2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

දිනෙන් දින නාය යන එළවළු වෙළෙදාම

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 119

මේ වන විට රටේ පවතින භාණ්ඩ මිල ඉහළ යාම සහ හිඟය හමුවේ ජනතාව පසුවන්නේ ඉතා අසීරු අඩියකය. බඩු මිල ඉහළ යද්දී තවත් පිරිසක් පොහොර හිඟය ඇතුළු විවිධ හේතු මුල්කොටගෙන රට පුරා උද්ඝෝෂණ පවත්වති. ඒ අතර එකදිගට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ බොහෝ වගාබිම් ගසාගෙන ගොස් දැන් ඉතිරිව ඇත්තේ හිස් වගුරුබිම් පමණි.

''මාස ගාණක් තිස්සේ අපි මේ ගොවිතැන්වලට මහන්සි වුණා. කාලයක් තිස්සේ පොහොර නැතිව අපි හිටියේ හෙම්බත්වෙලයි. ඒ අතරේ එකදිගට වැස්ස ආවා. දැන් අපිට ඉතිරිවෙලා තියෙන්නේ කිසිම ගහක් නැති පොළොවක් විතරයි. අපි මේ වගා කටයුතු කරන්න පටන් ගත්තේ පොලියට සල්ලි අරගෙනයි. සමහරු ඉඩම් පවා උගස් තියලා තමයි වගා කරන්න පටන් ගත්තේ. ඒ හැමදේම අද වන විට වතුරත් එක්ක ගහගෙන ගිහිල්ලා ඉවරයි. වගා පාළු වුණා කියලා පොලියට දුන්න අය පොලිය නොගෙන ඉන්නෙ නැහැ. ඉඩම් උගසට තියාගෙන සල්ලි දුන්න අය ආයෙත් සල්ලි නොදී ඉඩමේ ඔප්පු අපිට දෙන්නෙ නැහැ. කාටවත් බරක් නැතිව ජීවත් වුණු ගොවියන් අද අසරණයි.'' යැයි තඹුත්තේගම සිරිපාල හේරත් මහතා දේශයට පැවසීය.

ගොවීන් යනු රටට බරක් නැති ජනකොටසකි. ඔවුහු සිය මහන්සියෙන් ගොවිතැන් කටයුතු කරගෙන යති. නමුත් මේ වන විට ගොවීන්ටද සිදුවී ඇත්තේ සිය අයිතීන් වෙනුවෙන් පාරට බැසීමටය. එයට ප්‍රධාන හේතුව වූයේ උද්ගත වූ පොහොර ගැටලුවයි. නමුත් ඒ සඳහා සාධාරණ සාර්ථක විසඳුමක් ලැබී නැත.

එළවළු මිල ඉහළ යාමට මෙම පොහොර ගැටලුවද හේතු විය. බොහෝ ගොවීහු වසරකට කන්න තුනක් ලෙසින් එළවළු වගා කරති. නමුත් නියමිත ප්‍රමාණයට පොහොර නොලැබීමෙන් ඇතැම්හු වගා කටයුතුවලින් ඈත්වූහ. ඒ අනුව ලැබෙන එළවළු අස්වැන්නේද අඩුවක් දක්නට ලැබුණි.

දින ගණනාවක් එකදිගට ඇදහැළුණු වර්ෂාව එළවළු මිල ඉහළ යාමට තවත් හේතුවකි. විශේෂයෙන් නුවරඑළිය, බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවලට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ බොහෝ ප්‍රදේශ නාය යෑමට ලක්විය. වගාබිම් බොහොමයක් විනාශ විය. මේ අනුව උඩරට එළවළු මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මාළුමිරිස් කිලෝවක තොග මිල රුපියල් හාරසීයද ඉක්මවා ගොසිනි. කැරට් කිලෝවක තොග මිල රුපියල් දෙසිය හැත්තෑපහකි.

''දැන් එළවළු මිල ඉතාම අධිකයි. සාමාන්‍ය මනුස්සයකුට දරාගන්න බැරි තරම් ඒ මිල වැඩියි. විශේෂයෙන් උඩරට එළවළු ඉතාම අධික මිලකට විකිණෙනවා. මේ අනුව බෝංචි කිලෝවක තොග මිල රුපියල් තුන්සිය පනහක් පමණ වෙනවා. පසුගිය කාලෙදි බෝංචි තොග මිල රුපියල් පන්සීයකටත් විකිණුනා. තොග මිලදී ගන්නා අපගේ මිලයි ප්‍රවාහන වියදමයි ගෝලයන්ට වෙන්වුණු මුදලයි කඩ කුලියයි ආදී වියදම් එකතු කළාට පස්සේ මේ එළවළු මිලේ ඉතා විශාල වැඩිවීමක් සිදුවෙනවා. සමහර අඩු වියදමකින් කරන අය යම් අඩු මුදලකට එළවළු දෙනවා. වියදම් වැඩි අය වැඩි වියදමට එළවළු විකුණනවා. සාමාන්‍යයෙන් වැහි කාලයට කෘෂි නිෂ්පාදන ඉක්මනින් ගැලවෙනවා. ලීක්ස් වැනි එළවළු මේ කාලෙදි ඉතා ඉක්මනින් ඵලදාව ලබාගන්න ඕනෙ. නැත්නම් වැහි කාලය පටන් ගැනීමත් සමඟ ඒ සියල්ල විනාශවෙලා යනවා. වැහි කාලය වගේම එළවළුවල මිල ඉහළ යාමට පොහොර ප්‍රශ්නයත් බලපෑවා. ව්‍යාපාරිකයන් විදිහට අපිටත් ගොවීන්ගෙන් මේ පොහොර ප්‍රශ්නය නිසා මැසිවිලි තියෙනවා. ඊළඟ කන්නය වගා කරන්න පොහොර නොමැතිකම නිසා අදටත් බොහෝ ගොවීන් ඉන්නේ විශාල ගැටලුවකයි.'' යැයි කොළඹ මැනිං පොදු වෙළෙඳ සංගමයේ හිටපු සභාපති ලාල් හෙට්ටිගේ මහතා දේශයට පැවසීය.

