2022 ජනවාරි 01 වන සෙනසුරාදා

සෙත් කවි සේ සිත් සනසන මිතුදම්

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 395

මිත්‍රත්වය පිළිබඳව කතා කරන්න හිතුණා අන්තර්ජාලය තුළ දුටු එක්තරා පුංචි කතාවකින් “අමෙරිකාවෙ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ එක්තරා පාසලක අපූරු සිදුවීමක් වුණා. පුංචි දරුවන් පිරිසක් පංතියට ඇතුළුවන තවත් දරුවෙක්ව පුදුම කරවමින් ඉතා ආදරයෙන් පිළිගන්නවා. එම පංතියේ ඉගෙන්ගන්න මේ පුංචි දරුවන්ගෙ ආදරයට විශේෂ හේතුවක් නොතිබුණත් මේ සතුටට විශේෂ හේතුවක් තිබුණා. ඒ දරුවා තමා ඩැනියෙල් හන්ට්. මේ අපූරු සිදුවීම වෙන්න සතියකට කලින් හදිසියේ ඇතිවුණ ගින්නක් නිසා ඩැනියෙල් ජීවත්වූ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා. ඒත් එක්කම ඩැනියෙල්ගේ සෙල්ලම් බඩු, පොත්පත්, ඇඳුම් වගේ හැම දෙයක්ම ඩැනියෙල්ට නැති වුණා. 

ඩැනියෙල්ගෙ පංතියෙ යාළුවො එයාලගෙ ගුරුතුමිය එක්ක එකතුවෙලා නොසිතූ වෙලාවක ඩැනියෙල්ව මේ විදියට පුදුමයට පත් කළේ ගින්නෙන් විනාශ වුණ හැම දෙයක්ම ඩැනියෙල්ට ආපහු ලබා දෙමින්. ඒ වෙලාවෙ ඩැනියෙල්ගෙ සතුට කොයි තරම්ද කිව්වොත් ඩැනියෙල් තමන්ට ලැබුණ තෑගි දිහා බලන්නත් ඉස්සර තමන්ගෙ යාළුවන්ට ආරාධනා කළා උණුසුම් වැළඳ ගැනීමකට. 

හිතන්න මේ කොයි තරම් පුංචි හදවත්ද? මේ තරම් සංවේදී මේ පුංචි හදවත් කවදා හරි ලොකුවුණු දවසක තවත් කෙනෙක් කරදරේකදී මඟහරීවි, තවත් කෙනෙකුට කරදර හිරිහැර කරාවි කියලා හිතන්න පුළුවන්ද? අන්න ඒ ගැන හිතලා ඩැනියෙල්ගෙ පංතිභාර ගුරුතුමියත් ගොඩක් සංවේදී වුණා. ඒත් එක්කම ඇය කිව්වා ආදරය, කරුණාව තරම් දරුවන්ට කියාදෙන්න තවත් වටිනා පාඩමක් නෑ කියලා.”

මේ පුංචි සිදුවීම තවත් එක් සිදුවීමක් පමණක් වුණත් ඒ පුංචි සිදුවීම අපට කියාදුන්නේ හොඳ යාළුකම් සහ මඟ නොහැරි මිනිසත්කම් ගැන. ඔව්. ඒ තමා ජීවිතයේ ලද ලොකුම වත්කම්. මෙය විදේශීය රටක සිද්ධියක් වුවත් මේ වගේ සිද්ධි අපේ රටේද අහන්නට දකින්නට ලැබෙනවා. ඒක වාසනාවක්. 

විශ්වාසවන්ත, ආදරණීය, යහපත ප්‍රාර්ථනා කරන මිත්‍රයෙක් කියන්නෙ සාර සම්පතක් ජීවිතයට. ඒ වගේම සෙත් කවියක් වගේ ආශිර්වාදයක්. 

ඇසුරුකළ යුතු  සහ ඇසුරු නොකළ යුතු මිත්‍රයන් පිළිබඳ ව වර්ගීකරණයක් සිඟාලෝවාද සූත්‍රයේදී හඳුන්වා දීලා තියෙනවා. සිඟාලෝවාද සූත්‍රයට අනුව ඇසුරු කළ යුතු කල්‍යාණ මිතුරන් හතර දෙනෙකු සඳහන් වෙනවා.

1. උපකාරක මිත්‍රයා            2. අත්ථක්ඛායි මිත්‍රයා

3. සමාන සුඛ දුක්ඛ මිත්‍රයා  4. අනුකම්පක මිත්‍රයා යනුවෙනි.

