහත් වුණා. බහාලුම් දහස් ගණනක් එනවා. ඒවායින් කිහිපයක් තමයි හිරවෙලා තියෙන්නේ. ඒවාට ඩොලර් පමණක් නොවෙයි විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒත් බොහොමයක් බහාලුම් නිදහස් කර ගැනෙනවා. මොකද දැන් කඩවල බඩු තියෙනවා. එහෙම නිසා බහාලුම් විවෘත වන බව පැහැදිලියි. උත්සව සමයේ ඉල්ලුම වැඩි වුණාට හිඟයක් ඇතිවෙන්නේ නැහැ.

 යසවර්ධන රුද්රිගූ