2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

හතර අතේ පටලැවුණු පොහොර අර්බුදය

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 66

ඕනෑම නිර්මාණකරුවකුට එකයි එකයි එකට එකතු කළවිට එකොළහයි කිව හැක. නැති නම් තුනයි කිව හැක. ඒ ඔහුගේ නිර්මාණාත්මක චින්තනය නිසාය. එහෙත් ගණිතමය චින්තනයක් ඇති අයකුට එකයි එකයි එකට එකතු කළවිට උත්තරය වන්නේ දෙකකි. ඔහුට අනුව ඔහු විශ්වාස කරන ගණිතයේ නියමයන් නිසාය. ඒ නිසා ඇතැම් ප්‍රශ්නවලට නිර්මාණාත්මක පිළිතුරැ මෙන්ම නියමයන්ට අනුකූල පිළිතුරැද ඇති බව ඕනෑම කෙනෙකු දන්නා දෙයකි.

විශේෂයෙන් රටක් පාලනය කරන විට ඉහත කී පැහැදිලි කිරීම අනිවාර්ය දෙයකි. එනම් රටේ පාලකයන් රට පාලනය කළ යුත්තේ නිර්මාණාත්මක ස්වරූපයෙන් නොව ගණිතමය නියමයන්ට අනුවය. ඒ වෙන කිසිවක් නිසා නොව රටක මුදුන් මුල ආර්ථිකය වන නිසාය. රටේ සියල්ල සිදුවන්නේද, සිදුවිය යුත්තේද රටේ ආර්ථිකයට සමානුපාතිකව බව අමුතුවෙන් කිවයුතු නැත.

මේ කතාව මෙලෙස කීවේ වර්තමාන ආණ්ඩුව ආර්ථික නියමයන්ට පිටින් මෑතක සිදුකිරීමට ගිය සංකල්පයක් නිසාය. ඒ වෙන කිසිවක් නොව රටම එක මොහොතේ ඇවිස්සුණු කාබනික පොහොර සංග්‍රාමය හේතුවෙන්ය. මෙය සැබවින්ම ආණ්ඩුව විසින් නිකරුණේ පටලවා ගත් ප්‍රශ්නයක් බව කිව යුතුමය.

වර්තමාන ආණ්ඩුව බලයට එනවිට ඔවුන්ගේ එකම පොරොන්දුව වූයේ ගොවියාට නොමිලේ පොහොර ලබාදෙන බවය. ඒ නිසා අනෙකුත් ජන කණ්ඩායම් මෙන්ම ගොවියාද තම බහුතර කැමැත්ත පළ කළේ වර්තමාන ආණ්ඩුව වෙතය. එහෙත් ආණ්ඩුවට එම පොරොන්දුව වැඩිකල් ඉටුකිරීමට හැකිවූයේ නැත. ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය හිටිහැටියේම රසායනික පොහොර ආනයනය නවතා දැමීමට තීන්දුව ගත්තේ සියලු ගොවීන් හිටිහැටියේම අමාරුවේ දමමිනි. ආණ්ඩුවේ දැඩි ප්‍රතිපත්තිය වූයේ මහ කන්නය ඇතුළු සියලුම බෝග වගාවන් 100ක් කාබනික වගාවට යා යුතු බව කියාය.

ඒ වනවිටත් ලෝකය මෙන්ම අපේ රටද දරුණු කොවිඩ් වසංගතය හමුවේ ආර්ථික වශයෙන් කඩා වැටෙමින් තිබුණේය. විශේෂයෙන් මාස ගණනක් ජනතාවගේ ආරක්ෂාව සඳහා රට වසා දැමීම හමුවේ මුළුමනින්ම රටේ ක්‍රියාකාරීත්වය ඇණහිට තිබුණි. මේ නිසා ආණ්ඩුවට එල්ලවුණු විශාලම අභියෝගය වුණේ භාණ්ඩාගාරයේ ඩොලර් සංචිතය ක්‍රමිකව සෘණ අගයකට යමින් තිබෙන නිසාය. මේ නිසා ඩොලර් ඉතුරු කර ගැනීමට රජය විවිධ තීන්දු ගත්තේය. විශේෂයෙන් ආනයනය සීමා කළේය. මෙහිදී පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 300කට අධික මුදලක් යන නිසා වහාම රජය පොහොර ආනයනය සීමා කිරීමකින් තොරව අත්හැර දැමුවේය.

