2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

හොඳ විපක්ෂයකින් යහපත් ආණ්ඩුවක්

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 28

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හොඳ පාලන ක‍්‍රමයකි. රටවල් විශාල ප‍්‍රමාණයක ක‍්‍රියාවට නැංවේ. ඇතැම් දුර්වලතා තිබේ. සමහර රටවල ක‍්‍රමයෙහි වෙනස්කම් ඇත. ව්‍යවස්ථාව ප‍්‍රධාන අංගයකි. ජනතාවගේ ඡන්දයෙන් මහජන නියෝජිතයෝ පත්කර ගැනෙති. බහුතර මහජන නියෝජිතයන් පිරිසක් පත්වෙන ජනතාව තෝරාගන්නා දේශපාලන පක්ෂයට හෝ පක්ෂ ගණනකින් සමන්විත කණ්ඩායමට ආණ්ඩු බලය ලැබේ. ආණ්ඩුවක් හදන්නට ප‍්‍රමාණවත් මහජන නියෝජනයක් රහිත දේශපාලන බලවේගය විපක්ෂය බවට පත්වෙයි. ජනතාව නියෝජිතයන් තෝරන්නේ විපක්ෂයේ අසුන් ගැන්නවීමට නොවේ.

විපක්ෂයටද කාර්යභාරයක් ඇත. පත්කරන ලද ජනතාවගේ අභිමතාර්ථ සාක්ෂාත් කළ යුතුය. බහුතර කැමැත්ත අහිමි වූ නමුත් විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමට ඡන්දය ප‍්‍රකාශ කරන ලද ජන කොටසටද අනාගතය ගැන බලාපොරොත්තු ඇත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කල්ලිවාදයක ලක්ෂණ පෙන්වයි. ආසියාවේ බොහෝ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය එම ලක්ෂණ දක්වයි. බලය ඇති කණ්ඩායම සිය පාක්ෂිකයන් බලාගන්නා අතර, ආණ්ඩු පෙරලා බලය ගන්නා තෙක් විපක්ෂ අනුගාමිකයෝ බලා සිටිති. තමන්ට වැඩක් කරගන්නට තමන්ගේ ආණ්ඩුවක් අවශ්‍ය කරන තරමට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ දුබල වී ඇති බව සඳහන් කළ යුතුය. 

• තීරණාත්මක අවස්ථාවක ආණ්ඩුවකට සහාය

ආණ්ඩු කිරීමේදී පමණක් නොව විපක්ෂයක් වශයෙන් ක‍්‍රියාත්මකවීමේදීද පුළුල් දර්ශනයකට අනුව කටයුතු කළ යුතුය. ජාතික ආපදා අවස්ථාවක එහි අවශ්‍යතාව දැනේ. කරන්නට බැරිනම් ආණ්ඩුව බාර දෙන්නැයි හඬක් නැගීම පහසුය. කිසියම් හේතුවකින් අර්බුදකාරී අවස්ථාවක ආණ්ඩු පෙරුළියක් සිදුවුහොත් කරගෙන ගිය පිළිවෙළ හැර අනෙක් ක‍්‍රමයක් නැති බව බලයට පත්වන අලුත් ආණ්ඩුවකට පවා ඒත්තු ගැන්වෙන කරුණකි. අනවශ්‍ය කලබැගෑනිවලට වන්දි ගෙවන්නේ ජනතාව බව මතක් කළ යුතුය. 1977 සිට බලයට පත් ආණ්ඩුවලට තිබෙන ක‍්‍රමය හැර වෙනස් ප‍්‍රතිපත්ති නොතිබුණි. ඇත්ත වශයෙන්ම නිදහස ලැබූ දින පටන් පැවැති ආණ්ඩුවලින් සමගි පෙරමුණ ආණ්ඩුවට හැර අනෙක් කිසිම අවස්ථාවක ප‍්‍රතිපත්තිවල මුලික වෙනසක් සිදුවී  නැත. පොදු පෙරමුණු ආණ්ඩුව ගෙනගිය තද ස්වදේශිකවාදී ප‍්‍රතිපත්තිවලට ජන සමාජයෙන් ලැබුණ ප‍්‍රතිචාරය වත්මන් පරපුර දන්නේ නැත. නමුත් ඉතිහාසය ගවේෂණය කරන පුරවැසියන්ට එහි දුෂ්කරතා ගැන කරුණු සොයා ගත හැකිය. රට ස්වයංපෝෂණය කරන වැඩපිළිවෙළ වැදගත් නමුත් තරගකාරීත්වයක් නොතිබුණ, නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොවූ අවස්ථාවක සාමාන්‍ය පාරිභෝගිකයෝ අසාමාන්‍ය හිරිහැරයකට ලක්වූහ.

