2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

ලෙනින් සාම ත්‍යාගය ලැබූ එකම ලාංකිකයා උඩකැන්දවල සිරි සරණංකර හිමියෝ

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 124

 

පරමාණු බිල්ලක් - සරණංකර හිමියෝ දිවි පුදන්නට යති
1957 අප්‍රේල් 07 වැනිදා ඉරිදා ලංකාදීප පත්‍රයේ මුල් පිටුවේ ප්‍රධාන පුවතේ මෙසේ වාර්තා වී තිබුණි.

ජලකර - පරමාණු බෝම්බ පිපිරවීමෙන් ලෝක සත්වයාට වන මහා විනාශය සලකා මේ උපද්‍රවයෙන් ලෝවැස්සන් ගලවා ගැනීම පිණිස පරමාණු බෝම්බයට සිය ජීවිතය බිලි කිරීමට ගම්පහ උඩුගම්පොළ කොස්පිල්ලෑවේ වාලුකාරාමවාසී උඩකැන්දවල සිරි සරණංකර හිමියන් ඉදිරිපත් වී ඇතැයි එම පුවත්පතේ පළ වී තිබුණි.

මීට වසර 64කට ඉහත බ්‍රිතාන්‍ය අගමැති හැරල්ඩ් මැක්මිලන් බ්‍රිතාන්‍යයේ පැසිෆික් සාගරයේ ක්‍රිස්මස් දිවයින අසලට ජලකර බෝම්බ දමා ජලකර පරීක්ෂණ පැවැත්වීමට ගත් තීරණයට රටවල් කිහිපයක් එරෙහි වුවත්, අගමැතිවරයා එයට අවනත නොවීය. ක්‍රිස්මස් දූපතට බෝම්බ හෙළන විට ඒ බෝම්බවලට ගොදුරු වී මිය යාමට සරණංකර හිමි එම දූපත බලා පිටත්ව යන බවද එම පුවත්පතේ සඳහන් විය.

ජපානයේ ජනයා ද බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත් නමක් පෙරටු කරගෙන ක්‍රිස්මස් දූපතට යන බවත්, එයට ක්‍රිස්තියානි පූජකවරුන් ද එක්වන ආරංචිය ඇසූ සරණංකර හිමියන් එම ජපන් දූත පිරිසට ලිපියක් යවමින් කියා සිටියේ තමන්වහන්සේට එයට එක්වීමට අවකාශ සලසා දෙන ලෙසය. ක්‍රිස්මස් දූපත වටා වර්ග සැතපුම් 40,000ක ප්‍රදේශයක් සාමාන්‍ය ගමනාගමනය තහනම් කර තිබුණත් එය නොතකා දූපත ගොඩ බැසීමට යාමේදී වෙඩි පහර කා මිය යාමට වුවද සරණංකර හිමියෝ සූදානම්ව සිටියහ.

සරණංකර හිමියන්ගේ එඩිතර, නිර්භීතකම ප්‍රදර්ශනය වූ අවස්ථා මුල්වරට වාර්තා වී ඇත්තේ ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ 1932 වසරේ ඉගෙනීම ලබන කාලයේදීය. උන්වහන්සේ මහත්මා ගාන්ධිතුමාගේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වූ අවස්ථාවේ සිරගත වූයේ සුභාෂ් චන්ද්‍රබෝස් ජාතික වීරයා සමඟය. උන්වහන්සේ වසර හතරක් (1932 සිට 1936) යළිත් බන්ධනාගාරගතව ඇත්තේ දෙවැනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යයට යුද ආධාර දෙන්න එපා යැයි ප්‍රසිද්ධ රුස්වීමක කතා කිරීම නිසාය. 
පසුව ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ එස්.ඒ. වික්‍රමසිංහ වැඩිදුර වෛද්‍ය විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලැබීමට එංගලන්තයට ගොස් එන අතරේ ඉන්දියාවේ ශාන්ති නිකේතනයේදී සරණංකර හිමියන් හමුවී ඇත. මේ හමුවීම ගැන දොස්තර වික්‍රමසිංහ විසින් සරණංකර හිමියන් ලියූ කෘතියට විප්ලවවාදී සංකේතයක් මැයෙන් ලියූ ලිපියේ මෙසේ සඳහන් කොට ඇත. 

