2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

කතරගම ඇවිදින රන්තැටිය

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 269

“මුහුණු සයකි අත් දොළසකි මයුරා පිට වාහනේ” කියන පද පේළිය කතරගම දෙවියන් සිහිපත් කරයි. දෙවියන්ගේ මුහුණු සයත් අත් දොළසත් ගැන පානම් පත්තුවේ ජනතාව අතර අපූරු ජනප්‍රවාද පවතී. අනුහස් ඇති දෙවියකු ලෙස විශ්වාස කරන කතරගම දෙවියන්ට ඇති නැති කවර බැතිමතකු වුව පුදපූජා කරන අතර තුටු පඬුරු පුදදෙති. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු විසින් පූජා කළ බව කියන පවුම් 38ක රන් තැටියක් අස්ථානගතව ඇතැයි වාර්තා වූයේ පසුගිය දිනකය.

2019 වසරේ ජූලි මාසය කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර පැවැත්වූ සමයයි. එම කාලය තුළ පූජාභූමිය වෙත නන්දෙසින් පැමිණි බැතිමත්හු රාශියකි. පිට පළාතකින් පැමිණි යම් අයකු කතරගම දේවාලයේ කපු මහතා හරහා දේවාලයට වටිනා රත්තැටියක් පූජාකර තිබුණේ මේ අතරතුරය. දෙවසරකට ඉහත සිදුවීම එපමණකි. දැන් දින කිහිපයකට ඉහත තවත් කතාවකි. කතරගම අවට පදිංචි පුද්ගලයන් කිහිපදෙනකුට අයත් ෆේස්බුක් පිටුවල සංසරණය වෙමින් තිබූ සටහනකි. කතරගම දේවාලයට පූජා කළ පවුම් 38ක වටිනා රන් තැටියක් අතුරුදන් වීම හා ඊට සිදුවූයේ කුමක්ද? යන්න ලියැවිල්ලේ ප්‍රශ්න කර තිබිණ. එම රන්තැටිය 2019 වසරේ පූජා කරන ලද්දක් බවද සටහන් කර තිබී ඇත.

අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබූ එකී අභිරහස් තොරතුරු උපුටාගෙන කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා වෙත කෙනකු විසින් යොමුකර තිබුණේ පැමිණිල්ලක් වශයෙනි. බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා තනතුරට පත්ව ඇත්තේ 2020 වසරේදීය. ඒ අවස්ථාවේ ඔහු වෙත ලැබුණු දේවාලයේ භාණ්ඩ ලේඛනය තුළ එවැනි රත්තැටියක් සම්බන්ධව සඳහන්ව නොතිබිණ. එවැනි රන් තැටියක් ඔහු දැක නොතිබූ හෙයින් ඊට අදාළ තොරතුරු වාර්තාකර තිබුණේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙතය. එය පසුගිය ඔක්තෝබර් 17 වැනිදා පමණ සිදුකළ එකකි. ඒ අනුව පවතින නීතිය අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා උපදෙස් දී තිබුණේ වහාම සිදුවීම පොලීසිය වෙත පැමිණිලි කරන ලෙසය. එහිදී රන් තැටිය අතුරුදන් වීම පිළිබඳව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකර ඇත.

එම විමර්ශන ආරම්භ කර තිබියදී කතරගම දේවාලයේ කපු මහතකුගේ ඥාතියකු දේවාලය වෙත පැමිණ “මේක ලොකු කපු මහත්තයා දුන්නේ.... පරිපාලන ලේකම්තුමාට බාරගන්න කීවා.” යැයි කියා ඇත. එහිදී අදාළ අයට රන් තැටිය ලැබුණු ආකාරයත් නැවත රැගෙන ආ විදියත් ඇතුළු තොරතුරු සඳහන් කොට ඔහු වෙත රන්තැටිය දේවාලයට බාරගත් බවට ලියවිල්ලක් නිකුත් කර ඇත. එම අවස්ථාවේ ආරක්ෂක අංශයේ ගණකාධිකාරී, පරිපාලන ලේකම් ඇතුළු පිරිසක් එය විමසා බලා දේවාලයේ භාණ්ඩ ලේඛනයට ඇතුළත් කර ඇත. රන්තැටිය බාරදුන් තැනැත්තාද ඔහු විසින් බාරදුන් වගට ලිපියකින් දන්වා පිටව ගොස් තිබුණි. අනතුරුව රන්තැටිය මුද්‍රා තබා දේවාලයට අයත් සේප්පුවට දැමීමට එම නිලධාරීන් පියවරගෙන තිබුණි. 

