2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

පරෙවියන්ට රජ මාලිගාවක් හැදූ අකුරණ අජ්මීර්

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 764

ඈත අහසේ පියාසර කරන පරෙවියකු එක මොහොතක තමන්ටම වෙන්වුණ කූඩුවට ගොඩවදී. සාමයේ සංකේතය ලෙසින් පරෙවියා හැඳින්වුවද මේ පරෙවියන් නිසා අකාලයේ නසාගත් ජීවිතද අපේ ඉතිහාසයේ නැතිවාද නොවේ. නිහාල් නෙල්සන් මහතාත් පරෙවියන් සම්බන්ධයෙන් ගීතයක් නිර්මාණය කළේය.

උඩ කරණම් බිම කරණම් ගහන පරෙවියා
වැඩිහිටියන් පොඩි ළමයින් කරන පරෙවියා
සාමයෙ සලකුණලු පරෙවියා....

කුඩා කුඩා පරෙවි කූඩුවල එක පොදියට පරෙවියන් ඇතිකරන සමාජයක් මේ වනවිටත් ඇතිවෙමින් පවතී. විශේෂයෙන් නගරාසන්න ප්‍රදේශවල වතුවල එක පෙළට ඇති කුඩා නිවෙස්වල මෙවැනි පරෙවි කූඩු එකක් හෝ දෙකක් නැතිවම නොවේ. රුකියාවක් නොකරන තරුණයන් පරෙවියන් ඇති කරමින් ඔවුන් නිසා ගහ මරා ගත් අවස්ථාද පොලීසි පොත්වල ලියැවී ඇත.
නමුත් ඒ සියල්ල පසෙකලා අපූරු පරෙවි කූඩුවක් පිළිබඳව අකුරණ ප්‍රදේශයෙන් වාර්තා වේ. එය බැලූ බැල්මට අපූරු සුන්දර නිවහනකි. ලී වලින් සෑදූ අපූරු නිවහනකි. සැබැවින්ම එය පරෙවියන්ටම වෙන් වුණු පරෙවි නිවහනකි.
මම පුංචි කාලේ ඉඳන්ම පරෙවියන් බොහොමයක් ඇති කළා. ඉස්කෝලේ යන කාලේදීත් මම පරෙවියන් ඇති කළා. ටික කාලයක් ගියාට පස්සේ මම ඒක නතර කළා. ඔය කාලේදීම මගේ බිරිඳ අසනීප වුණා. එයා හදවත් රෝගියෙක්. බිරිඳගේ අසනීප තත්ත්වය නිසාම මම මානසිකව ඇද වැටුණා. මම සේවය කළේ ජපානයේ. වරින්වර මම ලංකාවට ආවා. මගේ පුංචි පුතාත් &පරෙවියන් අරගෙන දෙන්නකො* කියල මට කිව්වා. ඒ නිසා එයාගේ ආසාව නිසාම මම පුතාට පරෙවි ජෝඩුවක් අරගෙන දුන්නා. ඒ 2012 අවුරුද්දේ. පරෙවියන් ඇති කිරීමෙන් මානසික සුවයක් ලැබෙන බව මටම තේරුණා. ඒ නිසා ටිකෙන් ටික පරෙවියන් ඇති කිරීම විනෝදාංශයක් විදිහට මම පටන් ගත්තා.* යැයි මෙම අපූරු පරෙවි නිවහනේ හිමිකරු වූ එම්.එම්.එම්. අජ්මීර් මහතා දේශයට පැවසීය.

