2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

වටමේසයෙන් අලුත් සන්ධානයක්!

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 22

මේ දවස්වල රටට පමණක් නොව පක්ෂවලටද අපල කාලයක් උදාවී ඇත. ශක්තිමත්යැයි පෙනෙන පක්ෂ බොහොමයක් තුළ අභ්‍යන්තරයේ අවුල්ය. අවුල් පමණක් නොව කැරලිය. එහෙත් රටට ලෝකයට පෙනෙන්නට එම පක්ෂ සමාජය ඉදිරියේ නොයෙකුත් සටන්වලය. ජනතාවට පොරොන්දු පිට පොරොන්දුය. එහෙත් අළු යට ගිනි පුපුරුය.

ආණ්ඩුවේ සහයෝගී පක්ෂ කිහිපයක් විසින් මාසිකව සූදානම් කළ වට මේස සාකච්ඡාව මේ වන විට ළඟ ළඟ පවත්වන තැනට පත්ව ඇත. ආණ්ඩුවේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් ඔවුහු මෙම වට මේස සාකච්ඡාව තුළ විවිධ සංවාද විසංවාද කරමින් ආණ්ඩුව හරි මඟට ගැනීමට උත්සාහ කරන බව ආරම්භයේදී පැවසූහ. එහෙත් දැන් දැන් එම සාකච්ඡා වෙනම දිශානතියක් කරා යමින් පවතින බව දැනගන්නට ලැබුණේ පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කළ ප්‍රකාශය හේතුවෙනි. ඔහු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත් අලුත් සන්ධානයක් ආරම්භ කරන බවට කිහිප වතාවක් ශ්‍රීලනිපය කීවද එය දිනෙන් දින කල් මරන්නට වූයේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් එල්ල කරන ලද විරෝධය මතය. එවැනි ආරංචි ලද සැණින් ශ්‍රීලනිපයෙන් ඒ සම්බන්ධයෙන් විමසා සිටියත් එවන් අවස්ථාවල ශ්‍රීලනිපයේ ඇතැම් පිරිස් එම තොරතුර අසත්‍ය බව කීහ. එපමණක් නොව දයාසිරි ජයසේකර මහතා පවා කීවේ එවැනි අදහසක් නැති බවය. එහෙත් මෙවර එළිපිට කීවේ සන්ධානය නියත වශයෙන්ම බිහිවන බැවින් ඒ ගැන බව අමුතුවෙන් කිවයුතු නැති බවකි.

සන්ධානයේ ආරම්භය සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාද අකමැති බවට ප්‍රචාරය ගියද පක්ෂ අභ්‍යන්තරයෙන් දැනගන්න ලැබුණේ ඒ සඳහා වැඩිම කැමැත්ත ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට බවයි. පසුව දයාසිරි ජයසේකර සහ පසුගිය මහ මැතිවරණයේ නාමයෝජනා නොලැබුණු පිරිස් සහ පළාත් පාලන නියෝජිතයන් මෙම අලුත් සන්ධානය ගැන ඉතාම ඕනෑකමින් කටයුතු කරන බව දැනගන්නට ඇත. එහෙත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුගේ මතය වූයේ මුලින් ආණ්ඩුවේ එකට අසුන්ගෙන පසුව මේ ආකාරයෙන් පක්ෂ සැදීමෙන් ශ්‍රීලනිපය සහ ආණ්ඩුව අතර වෙනම ප්‍රශ්නයක් ඇතිවිය හැකි බවය. එහෙත් මේ වන විට ඔවුන්ගේ මතය වෙනස් වී සන්ධානය සැදිය යුතු බවට තීරණය වී තිබේ.

මෙම අලුත් සන්ධානය සම්බන්ධයෙන් උත්තේජනය පැමිණියේ ආණ්ඩුවේ සහෝදර පක්ෂ එක්ව පවත්වනු ලැබූ වට මේස සාකච්ඡාව හරහාය. සාකච්ඡාව ආරම්භයේදී මෙම සන්ධාන යෝජනාව ඉදිරිපත් වුවද ඊට එම පක්ෂවල එකඟතාවයක් නොවීය. එහෙත් විමල් වීරවංශ මහතාට පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීවරුන් පිට පිට පහරදීමත්, උදය ගම්මන්පිල මහතාට පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් චෝදනා එල්ල කිරීමත් හරහා එම පක්ෂවල ආශිර්වාදය ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත පිහිටුවීමට ලැබුණු බව සඳහන්ය. එය සන්ධානය සඳහා එකතු වනවාද නැද්ද යන්නට සහතිකයක් නොවේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතාගෙන් විමසීමක් කළ විට ඔහු සඳහන් කර සිටියේ මේ සඳහා ආණ්ඩුවේ සහෝදර පක්ෂවල එකඟතාවයක් ඇතිවී ඇති බවකි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණක් නොව පොදුජන පෙරමුණද මේ යටතේ බලාත්මක කිරීමට තීන්දු කර ඇති බව දැනගන්නට තිබේ. මේ සියල්ල සඳහා ආණ්ඩුවේ සහෝදර පක්ෂ බහුතරයක් කැමැත්ත පළ කර ඇත. ඊට අමතරව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීම සඳහා සහයෝගය දැක්වූ සංවිධාන 48න් 40ක්ම අලුත් සන්ධානය සඳහා සහයෝගය දීමට එකඟත්වය පළ කර තිබේ. ඒ අනුව නුදුරු දිනකදී එක්සත් ජනතා නිදහස් සන්ධානය (බුලත් කොළය) හා පොදුජන පෙරමුණ (පුටුව) කලඑළි බස්සවන්නට යන්නේ අලුත් මුහුණුවරකින් බව දැනගන්නට තිබේ.