එම රන්තැටිය ග්‍රෑම් 200කට වැඩි බරකින් යුතු එකක් බව වාර්තා කෙරුණු අතර එම තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත දන්වා තිබිණ. ඒ අනුව එම රන් තැටිය දේවාලයෙන් අතුරුදන් වූ රන්තැටියද? නැතිනම් වෙනත් එකක්ද? යන්න සොයා විමර්ශනය කිරීම කොළඹ අපරාධ කොට්ඨාසයේ වගකීමය.

එම විමර්ශනය අනුව කියැවෙන්නේ 2019 ජූලි මාසය කතරගම දේවාලයේ පෙරහර පවත්වා ඇති බවය. 2019 ජූලි 3 වැනිදා එවැනි දිනයකි. කතරගම පූජා භූමියට නුදුරුව තිබූ රුවන් ගෙස්ට් හවුස් නැමැති නවාතැන් සපයන ස්ථානයකි. එදින නවාතැන් ගැනීම සඳහා එහි පැමිණි පවුලකි. එම පවුලේ පිරිස කිහිප දෙනෙක් වූහ. ඔවුන් අතර මැදිවියේ කාන්තාවක සිටියාය. අදාළ නවාතැන් පොළේ කෝකියා පූජිත් නැමැත්තෙකි. ඔහු හා කුළුපග වූ කාන්තාව ආගිය විස්තර කියන ගමන් “අපි හෙට උදේ දේවාලයට රන් තැටියක් පූජා කරනවා. ගෙදර හැමෝම ආවේ ඒකටයි.” කියා තිබිණි.

එහිදී කෝකියා “අනේ ඇත්තද? මම නම් එහෙම දෙයක් දැකලාවත් නෑ. දුප්පත් මිනිස්සු වෙච්ච අපිට ඕවා දකින්න කොහෙද වාසනාවක්? යැයි කියා ඇත. මේ කතාව අතරතුර එම කාන්තාව විසින් කෝකියා වෙත රන්තැටිය පෙන්වා පූජා භාණ්ඩයක් වශයෙන් වැඳ ආශීර්වාද ලබාගැනීමට සලස්වා තිබිණි. ඒ අතරතුර රන්තැටියේ ඡායාරූපයක් සිය ජංගම දුරකථනයෙන් ලබාගැනීමට කෝකියා පියවර ගෙන තිබුණි. එම සිදුවීමෙන් පසු දෙවසරක් පමණ ගත වී හමාරය.

කෝකියාට හිතවත් ප්‍රදේශයේ තවත් නවාතැන් පොළකි. එම ස්ථානය කතරගම පිහිටි තවත් දේවාලයක කපු මහතකුට අයත් බව කියැවේ. එහි සේවය කළ කෝකියාගේ පුරප්පාඩුවක් සඳහා පෙර කී කෝකියා එහි ගොස් තිබුණි. එහිදී දෙවසරකට ඉහතදී ලබාගත් ඡායාරූපය පෙන්වා විස්තර කියා තිබුණේ පත්තිනි දේවාලයේ කපු මහතා වෙතය. ඒ අනුව එම පුද්ගලයාට ඇති හැකියාව මත අදාළ රන්තැටිය දේවාලය සතුව ඇතිදැයි පරීක්ෂාවට ලක්කර ඇත. අදාළ රන්තැටිය දේවාලයට පූජා කිරීම සත්‍ය වුවද මෙතරම් වටිනා රන්තැටියක් පරිත්‍යාග කළේ කවරෙක්ද? කුමන අරමුණක් අරභයාද? යන්න සඳහනක් හෝ වාර්තාවක් කතරගම දේවාලයේ ලේඛනගතව නොතිබුණි. 

