2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

අලි එලවන හඳන්කූර

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 103

පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවල සඳහන් වන්නේ අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට ශ්‍රී ලංකාව  බවයි. වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272ක් වන අතර අලි මිනිස් ගැටුමට මැදිවීමෙන් අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85කි. ගෙවුණු 2020 වසර තුළ ශ්‍රී ලංකාවේ අලි මරණ 327ක් සහ මිනිස් මරණ 113ක් වාර්තා විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ 2019 දීය. එම වසරේදී අලි 407ක් සහ මිනිසුන් 122ක් මරණයට පත්ව තිබේ. 2011 වසරේ පැවැත්වූ අලි සංගණනයට අනුව ලංකාවේ අලි ගහනය 5879කි. දිස්ත්‍රික්ක 19ක් තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 133ක දැනට අලි මිනිස් ගැටුම් වාර්තා වේ. 2021 වසරේ පළමු දින 68 තුළ වාර්තා වී ඇති අලි මරණ සංඛ්‍යාව පමණක් 61කි.

වෙඩි තැබීම, හක්ක පටස් තැබීම, විදුලිසැර යෙදීම, වස දීම ආදී ක්‍රමවලින් අලි ඝාතනයට ගොවීහු උත්සාහ කරති. දුම්රියේ වැදීම, වගා ළිංවලට වැටීම වැනි අනතුරු නිසාද අලි මරණයට පත්වෙති.
අලි මරාදැමීම නීති විරෝධී වුවත් වනාන්තරවලින් පිටතට පැමිණ ගම්වැදීම හේතුවෙන් අලි-මිනිස් ගැටුම් නිරන්තරයෙන් අසන්නට ලැබේ. ශ්‍රී ලංකාව තුළ අලි ඇතුන්ට දැඩි ගෞරවයක් පළකෙරුණද, ඇතැම් ගොවීන් එම සත්ත්වයින් දකින්නේ සිය වගා පාළු කරන, නිවාස කඩාබිඳ දමන සතුරන් ලෙසයි. අලි ඇතුන්ගේ මරණවලින් 85 සිදු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.

මේ නිසා විදුලි වැට අලි මිනිස් ගැටුම අධික පෙදෙස්වල ඉදිකර තිබුණත් වැට කඩාගෙන වගාබිම් ආක්‍රමණයට සමහර අලි දක්ෂය. ගිනි මැල පත්තු කිරීම, අලි වෙඩි සහ රතිඤ්ඥා පත්තු කිරීමද අලි පලවා හැරීමට ගොවීහු යොදා ගනිති. පසුගියදා වාර්තා වුණේ අලි එලවන්න භාවිත කළ හැකි අපූරු හඳුන්කූරක් ගැනයි.

සුවඳ විහිදුවන හඳුන්කූර අපේ ජීවිතයට ඉතා සමීපය. පූජනීය ස්ථානවල සුගන්ධය පතුරන හඳුන්කූර ඉදිරියේදී වනාන්තර අසල අලි මංකඩවල පත්තු කිරීම සිදුවන්නට ඉඩ ඇත. ඒ සුවඳ දුම් පූජාවක් වශයෙන් නොව අලි එලවීම සඳහාය. මෙතෙක් අලි වෙඩි, ගිනි අවි, හක්කපටස් වැනි හිංසාකාරී භාණ්ඩ යොදාගනිමින් වන අලි ඝාතනය කරමින්  සිදුවන අලි–මිනිස් ගැටුම හඳුන්කූරකින් මෙල්ල කිරීමට හැකි වුවහොත් එය අපූරු සිද්ධියක් වනු ඇත.

නිවෙස්වලට පහරදීම, නිවෙස්වල අටුවල ගබඩා කර තිබෙන වී කෑම වැනි දේවලට පුරුදු වී සිටින වන අලින් අලුතින් සොයාගත් මෙම හඳුන්කූරෙන් නිකුත් වන සුවඳට අකමැත්තක් දක්වන බවත් එම සුවඳින් අලින්ගේ ඉවට බලපෑම් එල්ලවන බවත් සොයාගෙන තිබේ. මේ නිසා අලින්ට වී හා වෙනත් බෝගවල ආඝ්‍රාණය වැළැක්වෙන අතර ඒ නිසා අලි නිවෙස්වලට පහරදීමට නොපැමිණ නිවෙස්වලින් බැහැරට ගමන් කරන බවට මෙතෙක් කරන ලද පර් යේෂණවලින් තහවුරු කරගෙන තිබේ.
පෞද්ගලික සමාගමක් මගින් නිෂ්පාදනය කරන ලද මෙම හඳුන්කූර දැල්වෙන්නේ පැය එකහමාරක පමණ කාලයකි. පසුගියදා දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන තිරසර ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේදී හඳුන් කූරේ දැල්වෙන කාලය දීර්ඝ කරගැනීම සඳහා තවදුරටත් අත්හදාබැලීම් සිදුකෙරෙන බව පැවසිණි. එහිදී මෙම නිෂ්පාදනය ගැන පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. 
පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණි. එහිදී ප්‍රධාන මාතෘකාව වූයේ වන සතුන්ගෙන් වන හානි මෙන්ම වන අලි  නිවාසවලට පහරදී සිදුකරන විනාශය වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනයි. වන සම්පත් අමාත්‍යංශය ඒ ගැන ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු විය. 