ඉදිරිපත් කරන මුඛ්‍ය කාරණය ක‍්‍රමය ගැනය. ආණ්ඩුවට හෝ ආණ්ඩුව වෙනස්කර බලයට එන විපක්ෂයකට රට ගොඩනගන්නට අලුත් ව්‍යුහයක් අවශ්‍යය. එම දර්ශනය රහිතව කරන ඝෝෂාව අර්ථවිරහිතය. සැබෑ ජනබලයක් ගොඩ නොනැගෙන එකම හේතුව එය වන අතර ජනතාවට දැනෙන, තේරුම් ගත හැකි සැලැස්මක් අනාගත වැඩ පිළිවෙළක් තිබිය යුතුය. දැනට පෙනෙන එකම කාරණයක් තිබේ. ආණ්ඩුවකට කරන්නට දෙන්නේත් නැත. තමන් බලයට පැමිණියහොත් කරන ක‍්‍රමය ගැන අධ්‍යයනයක්ද නැත. මෑත කාලය තුළ සියලුම ආණ්ඩු, බලය අල්ලන ක‍්‍රමය හැර රටට වැඩකරන ක‍්‍රමය ගැන අධ්‍යයනයක නිරත නොවූහ. එහි ප‍්‍රතිඵලය දැන් අත්විඳිමින් සිටී. කණ්ඩායමක්, සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් නගන යම් යම් අදහස් අනුව න්‍යාය පත‍්‍රය වෙනස් කෙරේ. කරන්නට ඉලක්ක කරන්නේ එකක්ය. අවසානයේ හැදෙන්නේ වෙනත් පිළිවෙළක් වන අතර එය රටටත් ජනතාවත් පලක් නැති එකකි. පසුගිය කාලයේ සිට ජනතාව ඉල්ලා සිටියේ තද පාලනයකි. එයින් අදහස් කළේ මිලිටරිකරණයක් නොවේ. කියන දේ කරන, කරන දේ හරියට කරගෙන යන ආණ්ඩු ක‍්‍රමයකි.

• වැඩකරන රටක් හදන සැලැස්ම 

වත්මන් ආණ්ඩුවට බලය ලැබුණේ මහජන ජනවරමකින් බව අමතක කළ යුතු නැත. වැඩකරන රටක් හදන්නටය. ජනතාව ඉල්ලා සිටියේ වැඩකරන මිනිහෙකි. එයින් අදහස් කළේ මොනවා හෝ සංවර්ධනයක් බව අමතක කළ යුතු නැත. කොවිඩ් වසංගත තත්ත්වය රටට දරුණු බලපෑමක් කළ බව රහසක් නොවේ. එහෙත් ජනතා අභිලාශය යටපත් වී නැත. මිනිසුන් බලා සිටින, ජනතාව ඉල්ලන අලුත් පිළිවෙළ රටට අවශ්‍යය. එය සාධනීයව ක‍්‍රියාවට නැංවෙන තෙක් ජනතාවගේ විශ්වාසය තහවුරු නොවේ. දරුවන් වෙනත් රටක පදිංචියට යවා දෙමාපියන් සැනසෙන ක‍්‍රමයක් අද තහවුරු වෙමින් තිබේ. එය ආණ්ඩුවකට පමණක් නොව විපක්ෂයකටද ලජ්ජාවට පත්විය යුතු කරුණකි. 

