2022 ජනවාරි 01 වන සෙනසුරාදා

ගින්දර වගේ කැත වැඩක් කළ ගන්දර ඕ.අයි.සී

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 260

පොලිස් රාජකාරියේ නිරත විශාල පිරිසක් සේවයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. මේ වසර ලබන 2023 වසර හා ගතවූ වසරට අදාළව එසේ විශ්‍රාම ලබන පිරිස 4808 දෙනෙකි. ඒ අතරේ රට තුළ ආරම්භ කෙරෙන නගර ව්‍යාපෘති හා නව පොලිස් ස්ථාන සඳහා යෙදවීමට නිලධාරීන් හිඟයක් පවතී. එසේ තිබියදී පොලීසියට ආධුනිකයන් සේ එක්වීමට අපේක්ෂා කරන අයටත් පොලීසිය එපා කරවන සිදුවීම් අසන්නට ලැබේ.

විශේෂයෙන් මෙම සිදුවීම රාජකාරියේ නිරතව සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයකු ක්‍රියා කිරීම සම්බන්ධ කතාවකි. සිද්ධිය වාර්තා වන්නේ මාතර පොලිස් කොට්ඨාසයට අයත් ගන්දර පොලීසිය තුළිනි.
වාර්තා වන ආකාරයට ඇය පිරිපුන් අඟ පසඟ ඇති ආධුනික පොලිස් කාන්තාවකි. මූලික පුහුණුවෙන් පසු ඇයගේ මුල්ම පත්වීම ගන්දර පොලීසිය වෙත ලැබී තිබුණි. ඉතා ඕනෑකමින් රාජකාරියට ගිය ඇයගේ සේවා කාලය මාස තුන හතරකට වැඩි නැත. මීට සතියකට පමණ ඉහත දිනයකි. බොහෝ විට එය නත්තල් දිනය බවටද කියැවේ. පෙර දිනයේද රාජකාරියේ යෙදුණු ඇය එදා පෙරවරුවේ රාජකාරියට වාර්තා කොට එම සේවය නිමවා පැමිණ සිටියාය. රාජකාරියේ වෙහෙස නිවාගන්නට පැමිණි සැණින් ඇය ඇඳුම් උනා දමා ඒ සියල්ල සේදුවාය. අනතුරුව තෙත රෙදි වැලක වනමින් සිටියාය. ඇය එම කාර්යයේ නිරතව සිටියේ ගන්දර පොලිස් පරිශ්‍රයේ කෙළවරක පිහිටි පොලිස් භට නිවාසය පසෙක සිටය.

ඇගේ රෙදි වැනීම දෙස ඇස ගසාගෙන සිටියේ ගන්දර පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාය. ඒ ඔහු නැවතී සිටි පොලිස් ස්ථානාධිපති නිල නිවෙස තුළ වූ ජනේලයක් අතරිනි. ආධුනික පොලිස් නිලධාරිනිය දෙස බලා උන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ හිත ගත දෙකම අමුතු ප්‍රමෝදයකින් ඉතිරී ගියේ මේ කාලය තුළය. උන්හිටි තැන් අමතක කළ ස්ථානාධිපතිවරයා සිය නිල නිවෙසින් එළියට පැමිණ කිසිවකුට ශබ්දය නොඇසෙන පරිද්දෙන් පෙර කී ආධුනික පොලිස් කාන්තාවට අඬගැසුවේය. එය කඩිනම් කිරීම සඳහා කිහිප විටක් ඇයට අත වැනුවේ ලහිලහියේය. තමන් වෙත අඬගසමින් අත වනනු දුටු ආධුනික පොලිස් කොස්තාපල්වරිය ලහිලහියේ ඇගේ කාර්යය අතහැර සිය ප්‍රධානියා දෙසට ගමන් කළාය. තමාට කතා කළ හේතුව නොදත් ඇය සිය රාජකාරි කටයුත්තක් පිළිබඳව විමසීමට යැයි සිතන්නට ඇත. හැඩකාර රුවැත්තියක වූ නිලධාරිනිය තමා දෙසට එන බව බලා තොල කට ලෙවකමින් සිටි ස්ථානාධිපතිවරයා අනංගයකු බව ඇය දැන සිටියේ නැත.