බොහෝ එළවළු ගොවීහු වසරකට කන්න තුනක් ලෙසින් වගා කරති. මාස තුනෙන් මාස හතරින් ඵලදාව ලැබෙන බෝග වගා කරන මොවුන්ගේ එක් වගා බිමක් හානිවීමෙන් ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරයි. මේ අතර තවත් සමහරු ගොවීන්ගේ මෙම පොහොර ගැටලුව තමන්ගේ වාසියට ගනිමින් විවිධ උද්ඝෝෂණවලට ගොවීන්ට අනුබල දෙති. ගොවීන්ගේ අසරණකමින් ඇතැම් දේශපාලනඥයන් අයුතු ප්‍රයෝජන ලබාගත් අවස්ථා නැතිවාද නොවේ. කෙසේ හෝ අවසානයේදී පීඩා විඳින්නේ ගොවීන් සහ පාරිභෝගිකයන් පමණි. අව්වට, වැස්සට මුහුණදෙමින් අනේක දුක් විඳිමින් වගාබිම් හා ඔට්ටුවන ගොවීන්ගේ ඵලදාවෙන් වැඩි වාසිය ලබන්නේ අතරමැදි ව්‍යාපාරිකයන්ය. වැඩි මුදලකට එළවළු විකිණීම නිසා ගොවීන් සහ පාරිභෝගිකයෝ අසරණ වෙති. එමෙන්ම එළවළු අලෙවිසල්වල එළවළු මිල එකිනෙකට වෙනස්ය.

''කරන්න දෙයක් නැහැ. ආර්ථික මධ්‍යස්ථානයට ගිහින් පැය ගණන් රස්තියාදු වෙලා තෙල් ගහගෙන වාහන අරගෙන ගිහින් ගෙනාපු එළවළු අඩු ගාණකට විකුණල අතින් පාඩු ලබන්න අපිට බැහැ. මේ අපි විඳින දුක මෙතනට ඇවිත් එළවළු පන්සීයක් දෙසිය පනහක් ගන්න මිනිස්සු දන්නෙ නැහැ. මෙතනට ඇවිත් කැරට් ගෙඩිය, ලූනු ගෙඩිය, එකින් එක තෝරලා තමයි ඒ අය එළවළු ග්‍රෑම් දෙසිය පනහ තෝරාගන්නෙ. එහෙම නම් ආර්ථිකයට ගිහින් එළවළු තොග ගණන් ගේන අපි කොහොම මේ එළවළු තෝරන්න ඕනෙද? ගේන එළවළුවලින් කොටසක් නරක්වෙලා. තැලිලා. ඒ පාඩුව විඳින්න ඕනෙත් අපිම තමයි. මේක හිතන තරම් ලෙහෙසි රස්සාවක් නෙමේ. දැන් හැමදේම ගිනි ගණන්. හැමදේටම පෝලිම්. ඒ හැමදේම විඳගෙන තමයි අපිට දැන් එළවළු විකුණන්න වෙලා තියෙන්නේ.'' යැයි සිල්ලර එළවළු වෙළෙඳසලක් පවත්වාගෙන යන රැවන් මහතා දේශයට පැවසීය.

මේ වන විට එළවළු විවිධ මිල ගණන් යටතේ විකිණෙයි. පවතින වර්ෂාවත් සමඟ එළවළු පමණක් නොව පොල් ඵලදාවෙහිද අඩුවක් දක්නට ලැබේ. අධික වර්ෂාවත් සමඟ ඉතා ඉක්මනින් ලබාගත් ඵලදාව සාර්ථක ඵලදාවක් නොවන බව ගොවීන්ගේ අදහසයි. එමෙන්ම නියමිත පොහොර නොලැබීමද මීට හේතු වූ බව ඔවුහු පවසති. මේ නිසා තමන් වගාවෙන් ඈත්වීමටද තීරණය කර ඇතැයි සමහරු කියති. රටට බත සපයන ගොවි පරපුරේ ඊළඟ පරම්පරාව මේ තත්ත්වය හේතුවෙන් ගොවිතැනින් ඈත්වන්නටද තීරණය කර තිබේ. ඇතැම් තරුණයන් ත්‍රීරෝද රථයක් මිලදී ගෙන එයින් යම් ආදායමක් ලබන අතර තවත් පිරිසක් ගම අතහැර කොළඹ විවිධ රැකියාවලට පැමිණෙමින් සිටිති. මේ අතර තවත් පිරිසක් විදෙස්ගත වන්නටද තීරණය කර ඇත. කෙසේ වුවත් පවතින එළවළු මිල ඉදිරියේදී මීට වඩා ඉහළ යා හැකි බව ගොවීහු පවසති.

 දිශානි ජයමාලි කරුණාරත්න