වනජීවීන් ආහාර බෝගවලට සිදුකරන විනාශයද මෙහිදී සාකච්ඡා වූ කරුණකි. ගොවීන් විසින් වගාකරනු ලබන ආහාර බෝගවලින් වාර්ෂිකව සියයට 40කට ආසන්න ප්‍රමාණයක් වනසතුන් විසින් විනාශ කරන අතර වැඩිම වගා හානියක් කරන්නේ වන අලින්ය.  මොණරු, රිලව්, වඳුරන්, දඬුලේනුන්, වල් ඌරන්, ඉත්තෑවන් වැනි සතුන්ද වගා විනාශයට දායක වන බව හෙළි විය.
අලි පළවා හැරිය හැකි හඳුන්කූරු විශේෂය ගැන පසුගිය වර්ෂ දෙක තිස්සේ අත්හදා බැලීම් සිදුකර තිබේ. අලි මිනිස් ගැටුම අධික වයඹ පළාතේ නිකවැරටිය හා ගල්ගමුව යන ප්‍රදේශ ආශ්‍රිතව වනජීවී නිලධාරීන් විසින් එය ගොවීන්ට බෙදාදී අත්හදා බැලීමේ පර්යේෂණ සිදුකරමින් තිබේ.

සාමාන්‍යයෙන් අලියෙක්‌ දිනකට කි.ග්‍රෑ 150ක පමණ ආහාර ප්‍රමාණයක්‌ ගන්නා අතර දිනකට පැය 17-19 අතර කාලයක්‌ ඒ වෙනුවෙන් වැය කෙරේ. ආහාර සොයා යන උන් සාරවත් වගාබිම් මෙන්ම වී ගබඩා කර ඇති නිවෙස් ද ආක්‍රමණය කරති. මෙසේ නිවෙස් සොයාගෙන අලින් පැමිණීම වළක්වාලීම වෙනුවෙන් සකසන ලද හඳුන්කූර මීටර් 20ක් පමණ දුරට දුම විහිදුවමින් ආරක්ෂාව සලසන බව නිෂ්පාදකයෝ පවසති. 

‘අලියා’ යන නමින් හඳුන්වා දෙන මෙම නිෂ්පාදනයේ අලින් අකමැති සුවඳ වර්ග 5ක් ඇතුළත්ය. ඉඟුරු, සේර, පැඟිරි, ගං‍ කොලන් (පැචෝලි), සහ පැල්මාරෝසා යන ශාකසාර ඒවා වේ. අඟල් 12ක දිගකින් යුත් හඳුන්කූර, මිලිමීටර් 3ක විෂ්කම්භයක් සහිතය. සාමාන්‍ය හඳුන්කූරක දුම විහිදීම අවිධිමත් ආකාරයට සිදුවන නමුත් මෙම හඳුන්කූරට පොළවට සමාන්තරව තිරස්ව දුම පතුරුවාලන්නට හැකියාව තිබෙන නිසාම මීටර් 20ක් තරම් දුරක් ආවරණය කිරීමේ හැකියාව සහිත බව පැවසේ.

බුද්ධි‍මත් බව මෙන්ම මතක ශක්තිය අතින්ද අලියා ඉහළ තැනක සිටින බව හෙළිවී තිබේ. අලි ඇතුන් නම් දරන තවත් දෙයක් වන්නේ ගන්ධ සංවේදීතාවයි. තමන්ගේ රංචුවෙන් අතරමං වූ අලි හොඬය ඉහළට ඔසවා මඟහැරුණු රංචුවේ ගන්ධය පරීක්ෂා කිරීම සිදුවේ. එම ගන්ධ සංවේදීතාව යොදාගෙන මෙම හඳුන්කූර නිපදවීමේ අදහස පහළ වී තිබේ. මෙහි අත්හදා බැලීම්වලින් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතින බව වාර්තා වේ.

මේ ගැන විමසූ විට ඒකාබද්ධ වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඒ.ජේ.ඩී.කේ. තෙන්නකෝන් පැවසුවේ තමන් මේ ගැන දැනුම්වත් නැති බවත් හඳුන්කූරකින් අලි එලවිය හැකිනම් එය පුදුමයක් බවත්*ය.

 රොහාන් දේවරාජ්

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00