පරෙවියන්ගේ නිවහන වෙනස්ම හැඩයකට නිර්මාණය වූවකි. අජ්මීර් මහතා ජපානයේ තම ව්‍යාපාර කටයුතු මෙන්ම සේවය කරන තැනැත්තෙකි. ඒ වගේම ඔහු විවිධ රටවල සංචාරය කරන්නට කැමැති පුද්ගලයෙකි.
&මම ඉදිරි අනාගතයට එකතු කරන කෙනෙක් නෙමෙයි. මම අද ජීවත් වෙන කෙනෙක්. කොච්චර හම්බ කළත් මම සතුටු වෙන්නේ නැතිව හෙට මැරුණා නම් වැඩක් නැහැනේ. පුංචි කාලේ ඉඳන් මගේ මතය වුණේ මම හම්බ කරපු සල්ලි මම වියදම් කරන්න ඕනේ කියලයි. නැතිබැරි මිනිස්සුන්ට දෙන්න ඕනේ. ඒ දීමෙන්ද තමන්ගේ හිතට සතුටක් දැනෙනවා. ඒක මම අත්විඳින කෙනෙක්. සමහරු සල්ලි මිටි ගණන් පොදි බඳිනවා. සමහරු අනුන්ගේ සල්ලිවලින් ජීවත් වෙන්න හදනවා. හැබැයි හොඳට බලන්න... ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට කිසිම සැනසීමක් නැහැ. මම හම්බ කරන සල්ලිවලින් මට හිතෙන, කාටවත් කරදරයක් නැති හැමදේම කරනවා. මම හැම පිටරටකටම යනවා. මොන රටකට ගියත් මම පරෙවියන් සම්බන්ධයෙන් හොයලා බලනවා. පුංචි කාලේ ඉඳන් මම ඉගෙන ගත්ත දෙයක් තමයි මම කරන විනෝදාංශය උපරිමයෙන් කරන්න ඕනේ කියල.* යැයි අජ්මීර් මහතා පැවසීය.

බොහෝ අය සුරතලුන් ලෙස නිවෙස්වල බල්ලන්, බළලුන් ඇති කරති. කුඩා කාලයේදී ඔවුන්ට දක්වන ආදරය, සෙනෙහස සතුන් ලෙඩ වූ විට, මහළු වූ විට දක්වන්නේ නැත. ඇතැම් සතුන්ට වෙන්වුණ කූඩු ඉතා අපිරිසිදු ඒවාය. නිදාගන්නවත් සුදුසු වටපිටාවක් නැති අසරණ සත්තු දුක් විඳිති. නමුත් අජ්මීර් මහතා තම සුරතල් පරෙවියන්ට ලබාදී ඇත්තේ අපූරු වරප්‍රසාදයකි. සැබැවින්ම මෙම පරෙවියන් රජගෙදර පරෙවියන් යැයි කීවාට වරදක් නැත. අජ්මීර් මේ පරෙවියන්ට සාදා ඇත්තේ පරෙවි රජ ගෙදරකි.

අජ්මීර්ට විදෙස් මිතුරන් බොහෝය. ඔවුන් අජ්මීර්ට විවිධ රටවල්වල ඇති පරෙවි කූඩු සම්බන්ධයෙන් විස්තර එවා ඇත. ජපානයේ ඇති එවැනි කූඩු කිහිපයක්ම නරඹන්නටද ඔහුට හැකියාව ලැබුණි. මේ ඇතැම් කූඩු උෂ්ණ රටවල්වලට පමණක් ඔරොත්තු දෙයි. ඇතැම් කූඩු ශීත දේශගුණයට පමණක් ඔරොත්තු දෙයි. මේ සියල්ල පිළිබඳව අවබෝධයක් ලබාගත් අජ්මීර් අපේ දේශගුණයට ගැලපෙන ලෙස පෙරවි නිවහන නිර්මාණය කළේය. එය සියයට සියයක්ම සාර්ථක නිර්මාණයක් බව ඔහු විශ්වාස කරයි. 

මේ වනවිට එම පරෙවි නිවහනේ පරෙවියන් එකසිය විස්සක් පමණ ජීවත් වෙති.  පරෙවි නිවහන සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ මැලේසියානු ලී වර්ගයකිනි. එය නිර්මාණය කරන්නට ඔහුට මාස හයක කාලයක් ගතවී ඇත. මෙම විශාල පරෙවි නිවහන කොටස් පහකට වෙන්කර ඇත. එයින් කොටස් දෙකක පැටව් රුකීම වෙනුවෙන් වෙන්කර ඇත. පිරිමි පරෙවියන් සහ ගැහැනු පරෙවියන් වෙන් වෙන් වශයෙන් මෙම කොටස් දෙකකට වෙන්කර ඇත. පරෙවි නිවහනේ සිටින පරෙවියන්ට දිනපතා නිදහසේ අවට පරිසරයේ පියාසර කරන්නට නිදහස ලබා දෙන්නේය. සෑම දිනකම උදෑසන නිවහනේ ඇති විශාල දොර විවෘත කරනා අතර සැම පරෙවියකුටම එම දොරෙන් එළියට පැමිණ තමන්ට හිතූ හිතූ පරිදි නිදහසේ අවට පරිසරයේ පියාසර කිරීමට ඉඩ සලසා දී තිබේ. සාමාන්‍යයෙන් පැය දෙකකට පමණ අජ්මීර් එම දොර වසා ඒ අසල ඇති වෙනත් දොරක ඇති කුඩා කොටස් තුන විවෘත කරයි. එළියට ගොස් නිවෙසට එන පරෙවියන් නිවෙස ඇතුළට එන්නේ ඒ කුඩා දොරවල්වලිනි. නිවහන ඇතුළට ආවද නැවත එම දොරවල්වලින් පරෙවියන්ට එළියට පියාසර කිරීමට නොහැකිය. 

