2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

සඳහිරු සෑ රදුන් සසුනට පුද දුන් වගයි

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 64

ශ්‍රී ලාංකීය වංශ කතාවේ සදා නොමැකෙන දිනයක් ලෙස ඉකුත් 18 වැනිදාට යෙදුණු ඉල් පුර පසළොස්වක පෝය දිනය ලියැවී හමාරය. මෙදින අනුරාධපුරයේ දී සඳහිරු මහා සෑ රදුන් බැතිමතුන්ගේ වන්දනාව පිණිස සඟ සතුකොට පූජා කිරීම සිදුවිය. උසින් ස්වර්ණමාලි සෑ රදුන්ට පමණක් දෙවැනි වන සඳහිරු සෑය ඉදිකෙරුණේ මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් උදාරතර කැපකිරීම් කළ වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ හා තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමේ අරමුණිනි. ආරම්භයේ පටන් අවසානය තෙක් මෙහි සියලු කටයුතු සිදුවූයේ ද රණවිරුවන්ගේ දායකත්වයෙනි. එම නිසාම සඳ හිරු සෑය ශ්‍රී ලාංකීය වංශ කතාව තුළ රණවිරු මහ සෑය නමින් ද හඳුන්වනු ඇත.

සෑය සඟ සතුකොට පූජා කිරීම මහා සංඝරත්නයේ ජය පිරිත් සජ්ඣායනා මැද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඉල් පුර පොහෝදා පස්වරු 5.03ට යෙදුණු සුබ මොහොතින් සිදු විය. කොවිඩ් අභියෝගය මධ්‍යයේ වුවද ඓතිහාසික ශ්‍රී විභූතිය කියාපාන උත්සාහයක් බව කිව යුතුය.

යුද ජයග්‍රහණයෙන් පසු 2010 වර්ෂයේ දී සඳහිරු සෑයේ ඉදිකිරීම් ඇරඹුණි. සෑයේ ධාතු නිදානෝත්සවය සිදුවූයේ  2014 වසරේදීය. ඒ අනුව සෑයේ සමස්ත ඉදිකිරීම් වෙනුවෙන් දශකයකට අධික කාලයක් ගතවී තිබුණි. උස අඩි 282යි අඟල් 6ක් වන මෙහි වට ප්‍රමාණය අඩි 800කි. බුබ්බුලාකාර හැඩයකින් යුත් මෙම චෛත්‍යයෙහි කපිලවස්තු ධාතූන් වහන්සේ ඇතුළු සර්වඥ ධාතු තැන්පත් කොට ඇත. එම නිසා මෙම සෑය බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී දාගැබක් ලෙස හැඳින්වීමට අවකාශය උදා වේ. චෛත්‍යයේ තැන්පත් කොට ඇති චූඩා මාණික්‍යයේ උස අඩි 3යි අඟල් 6කි. මෙහි මැණික් ගල් 1895ක්, රත්රන් මෙන්ම මුතු ද ඔබ්බවා තිබේ. සැබවින්ම මෙය නූතන බෞද්ධ ඉතිහාසයේ වන්දනීය අවස්ථාවකි.

යුද ජයග්‍රහණයේ සේනාධිනායකයා ලෙස කටයුතු කළ පස්වැනි විධායක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ඓතිහාසික අවස්ථාව ඇමතූවේය. එය ඓතිහාසික කතාවක් විය. 

“ලේ ගංගා නතර කර, මරණ බිය තුරන් කර රට අභය භූමියක් කළ රණවිරුවන් වෙනුවෙන් මේ සඳහිරු සෑය සමස්ත ලෝකවාසීන්ටම වන්දනමානයට දායාද කර ප්‍රාර්ථනා කරනුයේ අනාගතයේ කිසි දිනෙක එවැනි සිදුවීම් යළි සිදු නොවේවා!" යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.  

අප රට කොතරම් කුඩා වුවත් අපට අපේ රටේ ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕන. අපේ රටේ නිදහස වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ජීවිත පරිත්‍යාගයෙන් රණවිරුවන් අපට උරුම කළ නිදහසත් රුකගැනීම වර්තමානයේත්, අනාගතයේත් බිහිවන නායකයන්ගේ වගකීමක්." යනුවෙන් ද මෙහිදී  අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මෙදිනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි පදවිප්‍රාප්තිය ද යෙදී තිබීම විශේෂ කරුණක් විය.

මහා සංඝරත්නය සහ ප්‍රධාන ආරාධිතයෝ ප්‍රධාන වාහල්කඩ පිළිම වහන්සේ අබියස හා විහාර මන්දිරයේදී මල් සහ සුවඳ දුම් පූජා කළහ. ධාතු කරඬුවේ ආභරණ පැළඳවීම, දොළොස්මහේ පහන විවෘත කිරීම, සඳහිරු සෑ රදුන් බුදු සසුන වෙත පූජා කිරීම සහ සෑ රදුන්ට විදුලි ආලෝක පූජාව ජනාධිපති අතින් සිදු කෙරිණි. සෑ රදුන්ට පළමු ගිලන්පස පූජාව, %සඳහිරු සෑ^ ඉතිහාසය ඇතුළත් ග්‍රන්ථය පිළිගැන්වීම මෙන්ම ගීතය එළිදැක්වීම මෙහිදී සිදු විය. මීට අමතරව මහා සංඝරත්නය විසින් සිදු කළ යුතු ඓතිහාසික වතාවත් සියල්ලම සිදු විය.

ක්‍රි.ව. 301 දී මහසෙන් මහරජු අනුරාධපුරයේ, ජේතවනාරාමය ඉදි කළ පසු ලක්දිව ඉදි වූ විශාලතම චෛත්‍ය ද මෙයයි. 21 වැනි සියවසේ ලෝකයේ නිර්මාණය වූ දැවැන්තම බෞද්ධ සිද්ධස්ථානය ද මෙයයි. එනිසාම මෙහි තතු නූතන මහාවංශයට ඇතුළත් වන බව මහා සංඝරත්නය පැවසූහ. මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමිපාණන් වහන්සේ මෙහිදී   විශේෂ අනුශාසනා සිදු කළහ. රණවිරුවන් ජීවිත කැපකිරීමෙන් කළ මෙහෙය අගයමින් සිදු කළ මහා පුණ්‍යකර්මයක් ලෙස සඳහිරු සෑය පූජාව උන්වහන්සේලා හැදින්වූහ.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ගිහි පැවිදි සැදැහැවත්හු සඳහිරු සෑය ඉදිකිරීමට මූල්‍ය හා ශ්‍රම පරිත්‍යාගය ලබා දුන්හ. ඒ අනුව සඳහිරු සෑ රදුන් ඉදිකිරීමේදී සිදු කළ මෙහෙය ඇගයීමට ලක් කරමින් ත්‍රිවිධ හමුදා සේනාංක වෙත ජනාධිපතිතුමා අතින් තිළිණ සහ සහතික පත් පිරිනැමිණ. 

ත්‍රෛනිකායික මහානායක, අනුනායක නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කතානායක, විපක්ෂ නායක, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රණවිරු පවුල්වල සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 චමිඳු නිසල් ද සිල්වා