මොහොතකින් සිය ප්‍රධානියා නිල නිවෙසට ඇතුළට ගිය අතර දොර අබියසට පැමිණි ආධුනික නිලධාරිනිය *සර් මට කතා කළේ..* යැයි විමසුවාය. එසැණින් ක්‍රියාත්මක වූ මේ අනංග ස්ථානාධිපතිවරයා තරුණ නිලධාරිනිය වෙත කඩා පැන ඇය බදාගෙන තිබුණේ කිසිදු අවසරයකින් තොරවය. හරියට එම අවස්ථාව කසිප්පුකාරයකු, මංකොල්ලකරුවකු හෝ හොරකුට පැන යාමට නොදී බදාගන්නා හා සමානය. ඒ සමඟම ලිංගික වශයෙන් අඩම්තේට්ටම් කිරීමට සූදානම් වූ ස්ථානාධිපතිවරයා අසාමාන්‍ය ආශාවන්ගෙන් පෙළෙන්නකු බව ඇයට වැටහිණි.

ක්ෂණික උපායක් කල්පනා කළ තරුණ ආධුනික නිලධාරිනිය බඩ තඩි අනංග පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මිදී පැන ගත්තාය. පොලිස් භූමියේ නිල නිවෙස තුළ මෙවැනි නින්දිත ක්‍රියාවක නිරත වූ අනංගයා තැත් කළේ ඇයට අතවර කරමින් දූෂණයට ලක් කිරීමටය. ඒ මොහොතේ ඕ.අයි.සී. කුකුලා බව දැනගත් නිලධාරිනිය පොලිස් නිවස්නයෙන් පැන දුව ගොස් කදිම උපායක් කල්පනා කළාය. ඊට ඇවැසි සහාය ඇය හා හිතවත් නිලධාරිනියන් කිහිප දෙනෙක් ලබා දුන්හ.
ඒ අනුව සිදු කළ අතවරය පිළිබඳව ගන්දර පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද අරවින්ද අර්ජුන විජේසිංහ යන අයට එරෙහිව පැමිණිල්ලක් මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ඉදිරිපත් කෙරිණි. අදාළ අතවරය සිදු කළ බව කියන නිල නිවෙසට යාබද ස්ථානයක ආධුනික පොලිස් කොස්තාපල්වරියන් හා ආධුනික පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනකු රුඳී සිටින බැරුක්ක පිහිටා තිබෙන බවත් එවැනි වටපිටාවක් පැවතියද මෙම අතවරය සිදු කළ බවත් වාර්තා කර තිබිණි. 

පොලිස් ස්ථානයක ඉහළම නිලධාරියා විසින් ඔහු යටතේ සේවය කරන නිලධාරිනියකට අතවර කිරීම සුළු කොට නොතැකිය හැකි බරපතළ වරදකි. ඒ අනුව ගන්දර පොලීසියේ ඕ.අයි.සී.ට එරෙහිව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කෙරිණි.

මෙම ගන්දර පොලීසියේ ස්ථානාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරයකු ද වන මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයකුගේ දැඩි බලපෑම මත තනතුරට පත්වූවකු බවට වාර්තා වේ. එසේම මේ තැනැත්තා අමාත්‍යවරයකුගේ ඥාතියකු බවද කියැවේ. ඕ.අයි.සී.ගේ අවකල් ක්‍රියාව හා ඉහත කී දේශපාලනඥයන් අතර සබඳතාවක් නැතත් එවැනි පිරිස් වෙත තනතුරු ලබාදීම පසුපස ඇත්තේ යහපත් අරමුණක් නොවන බව පැහැදිලිය. මෙම ඕ.අයි.සී.වරයා අයහපත් ක්‍රියා කලාපය නිසා මීට ඉහතදී තෙවරක් රාජකාරිය තහනමට ලක්වූවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා මාතර අධිකරණයට ඉදිරිපත් කෙරිණි. චෝදනාවේ සාක්ෂිකරුවන්ට දැඩි බලපෑම් එල්ලවන බවට තොරතුරු වාර්තා වීම හමුවේ සැකකරු ලබන ජනවාරි 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

පොලීසිය තුළ කාන්තා නිලධාරිනියන් අපහරණයට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. කලින් කලට වාර්තා වන සිදුවීම් අතර වාර්තා නොවන සිදුවීම් කොතෙකුත්ය. එබැවින් පොලීසියේ ඉහළ නිලධාරීන් හමුවේ ලිංගික හිරිහැරවලට ගොදුරු වන පොලිස් නිලධාරිනියන් පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.
 
 සමන්ත ප්‍රදීප් විල්තෙර