මෙම කූඩුව ඉතා ක්‍රමවත්ව, පිළිවෙළට නිර්මාණය වූවකි. ලංකාවේ කොහේ සිට අජ්මීර්ගේ පරෙවියකු නිදහස් කළත් එම පරෙවියා මෙම නිවහනට පියාසර කර පැමිණෙන බව ඔහු පවසයි. ස්වයංක්‍රීයව දිනකට තුන්පාරක් ක්‍රියාත්මක වන විදුලි පංකාවක්ද මෙම සුපිරි පරෙවි නිවහනේ නිර්මාණය කර ඇත. මෙය ආසියාවෙන්ම දැකගත හැකි ඉතා සුපිරි පරෙවි නිවහනකි. මෙම පරෙවි නිවහන නිර්මාණය කරන්නට ලක්ෂ හතළිහක් වියදම් වී ඇති බව අජ්මීර් පවසයි. 
ලංකාවේ විකිණනු ලබන මිල අධික පරෙවියෙක් මම ළඟ ඉන්නවා. මම ලක්ෂ විස්සකට තමයි ඒ පරෙවියා මිලදී ගත්තේ. රේසින් ධාවන පරෙවියන් තමයි මම ළඟ ඉන්නේ. ඒ සතුන්ට අපි පොඩි පුහුණුවීමක් ලබලා දෙනවා. 

රේසින් ධාවන පරෙවියන් හිට්ලර් හොයාගත්තු එකක්. පරෙවි වර්ග දෙකක් එකතු කොට තමයි මේ රේසින් ධාවන පරෙවියාව නිර්මාණය කරලා තියෙන්නේ.  යුද්ධ කාලයේදී මේ රේසින් ධාවන පරෙවියන් මඟින් පණිවිඩ හුවමාරු කරගෙන තියෙනවා. පුහුණුවීමක් ලබපු මේ රේසින් ධාවන පරෙවියන් කොහේ හෝ සිට මුදා හැරියොත් ඉතා වේගයෙන් තමන්ගේ කැදැල්ලට පියාසර කරල එනවා. ලංකාවේ යාපනයේ සිට මම එවැනි රේසින් ධාවන පරෙවියන්ව මුදාහැරලා පැය හතරකින් පමණ නැවතත් මේ කැදැල්ලට ඇවිත් තියෙනවා. වෙනත් රටවල් රේසින් ධාවන පරෙවියන් මුදල්වලටත් ක්‍රීඩාවක් විදිහටත් සෙල්ලම් කරනවා. එහෙම ක්‍රිඩාවක් විදිහට කරන්න සතුන් ඇති කරන්නේ නැහැ. මේක මගේ විනෝදාංශය. කොහේ හරි ඈත මුදාහැරපු පරෙවියකු ආයෙත් ඉතා වේගයෙන් තම නිවහනට එද්දී තමන්ගේ දුව, පුතා ගෙදර එනවා වගේ හැඟීමක් තමයි මගේ හිතට දැනෙන්නේ. ඒක හිතට දැනෙන ආඩම්බරයක්. ඒ හැඟීම සල්ලිවලට ගන්න බැහැ.* යැයි අජ්මීර් දේශයට පැවසු‍වේය.