ශ්‍රීලනිපය අභ්‍යන්තරය එසේ සංවිධාන ගතවන විට සමගි ජන බලවේගයේ ඉරණම ඉතාම තීරණාත්මක තැනකට තල්ලු වෙමින් ඇති බව පෙනේ. ඒ එම පක්ෂයේ පාර්ලිමේතු මන්ත්‍රීවරයකු වූ චමින්ද විජේසිරි විසින් ප්‍රසිද්ධියේ සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කිරීම නිසාය. ඔහු සඳහන් කර සිටියේ ආණ්ඩුවේ වැරදි විවේචනය කරමින් කොරෝනා මළමිනී විකුණමින් තවදුරටත් සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන්නේ නම් එය වැරැද්දක් බවය. ජනතාවට අවශ්‍ය රටේ ඉදිරි සැලසුම බවය. කෙසේ වෙතත් මෙම කතාව සමඟ යම් එකඟතාවයකට පැමිණිය හැක. එනම් ජනතාව බලාපොරොත්තු වන්නේ මේ අවස්ථාවේ ආණ්ඩුවේ වැරදි විවේචනයකට වඩා රටේ ඉදිරි දැක්මක් පිළිබඳ බලාපොරොත්තුවකි. එය විපක්ෂය විසින් ජනතාවට දිය යුතු වුවද තවමත් විපක්ෂය සාම්ප්‍රදායික දේශපාලන වළල්ලේ කැරකෙන බොහෝ දෙනාගේ මතය වී තිබේ.

මේ කාරණය සම්බන්ධයෙන් අද වන විට ජනතාවගේ පමණක් නොව විපක්ෂය අභ්‍යන්තරයෙන්ම ක්‍රමයෙන් විරෝධතා පැමිණෙමින් තිබේ. එයට හේතුව වී ඇත්තේ විපක්ෂය තමන්ගේ දැක්ම වෙනුවට ආණ්ඩුවේ විවිධ ප්‍රශ්න මත දුවන තත්ත්වයක පසුවන බැවිනි. එනිසා විපක්ෂයේ භූමිකාව සම්බන්ධයෙන් චමින්ද විජේසිරිට පමණක් නොව හේෂා විතාන, පාඨලී චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු යන අයට පවා ගැටලුවක් පැන නැගී ඇති බව දැනගන්නට තිබේ.
මෙකී තත්ත්වය මැද විපක්ෂයේ යම් බෙදී යාමක් දැකීමට හැකිවුවත් විපක්ෂය කඩාගෙන එළියට යාමට කිසිදු අයකුගේ අරමුණක් නැත. එහෙත් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් එජාපය පිරිස බාගන්නට විවිධ උපක්‍රම යොදමින් සිටින බව දැනගන්නට ඇත. එහෙත් ඊට එම පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගේ කැමැත්තක් නැති බවද පැවසේ. මේ තත්ත්වය දෙස ඉතාම සංයමයෙන් බලා සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස වී ඇත්තේ තමන්ට අපහාස කරන්නන් සහ විවේචනය කරන්නන් සම්බන්ධයෙන් වැඩි තැකීමක් නොකරන බවකි.

මේ අතර සමගි ජන බලවේගයද අලුත් සන්ධානයක් සැකසීම සඳහා මේ වන විට සූදානම් වෙමින් ඇතැයි පැවසේ. ඒ පළාත් පාලන ඡන්දය අරමුණු කරමිනි. එහෙත් ඒ සඳහා පක්ෂ අභ්‍යන්තර කැමැත්ත තවම විමසා නැති බවද දැනගන්න තිබේ. මේ සම්බන්ධයෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරයකු වූ රාජිත සේනාරත්න පවසා සිටියේ පුළුල් සන්ධානයකින් ඔවුන් තරග වදින බවය. කෙසේ වෙතත් මේ සියල්ල තවම සාකච්ඡා මට්ටමේ පවතින බවද පැවසේ. එනිසා මේ සියලු කතාවල ක්‍රියාකාරීත්වය දැකගැනීමට හැකිවන්නේ එළඹෙන මැතිවරණයට සියලු දෙනාගේම සූදානම අනුවය.


 ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00