2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

වසංගතය නිමාකරන විස්මිත බෙහෙක් කරල !

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 29

ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 24ක් කරා ළඟා වී තිබේ. ඒ අතර පැතිර ගොස් ඇත්තේ කොවිඩ් මර්දනයට සමත් බෙහෙත් කරලක් ගැන සුබ ආරංචියකි. ලොව පළමු කොවිඩ් බෙහෙත් කරල වන මෙය හඳුන්වාදීමත් සමඟ වසර 100කට පසු පැමිණි මහා වසංගතය සාර්ථක අවසානයක් කරා ළඟා විය හැකි බවට මතයක් තහවුරු වෙමින් ඇත.

අමෙරිකානු සමාගමක් හඳුන්වාදී ඇති මේ කරල දැනටමත් ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව,  මැලේසියාව, තායිලන්තය, තායිවානය සහ දකුණු කොරියාවද ඇතුළු රට - රාජ්‍ය රැසක්ම ඇනවුම් කර හමාරය.
ඖෂධ රසායණිකව Molnupiravir ලෙස නම් කර ඇති එම ඖෂධය, නියාමන බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ ලොව පළමු කොවිඩ් මර්දන ඖෂධ කරලයි. කොවිඩ් ආසාදිතයින් රෝහල්ගතවීම සහ මරණ සැලකිය යුතු ලෙස අඩු කිරීමට මෙම ඖෂධයට හැකියාව ඇති බව විශේෂඥයෝ කියති. තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම්ද අවසන් කර ඇති මොල්නුපිරාවියර් හදිසි භාවිතයට සුදුසුද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය සිය නිර්දේශ ලබාදෙන්නටත් පෙර තායිලන්තය ඇතුළු ආසියානු රටවල් කිහිපයක්ම මෙය සිය රටවල් කරා ගෙන්වා ගැනීමට මුල් පියවර අරඹා හමාරය.

අඩු ආදායම් හෝ මැදි ආදායම් රටවලට කොවිඩ් මාරකයෙන් ගැලවීමට ලැබුණු දිව්‍ය ඖෂධයක් හැටියට මේ කරලට දැනටමත් පිළිගැනීමක් ලැබී තිබේ.

දැනට කර ඇති මූලික පර් යේෂණ මගින් දැනට ඇති ඩෙල්ටා ඇතුළු සියලුම මාදිලිවලට එරෙහිව ක්‍රියාත්මකව මරණය සහ රෝහල් ගතවීම සියයට 50කින් වැළැක්වීමට මේ කරලට හැකිය. එසේම අතුරු ආබාධ ඇතිවීමේ ප්‍රවණතාව සියයට 1.3ක් තරම්ය.  මෙතෙක් භාවිතයට වරින්වර පැමිණ ඇති විවිධ කොවිඩ් ඖෂධ ලබාදීම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සිදුවූයේ රෝහලක් තුළ වෛද්‍ය අධීක්ෂණයක් යටතේය. ඒ හේතුවෙන් වෙනත් රෝගීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල පවා රෝගයට ගොදුරු වීමේ අවදානම පැවතුණි. නමුත් මෙම නව කරල වෛද්‍ය උපදෙස් අනුව, නිවසේදී පවා, භාවිතයට ගතහැකි බවට ඇති ආරංචිය නිසා ඒ පිළිබඳ බලාපොරොත්තු ඉහළ ගොස් ඇත. එම කරල් දිනකට දෙක බැගින් දවස් 5ක් වැඩිහිටි රෝගියෙක් ගතයුතු බවට නිර්දේශ වී තිබේ. ඒ සඳහා වැයවන මුදල දැනට භාවිත වෙනත් කොවිඩ් ඖෂධ සඳහා යන මුදලින් තුන්ගුණයකටත් වඩා අඩු බව කියයි.

ඔක්තෝබර් 01 නිෂ්පාදන සමාගම ඉදිරිපත්කළ දත්ත අනුව මෙම කරල මූලිකව ලබාදුන් ආසාදිතයන් 385ක් අතරින් රෝහල් ගතවීමට තරම් රෝග ලක්ෂණ ‌පෙන්වා ඇත්තේ 28 දෙනෙකු නැතිනම්  සියයට 7.3ක් පමණක් බව වාර්තාවේ. කරල ලබාදුන් අය අතරින් මරණ වාර්තා වී නැත. කෙසේ වුවද මෙය හඳුන්වා දී ඇත්තේ තාමත් පර් යේෂණ මට්ටමේ ඇති ඖෂධයක් හැටියටය. ඒ පිළිබඳව මහා පරිමාණ  
පර්යේෂණවල අවශ්‍යතාව දැඩිව පවතී.

මුලින් ඉන්ෆ්ලූවෙන්සාව සඳහා ප්‍රතිකාරයක් ලෙස නිපදවන ලද මේ ‌ඖෂධ රසායනය SARS-CoV-2, වෛරස තුළ ඇති ආර්.එන්.ඒ. අනු විකෘති කර එම වෛරසවල ඉදිරි පරම්පරා සෑදීම වළක්වා එය පැතිරී යාම ට හරස්වන බව තහවුරු වූ එකකි. මේ ක්‍රියාදාමය මාරක විකෘති ජනනය - "lethal mutagenesis” හැටියට වෛරස විද්‍යාඥයෝ හඳුන්වා දී තිබේ. තේරෙන බාසාවෙන් කිවහොත් මෙහිදී වෛරස ජානවල සාමාන්‍ය ක්‍රියාවලිය අවුල් කර දැමීමටත් ඒ මගින් ඉදිරි පරම්පරාවන් ජනනය වැළැක්වීමටත් මෙය ක්‍රියාත්මක වෙයි. මෙය ඇටිලන්ටාහි පිහිටා ඇති ඒමෝරි සරසවියේ පර් ෙය්ෂකයන්ගේ සොයාගැනීමක් වන අතර නිව්ජර්සියේ මූලස්තානය සහිත මර්ක් සමාගමේ සහ මියාමියේ Ridgeback Biotherapeutics සමාගමේ හවුල් නිෂ්පාදනයකි. මෙහි මූලික ඖෂධ තොගය ලෙස මිලියන 10ක් මේ වසර අග වනවිට නිකුත් කිරීමටත් ඉතිරිය ඉදිරි 2022 වසරේදී ලබාදීමටත් සමාගම් බලාපොරාත්තු වෙති කෙසේ වුවද මේ ඖෂධය පැමිණිමත් සමග එන්නත්වල අගය පහත වැටීමක් සිදු නොවන අතර වෛරසය සඳහා වඩාත් විශිෂ්ට පිළියම ලෙස එන්නත සඳහා ඇති ඇගැයුම එසේම පවතින බව විද්වත්හු පෙන්වා දෙති.

 සුගත් පී. කුලතුංගආරච්චි