උපකාරක මිත්‍රයාගේ ස්වභාවය වන්නේ ප්‍රමාද වූ මිතුරා ආරක්‍ෂා කිරීම, එසේ ප්‍රමාද වූ මිතුරාගේ ධනය, වස්තුව, ආරක්ෂා කිරීම බියක් පැමිණි අවස්ථාවකදී පලා නොගොස් පිහිට වීමත් පිහිටක්, උදව්වක් අවශ්‍ය වූ විටකදී පිහිට වීමත් ආදියයි.

සමාන සුඛ දුක්ඛ මිත්‍රයාට ආවේණික ලක්ෂණ වන්නේ තම රහස් නොසඟවා මිතුරාට කීම, මිතුරා කියන ලද රහස් ඒ අයුරින්ම ආරක්ෂා කිරීම, විපතක් දුකක් පැමිණි කල කිසිවිටෙත් අත් නොහරින ඔහු අදාළ අවස්ථාවේදී ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරයි.
අත්ථක්ඛායි මිත්‍රයා පස්පව්, දස අකුසල් වැනි පාපි ක්‍රියාවන්ගෙන් වළකාලයි. කළයුතු සුචරිත යහපත් ක්‍රියාවන්හි නිරත කරලීමට ක්‍රියා කරයි. ආර්ථික, අාධ්‍යාත්මික, සාමාජික, ආගමික, ආදී අංගයන්ගෙන් නොදන්නා දේ කියාදී දැනුවත් කරයි. හැමවිටම වැරදි මගින් ඉවත් කරමින් සුචරිත ක්‍රියාවලටම සමීප කරවනු ලබයි.

අනුකම්පක මිත්‍රයා මිත්‍රයාගේ ආර්ථික හා ආධ්‍යාත්මික පිරිහීම පිළිබඳ කිසි විටෙකත් සතුටු නොවේ. මිතුරාගේ දියුණුව විෂයෙහි අප්‍රමාණව සතුටු වෙයි. මිතුරා පිළිබඳ විවිධ දොස් නගන්නවුන් වළකයි. ගුණ ප්‍රසාදය පළ කරන්නවුන් හැමවිටම පැසසීමට ලක් කරයි. බෞද්ධ දර්ශනය පාප මිත්‍රයන් හඳුනාගන්නා ආකාරයද විග්‍රහ කර ඇත. 

1. අඤ්ඤදත්ථුහර  2. වචීපරම 3. අනුප්පියභාණී 4. අපාය සහය

අඤ්ඤදත්‍ථුහර පුද්ගලයා සුළු දෙයක් දී බොහෝ වස්තුව බලාපොරොත්තුවෙන් ක්‍රියා කරනවා. තමාට අත්වන විපතක් හෝ බියක් නිසාම ඇසුරු කරනවා. තම ප්‍රයෝජනය සඳහාම ඇසුරු කරනවා.

වචීපරම පුද්ගලයා අතීතයෙන් තමයි සංග්‍රහ කරන්නෙ. අනාගතයෙන් සංග්‍රහ කරන්නෙ නැහැ. හිස්දෙයින් පමණක් සංග්‍රහ කරනාව. මිතුරාට ඉදිරියට යා හැකි ඉදිරිපත් වන සියලු කටයුතු වලින් වළකාලනවා. අනුප්පියභාණී පාප මිත්‍රයා නරක දෙයද හොඳ දෙයද අනුමත කරනවා. මිතුරා ඉදිරියේ ගුණ කියනවා. මිතුරා නැති තැන දොස් පවරනවා. අපාය සහාය මිත්‍ර ප්‍රතිරූපකයා සුරාපානයට සහාය වෙනවා. නොකල්හි වීදි සංචාරයට සහාය වෙනවා. නෘත්‍ය දර්ශනයට සහාය වෙනවා. දූ කෙළියෙහි සහාය වෙනවා.

“භජේථ මිත්තේ කල්‍යාණෙ –හජේථ පුරිසුස්තමේ “යනුවෙන් බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන්නේ සැමවිටම කල්‍යාණ මිතුරන්ම ඇසුරු කරන්න කියලා. කල්‍යාණ මිතුරු ඇසුර නිසා තමන්ට කවර හෝ අවැඩක් සිදුනොවන අතර ආර්ථික හා ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇති වෙනවා. 

ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා තමන් ට ඇසුරට සුදුසු මිත්‍රයෙක් නැත්නම් හුදෙකලාව සිටින්න කියලා. මානසික පීඩා ඇති කරන මිතුරන්ට වඩා  හුදකලාවෙ සිටින  එකත් ලොකු මානසික සහනයක්.  බාලයන් සේවනයට වඩා එය වටිනවා කියන එකයි බුදුරජාණන් වහන්සේගෙත් පෙන්වාදීම.