ඉන්දියාවේ නිදහස් සටනට එක්වෙමින් අධිරාජ්‍යවාදයට විරුද්ධව ජාත්‍යන්තරවාදී සහයෝගය දක්වන තරුණ භික්ෂුවක් ගැන ශාන්ති නිකේතනයේ දී මට අසන්නට ලැබිණි. මේ ආරංචිය සැලවත්ම මම බලවත් ප්‍රීතියකටත්, ආඩම්බරයකටත් පත්වීමි. භාරතයේ සුප්‍රකට චිත්‍ර ශිල්පියකු වන නන්දලාල් බෝස් මහතා එම තරුණ භික්ෂුව මා වෙත කැඳවාගෙන විත් මට හඳුන්වා දුන්නේය. උඩකැන්දවල සරණංකර හාමුදුරුවෝ මම එදා ජීවිතයේ පළමුවන වරට දැක හැඳින ගතිමි. සරණංකර හිමියන් ඉන්දියාවට එවන ලද්දේ ධර්මපාලතුමා විසිනි. එතුමාගේ අරමුණ වූයේ ඒ හිමියන් ඉන්දියාවේ බෞද්ධ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ගැනීමයි.*

හාමුදුරුවනෙ මේ අධිරාජ්‍යවාදී බැමි බිඳ දමන කල් මිනිසුන්ට නිදහසේ පැහැදිලිව හිතන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් ලංකාවට ඇවිත් අපේ මව්බිම අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගන්න බලන්න.*
මම එදා සරණංකර හිමියන්ට ඇරයුම් කළෙමි. ලංකාවට ගිය විගස අධිරාජ්‍ය විරෝධී අරගලයට සම්බන්ධ වන බවට අපි එදා එකිනෙකා ගිවිස ගතිමු.* දොස්තර වික්‍රමසිංහ ලියා තිබුණි.
බුද්ධ ජයන්ති වසරේදී සරණංකර හිමියන් 1957 ලංකා ගුවන්විදුලිය ඔස්සේ වෙසක් දිනය නිමිත්තෙන් කතාවක් කරමින් ලෝක සාමය සඳහා ස්වකීය ජීවිත පූජා කිරීමට ඉටා සිටින බව ප්‍රකාශ කළ බවත්, මෙම වීරෝදාර ප්‍රකාශය ලෝකය මවිතයට පත් කළා පමණක් නොව ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු වැන්නන්ගේ ප්‍රශංසාවට ලක්වූ බවත් මහාචාර්ය විශ්ව වර්ණපාල විසින් 1989 දී පවත්වන ලද %උඩකැන්දවල සිරි සරණංකර හිමි අධිරාජ්‍ය විරෝධී අරගලය හා භික්ෂු දේශපාලනය^ මැයෙන් කළ අනුස්මරණ දේශනයේදී සඳහන් කර ඇත.

1957 වසරේම කොළඹ පවත්වන ලද %ලෝක සාම සම්මේලනය^ සංවිධානය කිරීමේ ගෞරවය හිමිවන්නේ ද සරණංකර හිමියන්ටය. ලංකා සාම මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මෙම සම්මේලනය ආසියාවේ පැවැත්වූ මුල් අවස්ථාව එය විය. රටවල් 69කින් නියෝජිතයන් 400ක් පමණ නියෝජිතයන් ඉදිරියේ උන්වහන්සේ න්‍යෂ්ටික අත්හදා බැලීම ගැන කළ අගනා දේශනය නිසා ලංකාවට ගෞරවයක් හිමි විය. 
1957 නොවැම්බර් මාසයේ උඩකැන්දවල සිරි සරණංකර හිමියෝ ලෝක සාමය උදෙසා කළ උදාර අමිල සේවය වෙනුවෙන් රුසියාවේ ලෙනින් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූහ. කොළඹ නගරසභා ශාලාවේ පවත්වන විශේෂ උත්සවයකදී Chairman of the Moscow peace committee සභාපති T. Nikolai Semynorich Tikanor විසින් එම ත්‍යාගය සරණංකර හිමියන්ට පිරිනමන ලදී.
රුසියන් ලෙනින්ගේ නාමයෙන් හඳුන්වනු ලබන ජාත්‍යන්තර සාම ත්‍යාග මණ්ඩලය විසින් වසරක් පාසා ලෝක සාමයත්, ජාතීන් අතර මිත්‍රත්වයත් සඳහා යුද ඇතිවීමට විරුද්ධව ජීවිත පූජාවෙන් කරන කුමන ජාතියක, දේශපාලන භේදවලින් තොරව පිරිනමනු ලබන සාම ත්‍යාගය 1957 වසරේදී රටවල් හතකට පිරිනමා තිබේ.
ජාතීන් අතර මිත්‍රත්වයත්, සාමදානයත් සඳහා ජීවිත පූජාවෙන් ක්‍රියා කරනු ලැබූ වීරයන් උදෙසා පිරිනමනු ලැබූ ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨ ලෙනින් ත්‍යාගය හිමිවූ සත්දෙනා මෙසේය.
චන්ද්‍රසේකර වෙන්කතරාමන් (ඉන්දියාව), එමානුවෙල් දස්තීර් ද ලා විජෙරි (ප්‍රංශය), මරියා රෝසා (අර්ජන්ටිනාව), නිකොලායි සෙමනෝවිඩ් (රුසියාව), උඩකැන්දවල සිරි සරණංකර හිමි (ලංකාව), දනිලෝ ඩෙල්චි (ඉතාලිය), මහාචාර්ය හෙයින් රික් බ්‍රෑනර් (අවුස්ත්‍රියාව) ය.