ඒ වනවිටත් පලිබෝධනාශක වලින් තොර ගුණාත්මක එළවළු පළතුරු රට තුළ නිෂ්පාදනය කරන බවට විවිධ රජයන් විසින් දුන් පොරොන්දුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ &සෞභාග්‍යයේ දැක්ම* තුළ විය. ඒ නිසා වහාම ඩොලර් ප්‍රශ්නය සඟවා කාබනික පොහොර වගාව ප්‍රතිපත්තිමය තීන්දුවක් බවට හදිසියේම පත්කර ගත්තේය. ආණ්ඩුව කරගත් ප්‍රථම වරද වූයේ ගොවියාට ඇත්ත නොකියා ඒ වෙනුවට වෙනත් ස්වරූපයක් රටට පෙන්වූ නිසාය. මේ නිසා බහුතර ගොවීන්ට මෙය මරු පහරක් වූ අතර මේ නිසා මෙකී ප්‍රතිපත්තිය ආරම්භයේ පටන්ම ගනුදෙනුව සිදුකළයුතු පාර්ශ්වය දුෂ්ටයකු බවට පත්කර ගත්තේය.

මේ ආකාරයෙන් ප්‍රතිපත්තිය ආරම්භ කරන විට රට තුළ කාබනික පොහොර ඇති ප්‍රමාණයට තිබුණේ නැත. ගොවියන් අපේක්ෂිත පොහොර ලබාදීමට රජය හැකියාවක් තිබුණේ නැත. කොටින්ම කීවොත් රටට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ව්‍යවසායකයන් රට තුළ අවශ්‍ය ප්‍රමාණයෙන් නිර්මාණය වී තිබුණේද නැත.

ප්‍රශ්නය ඇතිවන්නේ මහ කන්නය වගා කිරීමත් සමඟය. එනම් ගොවීන් තමන්ගේ වේදනාව ඉවසමින් කාබනික වගාවට අකමැත්තෙන් වුවද කැමැත්ත පල කළත් වගාකිරීමට උත්සාහ කිරීමේදී අවශ්‍ය පොහොර ගොවින්ට ලැබුණේ නැත. ඒ නිසා ගොවීහු කුපිත වූහ. මේ අතර කෘෂිකර්ම අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරීන් පවා කීවේ ජනතාව අපේක්ෂා කරන පොහොර ප්‍රමාණය රට තුළ නොමැති බවය.

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඇතැම් සුදුසු නිලධාරීන් පවා විවිධ චෝදනා මත මාරු කර දැමුවේය. ඒ සඳහා විවිධ දේශපාලන තෝරාගැනීම් සිදුවුණේය. කෙසේ වෙතත් කාබනික පොහොර ප්‍රතිපත්තිය බලහත්කාරයෙන් පැටවුණු ප්‍රතිපත්තියක් බවට ගොවියාට ඒත්තු ගැන්වීමත් සමඟ රටපුරා ගොවි උද්ඝෝෂණ ආරම්භ විය. ඒ සඳහා විවිධ දේශපාලනික මුහුණුවර විවිධ පක්ෂවලින් ලබාදුන්නත් සැබෑ ප්‍රශ්නය වෙනුවෙන් ගොවියෝ පෙනී සිටියෝය.

පුදුමය නම් රජය මගින් ක්ෂණිකව මෙවැනි ප්‍රතිපත්තියක් ගැනීම ගැනය. 2019 වසරේ ලෝකයේ කාබනික වගාවන් සඳහා යොමුවුණු රටවල්වල කාබනික වගා සංඛ්‍යාලේඛන ගතහොත් පුදුම වනු ඇත. ඇමරිකාව 0.6, එංගලන්තය 2.6, ප්‍රංශය 7.7, ජර්මනිය 9.7, නෙදර්ලන්තය 3.7, ඕස්ට්‍රේලියාව 9.9, අසල්වැසි ඉන්දියාව 1.3යි. ඒ වනවිට අපේ රට පවා කාබනික වගාවක සිටියේ 2.5 කය. ලෝකයේ ආර්ථික වශයෙන් ප්‍රබල රටවල් පවා 100ක කාබනික වගාවකට ආර්ථික වශයෙන් ශක්තිමත්ව තිබූ 2019 වසරේ පවා අවධානය යොමු නොකර තිබූ මොහොතක, කොවිඩ් වසංගතයට මුහුණදී ආර්ථිකය සෘණ අගයකට යමින් ඇති මොහොතක ශ්‍රී ලංකා රජය 100ක කාබනික වගාවකට යාම ඉතාම බරපතළ වැරදි පියවරක් බව බැලූ බැල්මටම පේන දෙයකි.

