2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

හදවතින්ම සිනාසෙන්න

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 443

සිනහව චිත්තවේග සමනය කිරීමේ ක්‍රමයක්ද වශයෙන් පෙන්වා දිය හැකිය.  සාම්ප‍්‍රදායිකව සිනහව යනු ප‍්‍රීතියෙහි හැඟීම් ප‍්‍රකාශනයකි. නැතහොත් සිනහව යනු සතුටෙහි අභ්‍යන්තරික හැඟීමකි. විහිළුවක් ඇසීමෙන්, හංකිති කැවීමෙන් හෝ වෙනත් උත්තේජකයකින් පසුව සිනහව ඇතිවේ. බොහෝ අවස්ථාවන්හිදී සිනහව ඉතා ප‍්‍රසන්න ලෙස අදහස් ප්‍රකාශ කරයි. 

සිනහව ඇතැම් සතුන් අතර මෙන්ම මිනිසුන් අතර හමු වේ. සමස්තයක් වශයෙන් ගත් කල ක්ෂීරපායී සතුන් අතර මෙන්ම අනෙක් සතුන් අතරත් සිනහව දැකිය හැක්කේ කලාතුරකිනි. මිනිසුන්ගේ සිනහව යනු මොළය මගින් පාලනය කරනු ලබන මිනිසුන්ගේ චර්යාවේ කොටසකි. සමාජ අන්තර් ක‍්‍රියාකාරීත්වය තුළදී මිනිසුන්ගේ සංකල්පනාවන් පැහැදිලි කිරීමට සිනහව උපකාරී වේ. පුද්ගලයන් අතර සංවාද සිදුවීමේදී ඒවාට චිත්තවේගාත්මක සන්දර්භයක් සිනහවෙන් ලැබෙයි. කණ්ඩායමක සාමාජිකයකු වීමේ සංඥාවක් ලෙස සිනහව භාවිත වේ. සිනහව විසින් සංකේතවත් කරන්නේ වෙනත් අයගේ පිළිගැනීම සහ වෙනත් අය සමඟ පවත්වන ධනාත්මක අන්තර් ක‍්‍රියාකාරීත්වයයි. යම් පුද්ගලයකුගේ දක්‍ෂතාවක් අගයා වෙනත් අයගෙන් ලැබෙන සිනහව ධනාත්මක ප‍්‍රතිචාරයකි.

සිනහව පැතිරෙන්නකි. කැස්ස, පුසුඹ බැලීම, කිවිසීම, ආදියට වඩා සිනහව සංවේදීය. සිනහව බෙදාගන්නා විට එ මගින් මිනිසුන් එකට බඳිනු ලැබේ. එසේම, ප‍්‍රීතිය සහ කුළුපගතාව වැඩි කිරීමට ද හේතු වේ. ප‍්‍රීතියේ සහ විනෝදයේ බලපෑම්වලට අමතරව සිනහව මගින් ශරීරයෙහි සෞඛමය වෙනස්කම් රාශියක් ඇති කරයි. හාස්‍ය සහ සිනහව අපගේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි. ශරීර ශක්තිය වැඩි කරයි. වේදනාව අඩු කරයි. ආතතිය නිසා ඇතිවන හානිදායක බලපෑම්වලින් අපව ආරක්‍ෂා කරයි. මෙම මිල නොකළ හැකි ඖෂධය විනෝදජනකය, නිදහස්ය, භාවිත කිරීමට ඉතා පහසුය. සිනහව ශක්තිමත් ඖෂධයකි. එයින් සමාජ ප‍්‍රතිලාභ හිමිවෙයි. තමාගේ ජීවිතයට වැඩි වශයෙන් සිනහව එක් කර ගැනීමේ ක‍්‍රමවේදයන්, හාස්‍ය හැඟීම් සංවර්ධනය කර ගැනීමේ ක‍්‍රමෝපායන් වැනි අංශ පිළිබඳව සලකා බලනු වටී.

සිනහව ආතතිය, වේදනාව සහ ගැටුම් සමනය සඳහා බලසම්පන්න ඖෂධයකි. සිනහව මගින් අපගේ කරදර සැහැල්ලු කරයි. බලාපොරොත්තු සැහැල්ලු කරයි. අප වෙනත් අය හා සම්බන්‍ධ කරයි. පුද්ගලයකු සුවපත් කිරීමට සහ අමුතුවෙන් ප‍්‍රාණවත් භාවයක් ඇති කිරීමට සිනහවට හැකියාව තිබේ. ඉතා පහසුවෙන් සහ නිතර සිනාසීමේ හැකියාව ගැටලු මැඩපවත්වන්නට අති විශාල මූලාශ‍්‍රයකි. සිනහව ඔබගේ සම්බන්‍ධතා වැඩි කරයි. කායික හා මානසික සෞඛ්‍යයට විශාල උපකාරයක් සිනහව මගින් ලැබේ. අවංක සිනහව කායික ආතතිය මුදා හරී. සහනය සලසයි. සිනහවෙන් පසු මස්පිඬුවල ලිහිල් බව විනාඩි 45 ක් පමණ පවතී. සිනහව ආතතියට හේතු වන හෝමෝන අඩු කරයි. ප‍්‍රතිශක්තීකරණ සෛල වැඩි කරයි. රෝග ආසාදන සමඟ සටන් කරන ප‍්‍රතිදේහ වැඩි කරයි. මෙලෙස සිනහව ඔබගේ රෝගවලට ප‍්‍රතිරෝධය වැඩිදියුණු කරයි. සිනහව රුධිර වාහිනීවල කාර්යය වර්ධනය කරයි. එසේම රුධිරයේ ගලා යාම ද වැඩි කරයි. හදවත් රෝගවලින් සහ හදවත් ආශ‍්‍රිත ගැටලුවලින් අපව ආරක්‍ෂා කිරීමට මෙය හේතු වේ. 