සරණංකර හිමියන්ට පිරිනැමූ ලෙනින් සාම ත්‍යාගයේ හේතු පාඨය මෙසේය.
&Prize for offering to join Japanese demonstrators Who wanted to proceed to the Christmas Island danger zone as a protest against H-boma tests. Saranankara Thero is one of the seniorities of the Ceylon Peace Council*

ලෙනින් සාම ත්‍යාගය හඳුන්වා තිබුණේ මෙසේය.
International Lenin Peace Prize for strangling peace among the people* කියාය.
1902 ජනවාරි 07 වැනිදා හත්කෝරළයට අයත් හිරියාලේ උඩකැන්දවල පිටිසර ගමක උපන් රන් බණ්ඩා^ගේ පියා ඌව පළාතේ දඹවින්න වලව් පෙළපතේ කෙනෙක්ලු. කුඩා කාලයේම ගෙදරින් පැන ගොස්, පහතරට ප්‍රසිද්ධ වතුකාරයකු වන එච්. ඇල්. ද මැල්ගේ පියා ආශ්‍රයෙන් තමා හැදුණු බව පියා රන් බණ්ඩාට කියා තිබුණි. රන් බණ්ඩාගේ ළමා කාලය කටු කොහොලින් පිරි දුෂ්කර එකක් විය. එහෙත් පත්තර, කවිකොළ හඬ නගා තාලයට කියවීමෙන් රන් බණ්ඩා තම පියාගේ ගෞරවය රුක්කේය. පියදාස සිරිසේන මහතාගේ %මහ වියවුල^ නවකතාව කියවීමෙන් සාහිත්‍යයට ඇලුම් කළ රන් බණ්ඩා පුංචි අම්මා සමඟ ධර්ම දේශනා ඇසීමට ගියේය. ධර්ම කථිකයන් වහන්සේ ධර්මාසනාරූඪ වූවාට පසු තමා ධර්මාරාධනා කිරීමට නියමිතව සිටි දේව දූතයන් නැති බව දැන උපාසක උපාසිකාවෝ කලබලයට පත්වූහ. 

චූර්ණිකා දන්නා ළමයින් ඉන්නවාදැයි* අසමින් ධර්මශාලාව වටා උපාසකවරුන් දුවද්දී පුංචි අම්මා රන් බණ්ඩා ඉදිරියට තල්ලු කළාය. ඔහු චූර්ණිකාව පටන් ගත්තේය. කථිකයන් වහන්සේ රන් බණ්ඩා මහණ කිරීමට ඉල්ලා සිටියහ. 
උඩකැන්දවල සිරි සරණංකර හිමි නමින් පැවිදි වූ මේ පුංචි දරුවා ඉගෙනීමේ සමතෙක් විය. ධර්මපාලතුමාගේ %සිංහල බෞද්ධයා^ පුවත්පතට ලියූ ලිපි පෙළ කියවීමෙන් පසු අධිරාජ්‍ය විරෝධී ක්‍රියා කලාපය කෙරෙහි අප්‍රසාදය ඇති අධිරාජ්‍ය විරෝධී අරගලයට පිළිපන් බව උන්වහන්සේ විසින් පසු කලෙක ලියූ %සටනක සටහන්^ නම් ස්වයං අපදානයේ සඳහන් වෙයි. 
ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රථම සභාපතිවරයා වූයේ උන්වහන්සේ බව ඔබ දැන සිටියාද?
උන්වහන්සේ සටන් බිමෙන්ම පැන නැගුණු විප්ලවවාදියකු ලෙස හඳුන්වා ඇත.

ලේඛකයකු, පරිවර්තකයකු වූ ඒ හිමියන්ගේ ප්‍රධාන සාහිත්‍යයික ව්‍යායාමය වූයේ සිංහල උගත් කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ දරුවන්ගේ රසවින්දනය දියුණු කොට කුසලතා මතු කිරීමය. ඒ උදාර අරමුණින් 1941 වසරේ %නවලෝකය^ සඟරාව ආරම්භ කොට එහි සංස්කාරකවරයා ලෙස කටයුතු කළහ. එම සඟරාවෙන් නව ලේඛකයන් රුසක් බිහි කළහ. %මාර්ටින් වික්‍රමසිංහ විශේෂ කලාපය^ වුවද %නවලෝකය^ සඟරාවෙන් කළ අනුස්මරණීය සාහිත්‍ය සේවයක් ලෙස උගතුන්ගේ සම්භාවනාවට ලක් විය.