විශේෂයෙන් ආනයනය සීමාකර ඇති මොහොතක, කොවිඩ් වසංගතයත් සමඟ ලෝකයේ රටවල නිෂ්පාදන ආර්ථික යන්ත්‍ර බිඳී සුණු විසුණු වී ඇති මොහොතක ඇස් මානයේ පෙනි පෙනී ආහාර හිඟයකට ලෝකයම යමින් ඇති මොහොතක ශ්‍රී ලංකා රජය ගත් මෙම තීන්දුව රටම අමාරුවේ දැමීමක් හා සමානය. මේ නිසා බොහෝ විද්වතුන් කීවේ මෙම ප්‍රතිපත්තිය අඩුම තරමෙන් 50/50 වශයෙන් ක්‍රියාත්මක කරන ලෙසය. එහෙත් පුදුමය නම් ආණ්ඩුව එකහෙළාම කීවේ ප්‍රතිපත්තිය නැවත හරවා නොගන්නා බවය. ගොවියාට යම් පාඩුවක් වුවහොත් එය ආණ්ඩුවෙන් වන්දි වශයෙන් ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු ආණ්ඩුවේ අය කීහ. එහෙත් ගොවියාට වන්දි දුන්නාට බෝග වගාව විනාශ වී රට තුළ නිකරුණේ මැවෙන ආහාර හිඟයට කිසිවකු උත්තර කීවේ නැත. අඩුම තරමින් ප්‍රශ්න ඇසුණේද නැත.

මේ සියල්ල මැද දිනෙන් දින කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීහු මාරුවීම් ලැබූහ. ඒ මෙම තත්ත්වයේ බරපතළකම තේරුම් ගෙන ඇත්ත තත්ත්වය සමාජය හමුවේ කීම නිසාය. ඔළුවේ අමාරුවට කොට්ටය මාරු කළත් ඔළුවේ අමාරුව අඩු නොවන බව ආණ්ඩුව සිතුවේ නැත. අවසානයේ ගොවි උද්ඝෝෂණය බරපතළ වෙමින් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ රූප ගිනි තබන තැනට පත්විය. මේ අතර ජනාධිපතිවරයා දැඩි ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට අවවාද කර සිටියේ රජයේ ප්‍රතිපත්තිය විවේචනය නොකරන ලෙසය.

මෙකී පොහොර ප්‍රශ්නය හමුවේ ආණ්ඩුව තවත් ප්‍රශ්න දෙකක් පටලවා ගත්තේය. ඒ චීනයේ සිට ආනයනය කරන ලද පොහොර නැවත සහ ඉන්දියාවේ සිට නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමත් සමඟය. චීනයෙ සිට ආනයනය කරන ලද පොහොර නැව කිසිසේත් ලංකාවට නුසුදුසු බව මෙරට පරීක්ෂණ කළ ස්වාධීන කණ්ඩායම් කීවේය. ඒ නිසා නැව බාර නොගන්නා ලෙස විශේෂඥයෝ පැවසූහ. එහෙත් ඒ වනවිටත් මහජන බැංකුව විසින් පොහොර මිලදී ගැනීම සඳහා ණයවර ලිපි නිකුත් කර තිබුණු අතර මේ හරහා විශාල මුදල් තොගයක් වන්දි ලෙස චීන සමාගමට ගෙවීමට සිදුවන තත්ත්වයක් ඇතිවිය. ඒ නිසා අකමැත්තෙන් වුවද පොහොර නැව බාරගන්නා තැනට රජයට යටත් වෙන්නට සිදුවිය. මේ නිසාම චීන සමාගම මහජන බැංකුව අසාදු ලේඛන ගත කළේය. මෙය ආණ්ඩුවට තවත් ප්‍රශ්න පිට ප්‍රශ්නයක් විය. එපමණක් නොව ජනතාවට බාල පොහොර දෙන බවට ආණ්ඩුව සම්බන්ධයෙන් කළු චිත්‍රයක් ගොවියා කෙරෙහි මේ හරහා ඇතිවිය. මෙම පොහොර නැව බාර නොගන්නා බව කීවත් අවසානයේ පොහොර නැව ලංකාවට පැමිණීමත්, නැවත විදේශ සමාගමක් හරහා සිදුකළ පරීක්ෂණයකදී එය භාවිතයට සුදුසු බවට තහවුරු වී යැයි පැවසීමත් නිසා තව තවත් ආණ්ඩුව කෙරෙහි පොහොර අර්බුදයේ චෝදනා ගොඩගැහුණේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අමාත්‍යවරයාට නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් එල්ල කළේය. එනම් ඩොලර් මිලියන 800ක වංචාවක් සිදුව ඇති බව කියාය. එය මහින්දානන්ද අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළ අතර ඔහු චම්පිකට එරෙහිව රහස් පොලීසියට පැමිණිලි කළේය. එහෙත් සියල්ල කනපිට හැරුණේ අදාළ සමාගම නියෝජිතයකු විසින් සිදුකළ ප්‍රකාශයක් හරහාය. එනම් ලීටරයක් ඩොලර් 6ක් බවත් එහෙත් මෙරටට ලබාදී ඇත්තේ ඩොලර් 24කට බවත් කියා සිටීමය. මේ නිසා අවසානයේ එම චෝදනාව මහින්දානන්ද අමාත්‍යවරයා පිළිගත් අතර ඔහු කීවේ පොහොර ගෙන්වූයේ පොහොර ගෙන්වීමේ රාජ්‍ය අමාත්‍යංශය විසින් බව කියාය.

