2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

ඉන්දියාවේ මෝටර්සයිකල් දෙවියෝ

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 92

වයඹදිග ඉන්දියාවේ මහා මාර්ගයක් අසල පිහිටි එක් සිද්ධස්ථානයක් වෙයි. බුලට් බාබා ලෙස ප්‍රසිද්ධ මෙම සිද්ධස්ථානය (හින්දියෙන් සාන්තුවරුන් බාබා යනුවෙන් හැඳින්වේ) දුර ගමන්වල යෙදෙන ලොරි රියදුරන්ගේ ප්‍රියතම ස්ථානයකි. ඔවුහු මෙහි නැවතී බුලට් බාබාට වන්දනාමාන කර, සිය දීර්ඝ ගමන අතරතුරේ ආරක්ෂාව ලබාදෙන මෙන් ඉල්ලති. රාජස්ථාන් ප්‍රාන්තයේ පාලි ප්‍රදේශයට නුදුරින් පිහිටි රෝයල් එන්ෆීල්ඩ් බුලට් වර්ගයේ මෙම යතුරුපැදිය වෙත බැතිමතුන් පැමිණෙන්නේ ආරක්ෂාකාරී ගමනක් පතමින් යාඥා කිරීම සඳහාය.

මම මෙතෙන්ට කීප සැරයක්ම ඇවිත් තියෙනවා.* එක් බැතිමතෙක් පැවසුවේය. &මේ දේවාලේ පහුකරගෙන යන හැම වතාවකම මම මෙතනින් බැහැලා, පරිස්සමින් ගමන ගිහිල්ලා එන්න ඕම් බන්නා දෙවියන්ගේ ආශිර්වාදේ ලබාගන්නවා.*
මේ යතුරුපැදිය අයත්ව තිබුණේ ඕම් සිං රාතෝර් නම් ප්‍රදේශවාසී තරුණයකුටය. 1988 දී ජෝධ්පූර් සහ ජායිපූර් සම්බන්ධ කෙරෙමින් දිවෙන මහා මාර්ගයේ සිදුවූ අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි. ඔහු පැදවූ 350CC රෝයල් එන්ෆීල්ඩ් යතුරුපැදිය ගසක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව සඳහන්ය.

ප්‍රදේශවාසීන් පවසන්නේ අනතුරට පත් යතුරුපැදිය එතැනින් ඉවත්කර ගැනීමෙන් පසුවද පොලිස් භාරයෙන් &ගැලවී* නැවතත් එතැනට පැමිණි බවයි. පොලිස් නිලධාරියකු විසින් එය ඉන්දියාවේ උතුරේ පිහිටි පන්ජාබ් ප්‍රාන්තයට රුගෙන යෑමෙන් පසු පවා, අනතුර සිදුවූ ස්ථානයට නැවත නැවතත් තනිවම පැමිණි බව ඔවුහු පවසති. 

මෙම යතුරුපැදියට අද්භූත බලයක් ඇතැයි ඇතැමුන්ගේ විශ්වාසයයි. එක් පුද්ගලයකු රාජස්ථානයේ News18 නම් නාලිකාව හා පවසා තිබුණේ ඕම් සිං රාතෝර්ගේ ආත්මය ඔහුට රුපියල් 20,000ක් (ලංකාවේ මුදලින් රු. 54 000ක් පමණ) ලබාදුන් බවයි.

මල් මාලාවන්ගෙන් සැරසූ යතුරුපැදිය වීදුරු පෙට්ටියක් තුළ දමා ප්‍රදර්ශනයට තබා තිබේ. බැතිමතුන් ඕම් සිං රාතෝර්ට මරු කැඳවූ අනතුර සිදුවූ ගස අසලද යාඥා කරති. එක්සත් රාජධානියේ පදිංචිකරුවකු වන සංචාරකයකු මෙම දේවස්ථානය සිය කණ්ඩායම සඳහා වාසනාවන්ත ස්ථානයක් වූ බවද කියමින්, ඒ සඳහා Tripadvisor වෙබ් අඩවියේ පිටුවක්ද නිර්මාණය කර ඇත. ඔවුන්ගේ සංචාරය අතරතුරේ නැතිවූ කැමරාවක් මෙහිදී ඔවුනට හමුවී තිබේ.
පාර අයිනේ පිහිටි සිද්ධස්ථාන ඉන්දියාවට අමුත්තක් නොවුණද, ඒවා නිසා මාර්ග තදබදය ඇතිවීම හේතුවෙන් ඇතැම් අවස්ථාවන්හිදී බලධාරීන්ගේ දෝෂදර්ශනයට ලක්වේ. 2009 වසරේදී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොදු ස්ථානයන්හි ආගමික සිද්ධස්ථාන ඉදිකිරීම නවතා දැමුණු නමුත්, එය ඉන් පෙර පිහිටවූ සිද්ධස්ථානයන් සම්බන්ධයෙන් එම නීතිය වලංගු නොවීය. මාර්ගයක් මැද ඉදිකෙරුණු එවන් එක් සිද්ධස්ථානයක් වර්ගවාදය අවුලුවන්නට සමත් වූයේ යැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා එකල වාර්තාකර තිබුණි.