සිනහව සෑමවිටම ඔබට යහපත සලස්වයි. ඔබ සිනාසෙන විට ලැබූ යහපත් හැඟීම් සිනහව යටපත් වූ විට ද ඉතිරිව පවතී. අසීරු අවස්ථාවන්හිදී, බලාපොරොත්තු කඩවීම්වලදී, අහිමිවීම්වලදී ධනාත්මක, සර්ව සුභවාදී දෘෂ්ටිකෝණයකින් යුත් කෙනකු වීමට සිනහව ඔබට උදව් කරයි. සිනහව හේතුවෙන් වේදනාවෙන් මෙන්ම දුකෙන් ද තොරව ජීවත්වීමට අවකාශ ලැබෙයි. සිනහව ජීවිතයේ අලුත් අරුතක්, බලාපොරොත්තුවක් ඇතිකර ගැනීමට අවශ්‍ය ධෛර්යය ලබාදෙන නව මූලාශ‍්‍රයක් වේ. ඉතා අසීරු වේලාවන්වලදී පවා සිනහව හෝ මද සිනහව පවා ඔබට සුවයක් ලබා දීමට ඉවහල් වේ. සිනහව සත්‍ය වශයෙන්ම සංවේදීය. සිනහවක් ඇසුණු පමණින් ඔබගේ මොළය ඒ සඳහා හැඩ ගැසේ. එකෙනෙහිම හාස්‍යජනක අවස්ථාව සඳහා සම්බන්‍ධ වේ.
ඔබ සිනහවෙන් යුක්තව කාලය ගත කරන්නේ නම් කාංසාව, තරහව හෝ දුක ඔබට දැනෙන්නේ නැත. සිනහව ආතතිය අඩු කරයි එසේම, ශක්තිය වැඩි කරයි. යම් කරුණක් පිළිබඳව එක අරමුණකින් සිටින්නට අවශ්‍ය බලය ලබා දේ. ඒ හා සම්බන්ධ බොහෝ කාර්ය ඉෂ්ඨ කර ගැනීමට පිටිවහලක් වේ.

සිනහව නැතහොත් ප‍්‍රහසනයෙහි ආරම්භය වන්නේ මඳ සිනහවයි. මඳ සිනහව ද ඉතා සංවේදීය. හාස්‍යෝත්පාදක අවස්ථාවකදී අත්දැකීමෙන් තොරව ද සිනහව ඇති විය හැකිය. ඔබ සෞම්‍ය නැතහොත් මනෝඥ පුද්ගලයකු නම් සෞම්‍ය දෙයක් දෙස බලන විට මඳ සිනහව පහළ වේ. ඇතැම් වෙලාවන්හිදී හාස්‍ය සහ සිනහව පෞද්ගලිකය. කුඩා කණ්ඩායමක් හවුලේ භුක්ති විඳින සිනහවක් මෙසේ විය හැකිය. නමුත් සාමාන්‍යයෙන් එය සැමවිටම එසේ නොවේ. බොහෝ විට හාස්‍යජනක දෙයක් හවුලේ භුක්ති විඳීමට මිනිසුන් කැමතිය. එසේ වූ විට සිනහසීමටත් යහළුවන්ගෙන් ඊට ලැබෙන ප්‍රතිචාර අත්විඳීමටත් බොහෝ අය කැමතිය. ඔබට සිනහවක් ඇසුණු විට ඒ ගැන විමසා ඊට සම්බන්‍ධ විය හැකිය. 

සරල සැහැල්ලු මිනිසුන්ට පහසුවෙන් අනුන් සිනා ගැන්විය හැකිය. මෙවැනි අය දෛනික අවස්ථාවන්ට හාස්‍ය එක් කරයි. සුරතල් සතකු සමඟ සෙල්ලම් කිරීමෙන් ප‍්‍රීතිමත් වීම බොහෝ දෙනා ලබා ඇති අත්දැකීමකි. සුරතල් සතකු සමඟ සෙල්ලම් කිරීම, සුරතල් සතුන් ඇතිකිරීම ඔබගේ මානසික හා කායික සෞඛ්‍ය යන දෙඅංශයටම සුභදායකය. අධ්‍යයනවලින් තහවුරු වී ඇති ආකාරයට විශාදය, සුරතල් සතුන් ඇතිකිරීම හා ඔවුන් සමඟ විනෝද වීමෙන් ආතතිය, සහ හදවත් රෝගවලින් ඔබව ආරක්‍ෂා වෙයි.