කෙසේ වෙතත් මේ අතර එම පොහොර ගෙන්වන ලද සමාගමේ හිමිකරු මාධ්‍ය හමුවක් තබමින් කීවේ අමාත්‍යවරයාට වැරදී ඇති බවත් අමාත්‍යවරයා විශාල පීඩනයකින් සිටින බවත්ය. අමාත්‍යවරයා මෙය රාජතාන්ත්‍රික ලෙස සාකච්ඡා කර අඩුකර ගැනීමට උත්සාහ ගන්නා බවට සඳහන් කළත් කිසිසේත් ගිවිසුම අනුව සිදුකළ නොහැකි බව සීමාසහිත යුනයිටඩ් ෆාම්ස් ට්‍රස්ට් සමාගමේ හිමිකරු මොහාන් පෙරේරා කීවේය.

මේ ආකාරයෙන් පොහොර ප්‍රශ්නය උග්‍ර ලෙස ඇදී ගිය අතර මේ සියල්ල ආණ්ඩුවට විශාල කළු පැල්ලමක් එල්ල කළ සිදුවීමක් විය. විෂය භාර අමාත්‍යවරයා ඇතැම් තීන්දු වෙනස් කරන බවටත්, ඇතැම් තීන්දු ඉවත් කරන බවට කීවත් ඒ සියල්ල ඉටුකිරීම ලෙහෙසි පහසු වූයේ නැත. ඒ අතර ඇතැම් පොහොර ලාභීන් කීවේ ලැබුණු පොහොරවල වීදුරු කටු පවා ඇති බව කියාය. මේ සියල්ල ආණ්ඩුවට බැරවුණේය.

අවසානයේ පොහොර ප්‍රශ්නය නිමාකරමින් රසායනික පොහොර ආනයනයට පෞද්ගලික අංශයට ඉඩදෙන තැනට පත්විය. ඒ ගත් සියලු තීන්දු ආපසු හරවා ගනිමිනි. කෙසේ වෙතත් මෙය විශාල ජයග්‍රහණයක් ලෙස බොහෝදෙනා කීවත් මෙය තවත් ප්‍රශ්නයක් වීමෙ අවදානමක් ඇත. එනම් පෞද්ගලික අංශය මැදිහත්ව පොහොර ගෙන්වීම හරහා හිතු මනාපයට විවිධ වැඩි මිලට පොහොර ඇතැම් සමාගම් විසින් විකිණීමට ඉඩ තිබීමය. අන්ත අසරණව සිටින ගොවීන්ට අවසානයේ එකී බරත් දරන්නට සිදුවනු ඇත. එය දරා ගැනීමට නොහැකි වුවහොත් අවසානයේ ආණ්ඩුවේ කාබනික පොහොර සංග්‍රාමයට ඉබේ එකතුවන්නට සිදුවනු ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව කිසිදු දෙයක් කරකියා ගන්නට නොහැකි වන නිසාය. ඒ නිසා දැන් ගොවියා මුහුණ පා ඇත්තේ ගෙදර ගියොත් තෝ නසී, මග හිටියොත් අඹු නසී කියන තැනය. එපමණක් නොව ලබන වසර වනවිට රටේ ජනතාවටද වෙන්නේ එකී අවදානම දැරීමටය.

ඒ නිසා සැබවින්ම පොහොර ප්‍රශ්නය යනු ඉක්මනින් සිදුකළ සැලසුමක් නැති ක්‍රමවේදයකි. ඒ නිසා ඇතිවූයේ අමතර ප්‍රශ්නයක් සහ රජයට කැළලකි. ජනතාව වස විසෙන් තොර ආහාර ගන්නට කැමතිය. එහෙත් ඒ තත්ත්වයට පැමිණීමට නිසි ක්‍රමවේදයක්, කාලයක් අවශ්‍යය. එසේ නොවී සිදුකිරීම විනාශය ගෙන දෙන්නකි. මෙම ලිපිය ආරම්භයේදී කියූ ලෙස ආර්ථිකය ගැන කටයුතු කළ යුත්තේ නිර්මාණශීලි ලෙස නොව න්‍යායන්ට අනුකූලව බව සියලුදෙනා දැනගතයුතු දෙයකි.

 ගයාන් ගාල්ලගේ