• මෝටර්සයිකල් දෙවියාගෙන් ආභාෂය ලත් චිත්‍රපටය: ඩග් ඩග්
යතුරුපැදි දෙවියාගේ අරුම පුදුම කතාවේ ආභාෂය ලබා නිර්මාණය කළ චිත්‍රපටයක්ද මේ දිනවල අන්තර්ජාතික චිත්‍රපට උළෙලකදී කතාබහට ලක්ව ඇත. රෝයල් එන්ෆීල්ඩ් යතුරුපැදියකින් නිකුත්වන ශබ්දය අනුකරණයෙන් &ඩග් ඩග්* ලෙස නම්කර ඇති මෙම චිත්‍රපටයේ කතා තේමාව සුරඟන කතන්දරයකට නොදෙවැනිය.
මහා මාර්ගයක අධික ලෙස බීමත්ව යතුරුපැදියක් පදවාගෙන පැමිණෙන තැනැත්තෙක් ට්‍රක් රථයකට යටවෙයි. පසුදා උදෑසන පොලිස් භාරයෙන් අතුරුදන් වන ඔහුගේ යතුරුපැදිය ඔහු මියගිය ස්ථානයෙන් අභිරහස් ලෙස මතුවේ. එය නැවතත් පොලිස් ස්ථානයට ගෙන ගියද, අනතුර සිදුවූ ස්ථානයටම නැවත පැමිණේ. ගම්වැසියන්ගේ කුතුහලය සහ මිථ්‍යා විශ්වාසවල එකතුවත් ඉක්මනින්ම මියගිය මිනිසා සාන්තුවරයකු බවට පත්කරන අතර, ඔහුගේ යතුරුපැදිය රාජස්ථාන් කාන්තාර ප්‍රාන්තයේ දේවතාවකු බවට ඔසවා තබයි.

මෙම චිත්‍රපටය ආගම්වල විචිත්‍රවත් චාරිත්‍ර විධි සහ වාණිජකරණය උපහාසයට ලක්කරයි. හින්දි භාෂාවෙන් නිපදවුණු මේ චිත්‍රපටය, ආගම්වල විචිත්‍රවත් චාරිත්‍ර වාරිත්‍ර සහ ආගම් වාණිජකරණය උපහාසාත්මකව ගෙනහැර පාන්නකි. සරල රෑපරාමු සහිත මෙය, සිය විකාර විශ්වාසයන්ට ඇලී සිටීම සඳහා එතරම් දැනුම් තේරුම් නැති පුද්ගලයන් රංචු පිටින් මෙහෙයවන නාට්‍යාකාර සහ ගුප්ත සිදුවීම් පිළිබඳව විපරම් කරයි.
ඔබ යමක් මුළු හදවතින්ම විශ්වාස කරනවා නම්, ඔබට ඒකෙන් ඇත්තටම ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්.* ඩග් ඩග්හි අධ්‍යක්ෂක රිත්වික් පරීක් පවසා සිටියේය. පරීක් රාජස්ථාන් ප්‍රාන්ත අගනුවර වන ජායිපූර්හි උපත ලැබූ අයෙකි.
පරීක්ට මෙම චිත්‍රපටය නිපදවන්නට සිත්වූයේ, බ්‍රිතාන්‍ය ජාතික පරිණාමික ජීව විද්‍යාඥ රිචර්ඩ් ඩෝකින්ස් ලියූ The God Delusion (ද ගෝඩ් ඩිලූෂන්) නම් පොත කියවීමේදීය. ආගමික විශ්වාසයන් ප්‍රශ්න කරන එම පොත කියවන අතරතුරේ ජෝධ්පූර්හි මෝටර්සයිකල් දේවතාවා පරීක්ගේ සිහියට නැගුණි.