ඉතිහාසයේ සිට අද දක්වා මතක ඇති ප‍්‍රධාන සිද්ධි දෙස බලන්න. දූෂණය, වංචාව වෙනම පැත්තකි. සංවර්ධන සැලසුම් හෙළා දැක තිබේ. ඉරණමඩු ඇමරිකානු කඳවුර ගැන ආන්දෝලනයක් තිබුණි. දැන් ඇමරිකාව එතැන බාරදී ආපසු පිටත්ව ගොස් තිබේ. එම ස්ථානය කොවිඩ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකි. කණ්ඩලම අද ලෝකයේ හොඳම පාරිසරික හෝටලයකි. ඇඟළුම් කම්හල් හදන විට තද විරෝධයක් තිබුණි. ඇඟළුම් කම්හල් නොතිබුණි නම් අද රටට අත්වන ඉරණම බරපතලය. අධිවේගී මාර්ග සම්බන්ධයෙන් මහ පොළොවේ හැපුණු පිරිස් අද එතැනින් වැඩිම ප‍්‍රයෝජන අත් විඳිති. මහවැලිය හදනවිට එය මහා විනාශයකි. එහෙත් රටට කෘෂිකර්මයත්, විදුලියත් ලැබී තිබේ. නොරොච්චෝලේ බලාගාරය තැන් ගණනාවකට ගෙන ගියේය. කිසිම තැනකින් ඉඩක් ලැබුණේ නැත. රට පුරා විරෝධය ඇවිලිනි. බලහත්කාරයෙන් මෙන් නොහැදුනානම් අද රට අන්ධකාරයේ බව මතක් කළ යුතුය. යුද්ධය ගැනද එහෙමමය. කතා සාප්පුවලට  ඕනෑතරම් අදහස් තිබුණි. තීරණයක් ගන්නට ඉඩ දුන්නේම නැත. රට තුළ පමණක් නොව රටින් පිට පවා විරෝධතා, මානව හිමිකම් ප‍්‍රශ්නවල උල්පත රට තුළ නැති එකඟතාව බව අවධාරණය කළ යුතුය.

දැන් ජනතාව කල්පනා කළ යුතු කාලයකි. ලංකාව වැඩ කරන රටකට හැරවිය යුතුය. කොවිඩ් වසංගතයෙන් ගැලවෙන දිනයේ උග‍්‍ර තරගකාරී ආර්ථිකයක් ලෝකයේ ඇතිවෙයි. ඇතැම් විචාරකයන්ට අනුව තාක්ෂණය හා බලශක්ති අංශවලින් දැවැන්ත පෙරුළියක් සිදුවනු ඇත. සුපුරුදු කෘෂිකර්මය, කර්මාන්ත හා සේවා හාත්පසින්ම වෙනස් මුහුණුවරකට පත්වන බව දක්වයි. තොග වෙළඳාම අහෝසි විය හැකිය. පාරිභෝගිකයෝ හා නිෂ්පාදකයෝ සෘජු සම්බන්ධතා බවට පවත්වනු ඇත. ගබඩා කිරීම යල්පැන ගිය සංකල්පයක් බවට හැරවේ. තෙල් ගබඩා සංකීර්ණ අවශ්‍ය වනු ඇත්ද යන්න බුද්ධිමතුන් කල්පනා කළ යුතු කාල වකවානුවකි.