පරෙවියන් සඳහා බොහෝ විට ආහාරයට ලබාදෙනු ලබන්නේ ඇට වර්ගයි. මේ අතර ඔහු විදෙස් රටවල්වලින්ද අවශ්‍ය කෑම බීම මෙරටට ගෙන්වා ගනී. ඊට අමතරව බඩඉරිඟු, ග්‍රීන් පීස්, කඩල, සෝගම්, රතු හාල්, වී, බජිරි, කොල්ලු වැනි ඇට වර්ගද මිශ්‍රකර කෑමට ලබාදෙයි. ඇටවර්ග ලබාදෙන ප්‍රමාණයක්ද ඇති අතර යම් හෙයකින් එවැනි ඇටවර්ග ප්‍රමාණයෙන් වැඩිවුණොත් පරෙවියන්ට ඉගිලෙන්නට නොහැකි වීමත්, තරවීමත් සිදුවිය හැකිය. ආහාරවලට අමතරව පරෙවියන්ට විටමින්, ඖෂධ නියමිත දිනවලදී ලබාදෙයි. මෙම බොහෝ විටමින් අජ්මීර් විදෙස් රටවල්වලින් රැගෙන එයි.

මම පරෙවියන්ට සලකන්නේ මගේ දරුවකුට සලකන විදිහටයි. බොහෝ දෙනා මගෙන් මේ පරෙවියන් මිලට දෙන ලෙස ඉල්ලනවා. මේක මගේ බිස්නස් එකක් නෙමෙයි. මම අවුරුද්දකට එක ජෝඩුවකින් පැටව් ජෝඩු දෙකයි බෝ කරන්නේ. ඊට වඩා මම පැටව් බෝ කරන්නේ නැහැ. එයින් එක ජෝඩුවක් පිටට දෙනවා. එක ජෝඩුවක් මම ඇති කරනවා. ඒ විකුණන පැටවන්ගෙන් ලැබෙන මුදල් සම්පූර්ණයෙන්ම මම යොදවන්නේ මේ පරෙවියන්ගේ වන වියදම් කොටසටයි. මම ඒ සල්ලිවලින් මගේ පෞද්ගලික කිසිම කටයුත්තකට වැය කරන්නේ නැහැ. මට උදව්වට යාළුවෙක් ඉන්නවා. සේවකයන් කිහිප දෙනෙකුත් ඉන්නවා. මගේ කඩේ වැඩකරන අයත් ඇවිත් මට කෑම දාන්න උදව් කරනවා. පරෙවියන්ටත් පෙළපත තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ මිලත් වෙනස් වෙනවා. මම එක පැටියෙක් රුපියල් පනස් පන්දාහකට විකුණලා තියෙනවා.

රස්සාවක් නැති කිසිම කෙනෙක් පරෙවියන් ඇති කරන්න එපා. එහෙම වුණොත් මේ වියදම් වලින් ගෙදර, පවුල, දරුවන් බලාගන්නට බැරිවෙනවා. රස්සාවක් කරනා ගමන් පරෙවියන් ඇතිකිරීම විනෝදාංශයක් විදිහට පමණක් කරන්න. ඉගෙනගන්න ගමන් පරෙවියන් ඇති කරන්න එපා. එහෙම වුණොත් ඉගෙනීමත් කඩාකප්පල් වේවි. යැයි අජ්මීර් මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

අජ්මීර් ජපානයේ වාහන වෙළඳාම් ව්‍යාපාරයක නිරත වන්නෙකි. ජපානයේ මෙන්ම ලෝකයේ කොයි රටක සිටියද ඔහු විවේක මොහොතක සිටින්නේ ලංකාවේ තම පරෙවි නිවහන දෙස බලමිනි. එයින් හිතට අපූරු සැනසීමක් ලැබෙනා බව ඔහු කියයි. ඒ සඳහා තාක්ෂණික ක්‍රම ඔහු සිදුකර ඇත. කවුරුන් හෝ කෙනෙකු පරෙවි නිවහනට ඇතුළු වුවහොත් ලෝකේ කොහේ හිටියද ඔහුට තම දුරකථනය මගින් ඒ බව දැනගත හැකියි. ඒ වගේම හදිසි සීනුවක් ඇති අතර ඕනෑම කෙනෙකු ඇතුව වුවහොත් එමගින් අජ්මීර්ට දැනුම්දීමට සිදුවේ. මෙය පරෙවි කූඩුවක් නොව සැබැවින්ම මෙය පරෙවියන්ට නිදහස උපරිමයෙන් භුක්ති විඳිමින් තමන්ට නිදහසේ ගත කළ හැකි සුපිරි පරෙවි නිවහනකි.


 දිශානි ජයමාලි කරුණාරත්න