ඩග් ඩග්වලට මූලබීජය ඇතිවුණේ එහෙමයි,* ඔහු පැවසුවේය. තමා කුඩා කාලයේදී මිත්තණිය සමග බුලට් බාබාගේ දේවස්ථානයට ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේය. මිනිත්තු 107ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය, පසුගිය මාසයේදී පැවැත්වුණු 46 වැනි ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කෙරිණි.
දෙවැනි ලෝක යුද්ධය සඳහා නිපදවනු ලැබූ ෆ්ලයින් ෆ්ලී යතුරුපැදියට &උපහාර දැක්වීම* සඳහා 2018දී එළිදැක්වුණු රෝයල් එන්ෆීල්ඩ් ක්ලැසික් 500 පෙගසස් නම් යතුරුපැදිය. මේ මාදිලියෙන් සීමිත යතුරුපැදි සංඛ්‍යාවක් පමණක් නිපදවනු ලැබුණි
• 1893 මුල දී පාපැදි නිෂ්පාදකයකු වූ ටවුන්සෙන්ඩ් සමාගම "රෝයල් එන්ෆීල්ඩ්" ලෙස නම් කරනු ලැබුණි. ඒ, එම සමාගම එංගලන්තයේ එන්ෆීල්ඩ්හි පිහිටි රාජකීය සැහැල්ලු ආයුධ කම්හලට යන්ත්‍ර කොටස් සැපයීමට පටන්ගත් පසුය.
• 1901 රෝයල් එන්ෆීල්ඩ් බ්‍රිතාන්‍යය තුළ සිය ප්‍රථම යතුරුපැදි නිපදවීය.


• 1914-18 පළමු ලෝක යුධ සමයේ දී බ්‍රිතාන්‍ය, බෙල්ජියානු, ප්‍රංශ, එක්සත් ජනපද, සහ රුසියානු හමුදාවන්ට යතුරුපැදි සපයයි.
• 1932 ආනත වූ &ස්ලෝපර්* එන්ජිම සහිත ජනප්‍රිය &බුලට්* යතුරුපැදිය නිපදවයි.
• 1939-45 දෙවැනි ලෝක යුද්ධයේදී හමුදා යතුරුපැදි මෙන්ම පාපැදි, ජෙනරේටර, සහ ගුවන් යානා නාශක තුවක්කු නිෂ්පාදනය කරයි - පැරෂුට්කරුවන් සහ ග්ලයිඩර් භටයින්ගේ භාවිතාව සඳහා නිපදවූ සුප්‍රසිද්ධ &ෆ්ලයින් ෆ්ලී* යතුරුපැදිය මෙහිදී විශේෂය.

• 1960 දශකය. පැරණි යතුරුපැදි සංස්කෘතියේ උච්චතම අවස්ථාව වන නමුත් රෝයල් එන්ෆීල්ඩ් ඇතුළු බොහෝ සන්නාම නොයෙක් දුෂ්කරතාවන්ට මුහුණදෙයි.
• 1970 එක්සත් රාජධානිය තුළ මෙහෙයුම් නවතා දමයි, එයට අනුබද්ධිත ඉන්දියානු ආයතනය නිෂ්පාදනය භාරගනියි.
• 1994 ඉන්දියාවේ අයිෂර් මෝටර්ස් සමාගම %එන්ෆීල්ඩ් ඉන්ඩියා^ මිලට ගෙන, එය %රෝයල් එන්ෆීල්ඩ් මෝටර්ස් ලිමිටඩ්^ යනුවෙන් නම් කරයි.
• 2020 එක්සත් රාජධානිය තවමත් ප්‍රධාන වෙළඳපොළකි - රෝයල් එන්ෆීල්ඩ්හි Interceptor 650 යනු එක්සත් රාජධානිය තුළ වැඩියෙන්ම අලෙවි වන මැදබර යතුරුපැදියයි.

(බී.බී.සී. සිංහල වෙබ් අඩවිය ඇසුරිණි)

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00