“චරඤ්චෙ නාධිගච්ඡෙය්‍ය සෙය්‍යං සදිසමත්තනො
  එකචරියං දළ්හං කයිරා නත්‍ථි බාලෙ සහායතා.”

ශිලසමාධිප්‍රඥායෙන් තමාට වඩා උතුමකු හෝ තමා හා සම වූවකු හෝ සොයන තැනැත්තේ, එබන්දකු නො ලබන්නේ නම්, හුදෙකලාව විසීම දැඩි කරන්නේය. අනුවණයා කෙරෙහි යහළු බවෙක් නැත. යනුවෙන් ධම්මපදයේ බාල වග්ගය තුළ මේ ගාථාව සඳහන් වෙනවා. 

ඒ බුද්ධ වචනය අහද්දී මට හිතෙනවා තමන්ගේ ඇසුරට  යෝග්‍ය මිතුරන් නැති පසුබිමක හොඳ පොතක් කියන්නෙ කදිම මිත්‍රයෙක් කියලා. කියමනක් තියෙනවා “කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියලා. ඔබට හොඳ මිත්‍රයො නැත්නම් අධ්‍යාපනයට යොමු වෙන්න පුළුවන්. අධ්‍යාපනයෙන් සාර්ථක වෙන්නට පුළුවන්.

ජීවිතය කියන්නෙත් මහා පුස්තකයක් වගේ ... ඒ මහා පුස්තකයේ අවසන් පරිච්ඡේදයේ අංකය සහ විනිශ්චය, තීන්දුව, ස්වභාවය නොදැන අපි ඒ පුස්තකය කියවනවා... කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නෙ ඒ පුස්තකයේ අවසන් පරිච්ඡේදය දක්වා ඒ පුස්තකයට ගැඹුරු සොඳුරු පෙරවදනක්.

සන්නිවේදනය කියන්නෙ මේ විශ්වයේ ආරම්භය කවදා වී ද ඒ දුරාතීතය දක්වාම දිව යන්නක්. වාචිකව හෝ නිර්වාචිකව මිනිසුන්ට තම සිතුවිලි, ආකල්ප, සිතුම් පැතුම්, දුක, සතුට, වේදනාව මේ සියලු මනුෂ්‍ය භාවයන් බෙදා ගන්න ආදරණීයයන් ජීවිතයට ඕනෑ. ඒ සියලු මනෝභාවයන් බෙදාගන්න, හිතට වෙහෙසකර හැඟීමක් දැනුනම ඒ වෙහෙස නිවාගන්න, සෙවණැල්ලක් සේ ළඟ රුඳෙන මිත්‍ර සම්පත්තියක් කියන්නෙ ජීවිතයට මහා ආශිර්වාදයක් වගේම සැනසිල්ලක්.  

තාත්තට, අම්මටත් පුළුවන් තමාගෙ දුවට පුතාට වුවත් මිතුරෙක් , මිතුරියක් සේ සමීප වන්න. රාගය කියන සංකලපය අයින් කරාම හොඳ බිරිඳක් කියන්නෙ සැබෑ අම්මා කෙනෙක්, හොඳ මිතුරියක්. එනයින්ම හොඳ ස්වාමි පුරුෂයෙක් කියන්නෙ සැබෑ තාත්තා කෙනෙක්, හොඳ මිතුරෙක්. සැමියෙකුට, බිරිඳකට පුළුවන් හොඳ මිතුරෙක් හොඳ මිතුරියක් වෙන්න. ඒ වගේම හොඳ යාළුවෙක් කියන්නෙ ලේ බැඳීමක් නැති වුණත් සහෝදරයෙක් සහෝදරියක් වගේ දැනෙන කෙනෙක්.

ගැහැනු පිරිමි වශයෙන් යාළුවො බෙදන්න එපා... අපි ජීවත් වෙන්නෙ මහා පුදුමාකාර බෙදීම් සහිත ලෝකයක.. ස්ත්‍රී  පුරුෂ භාවය ඇයි මිත්‍රත්වය කියන පයුරු පාසානමට ප්‍රශ්නයක් කර ගන්නෙ...ගැහැනියක් පිරිමියෙක් අතර ඇතිවෙන එකම බැඳීම ලිංගිකත්වය පදනම කරගත් අනුරාගික බැඳීම් නෙවෙයි ...විවෘතව ගැඹුරු ලෙස ලෝකයේ සහ මනුෂ්‍යත්වයේ හරයන් තේරුම් අරගෙන මිත්‍රත්වයට වටිනාකම් දෙන්න. ඒක හරි වටිනවා. අගය කළ යුත්තක්.