මෙතරම් වටිනා භාණ්ඩයක් දේවාලයට පූජා කිරීම එම බැතිමතුන්ගේ හැකියාව මත කළ එකකි. නමුත් එම භාණ්ඩය බාරගැනීම හා ඒ පිළිබඳව සටහන් නොතැබීම වංචාවකි. එය සිතාමතා කළ  දෙයක් බවද පැහැදිලිය. කතරගම දේවාලයේ රාජකාරි කරන කපු මහත්වරු 15 දෙනෙක් සිටිති. සියලුදෙනා ඒකරාශි වී තුණ්ඩ ඇදීම හරහා එක් කපු මහතකුට මාසයක් වශයෙන් වසරේ මාස කිහිපය බෙදාගන්නා බව කියති. ඒ අනුව දේවාලයේ රාජකාරි සිදුකරති. මේ ආකාරයට දේවාලයට මාසිකව ලැබෙන ආදායම මිලියන 50 ඉක්මවන බවද වාර්තා වේ. ඊට අමතරව දේවාලය සතු අක්කර 35,000ක ඉඩම්වලින් විශාල ආදායමක් ලැබෙන බව කියති. ඒ අනුව කපු මහත්වරු ඇතුළු පාලනාධිකාරිය දේවාලයේ වත්කම පමණක් නොව සෙසු ඉඩම් දේපළවලද පරිපාලනය සිදුකළ යුතුය.

කතරගම බලමහිමය පිරුණු පින්බිමකි. දේවාලය ඇතුළත ආවතේව සඳහා රන් භාණ්ඩ ප්‍රයෝජනයට ගත්තත් මෙතරම් මිල අධික භාණ්ඩ දේවාල උදෙසා පරිත්‍යාග කිරීම කළ යුත්තක්දැයි ජනතාව ප්‍රශ්න කරති. පින් රුස්විය යුතු තැන මිල අධික වස්තුව ගොඩගැසීම අන්ධ භක්තිය නිසා සිදු කරන්නේද? බුද්ධිමත් බැතිමත්හු ප්‍රශ්න කරති.

මේ හරහා තවදුරටත් විවිධ මට්ටමින් වංචාවන් සිදුවීමට හැකිය. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු දේවාල පරිහරණය බාර නිලධාරීන් මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය. අතුරුදන් රත්තැටියේ නියම බර, කැරට් ප්‍රමාණය හෝ මිල පිළිබඳව ස්ථීර තක්සේරුවක් ලැබී නැත. තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.

 සමන්ත විල්තෙර

කතරගම දේවාලයේ ප්‍රධාන කපුමහතා වන සෝමපාල ටී. රත්නායක මහතා මාධ්‍යයට කී කතාව

“දේවාලයෙන් අස්ථාන ගතවූ බව කියන රන් තැටිය මගේ ගෙදර තිබිලා වෙනත් කෙනෙකු මාර්ගයෙන් දේවාලයට බාරදුන්නා කියලා පැතිරෙන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. කිසිම දවසක මම රන් තැටියක් දැක්කේ නෑ. මේ වංචාව කරපු කෙනෙක් වරද මගේ පිටින් යවන්න හදනවා. රන් තැටියක් පිටස්තර කෙනෙකු අත යවන්න මම මෝඩ නෑ. තිබුණා නම් මමයි ගිහින් බස්නායක නිළමෙතුමාට බාරදෙන්නේ. මේක බාරදීලා තියෙන්නේ දේවාලයේ ගබඩා බාරකාර කපු මහතාගේ මල්ලියි. අදාළ අයට එරෙහිව මම නීතිය පියවර ගන්න කතරගම පොලීසියට පැමිණිලි කළා. රහස් පොලිසියටත් පැමිණිලි කරනවා. රන්තැටිය හැදුවේ කවුද පූජා කළේ කවුද කියලා හොයන්න කියලා. දේවාලයට අයිති වස්තු ගබඩාබාර කපු මහතාට අයත් දේවල්. පරීක්ෂණවලින් පස්සෙ මෙහි සත්‍යය එළිවෙයි.