ගුණසේන සමාගම විසින් 1953 ලිහිණි පොත් පෙළ^ හඳුන්වා දෙන විට සරණංකර හිමියන්ගේ පරිවර්තන කෘති දෙකක් හඳුන්වා දුන්නේය. මැක්සිම් හෝර්කිගේ මදර් කෘතිය අම්මා නමින් ද වික්ටර් හියුගේගේ ද මිසරාබ්ලේ දීන දුක නමින් ද උන්වහන්සේ පරිවර්තනය කළහ. කල්කටාවේදී වංග භාෂාව ඇතැඹුලක් සේ ඉගෙන ගත් සරණංකර හිමියන් සරච්චන්ද්‍ර චතෝපාධ්‍යයගේ පල්ලි සමාජ්^ කෘතිය ගැමි සමාජය නමින් පරිවර්තනය කළ අතර මානව සමාජයේ ඓතිහාසික විකාශනය කරන සමාජ පරිණාමය^ කෘතිය ද රචනා කළහ.

සෝවියට් ලේඛක වී. කොචිටෝව් ලංකාවට පැමිණි විට ඔහුට හමුවූ සරණංකර හිමියන් ගැන මෙසේ ලියා තිබුණි.
නවලෝකය නමැති සඟරාවේ කතුවරයා කොළඹ ටැප්‍රොබේන් හෝටලයට විත් මා හමුවිය. හෝටලයේ සේවකයන් කහ සිවුරක් පොරවාගෙන සිටි උන්වහන්සේට දැක්වූයේ මහත් ගෞරවයකි. ඔවුහු උන්වහන්සේව හාමුදුරුවෝ යනුවෙන් ඇමතූහ. කහ සිවුරක් පොරවාගත් මේ ශාන්ත පුද්ගලයා පොලිස් හිරිහැරවලට ලක්ව හිරේ වැටුණු කෙනෙකැයි කෙනකුට නොසිතෙයි. මේ ස්වාමින් වහන්සේ තම මුළු ජීවිත කාලයෙහිම සාධාරණ මිනිස් සමාජයක් ගොඩනැගීමේ මග සොයමින් සිටියහ.
ලංකාව පරාධීනත්වයෙන් බේරාගැනීම සඳහා පටන්ගත් සටනට එක්වූ සරණංකර හිමියන් හිරගෙදර සිටියදී සංවේගජනක මෙන්ම සිනා උපදවන පුවතක් ඒ හිමියන් විසින් ලියූ %සටනක සටහන්^ කෘතියේ මෙසේ සඳහන් වෙයි.
සරණංකර හිමියන්ගේ බත් පිඟානෙහි බිත්තර දෙකක් තිබෙනු දුටු එක් බන්ධනාගාර නිලධාරියෙක් කබරයකු මෙන් වේගයෙන් පැමිණ බණ දෙසන්නට පටන් ගත්තේය.
හාමුදුරුවන්ට බිත්තර දෙන්න එපා. ඒක ලොකු පාපයක්. හාමුදුරුවෝ ඒවා වළඳන එකක් නැහැ
අඩෝ නරියා, දුප්පත් හිරකාරයන්ගේ බත් පතට තට්ටු කරන උඹ හාමුදුරුවන්ගේ පාත්‍රයටත් අනින්ට ආවද? අනිත් නිලධාරියා කීය.
සරණංකර හිමි අර නිලධාරියා හඳුන්වන්නේ බඩජාරි කපටියකු ලෙසය.

මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සරණංකර මාහිමි හඳුන්වා ඇත්තේ පරාධීනත්වයෙන් රට මුදන්ට සටන් කළ යතිවරයකු කියාය. 
සටනක සටහන් කෘතියේ සරණංකර හිමියන් තමන් හඳුන්වන්නේ මෙලෙසිනි.

බුදුන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ අවවාදය (කාලාම සූත්‍රය) අනුව ජීවත් වීමට හැකි තරම් උත්සාහ කළ මා එසේ තේරුම් ගත් දෙය බුද්ධියෙන් පරීක්ෂා කොට පිළිගතිමි. අනුන්ගේ රුවුම් ගෙරවුම් නොතකා ඒ අනුව ජීවත් වූයෙමි.
සරණංකර හිමියන් තම ජීවිත කාලයෙහිම සාධාරණ මිනිස් සමාජයක් ගොඩනැගීමේ මග සොයමින් සිටියහ. උන්වහන්සේ මීට වසර 55කට පෙර එනම් 1966 නොවැම්බර් 13 වැනිදා අපවත් වූහ.

 

සොඳුරු ආඥාදායකයෝ

ඒ.ඩී.රන්ජිත් කුමාර

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00