• විරෝධාකල්ප ආන්දෝලනවලින් උගත් පාඩම්

මෑත කාලය ශ‍්‍රී ලංකා සමාජ දේශපාලන ව්‍යුහයේ අමතක නොවන කාල පරිච්ඡේදයකි. ජනතාව දැන දැනම රාත‍්‍රියේ වැටෙන වළක මහ දවල්ද ඇද දමන වකවානුවකි. උගුල අටවන්නේ සමාජ මාධ්‍යයි. ජනතාව කරන හුදු සමාජ මාධ්‍ය ඇවිලීම තමන්ගේම අවාසියට හේතුවන බව තේරුම් ගෙන නැත. යහපාලන ආණ්ඩුව හදන්නේ සමාජ මාධ්‍ය වලිනි. විරෝධතා රුල්ලකිනි. ඉතිහාසයේද ඒවාට සාක්ෂි තිබේ. පච පත්තර යනුවෙන් එකල හැඳින්වීමක් තිබුණි. එය තවත් වර්ධනය වූ අවස්ථාවකි. මේවායේ පැන නැගෙන අදහස් විචාරයකින් තොරව සමාජයට ඒත්තු ගැන්වෙයි. එය ආගමික, ජන වර්ග අතර පළුදු ඇති කරයි. ලෝක ප‍්‍රජාව එහි විපත දනී. ඇමරිකාව හා බි‍්‍රතාන්‍ය පාලකයෝ සමාජ මාධ්‍යවලට චෝදනා එල්ලකර ඇත. දැවැන්ත මාධ්‍ය ජාලා ඒවායේ වගකීම භාරගෙන තිබේ. නැති වියවුල් හදන්නට හේතු වූ බව පිළිගෙන සමාජලෝචනයට ගොස් තිබේ. එම සමාජ මාධ්‍ය ප‍්‍රචාරය ඔවුන්ගේ ව්‍යුහය විකල් කර ඇත. දැන් පවතින කොවිඩ් වසංගතය තුළ පවා බටහිර ඉතාම බුද්ධිමත් ඇතැම් පිරිස් එන්නත්කරණය පවා මහා අපරාධයක් බවටද මතවාදයක් ගෙන යන බව දැක්විය යුතුය. එහෙයින් ව්‍යාප්තිය දරුණු වී තිබේ. සිදුවීම් අවුලවන අතර එයින් ජගත් ප‍්‍රජාවට කිසිම හැඩයක් ලැබෙන්නේ නැත.

ශ‍්‍රී ලංකාවේ මෑත කාලයේ සිදුවූයේද එයමය. ජනතාව ආපසු හැරී බලනවිට මිත්‍යාවට ගොදුරු වී හමාරය. රාජපක්ෂ ආණ්ඩුව ගැන කියන ලද්දේ පමණක් නොව රනිල් මෛත‍්‍රී ආණ්ඩුව ගැන කියන ලද කතාන්දරවල පවා ඇත්ත වැටහෙනවිට ප‍්‍රමාද වී හමාරය. විරෝධාකල්පවලින් රටක් හදන්නට පුළුවන්කමක් නැත. විරෝධාකල්ප පමණක් නොසෑහේ. විකල්පද අවශ්‍යය. විලක්පයක් නොපෙන්වා කරන හැම දෙයක්ම වැරදි බව හිතන සමාජයකින් නැග්මක් අපේක්ෂා කළ නොහැක. අලුත් දෙයක් කරන්නැයි අපේ පැරුන්නෝ බලකළහ. වෙනස් වෙනස් දේ නොකළහොත් ගී ගයා මර ගී යැයි සඳහන් කළේ අත්දැකීම්වලින්ය. තිබෙන රාමුව වෙනස් කරන්නට ඉඩ නොදෙන, හරි දේ කරන අවස්ථාවක පවා එයට ඉඩ නොදෙන ප‍්‍රතිපත්ති වලින් ලැබෙන ප‍්‍රයෝජනය කුමක්ද? රනිල් මෛත‍්‍රී ආණ්ඩුවට වරාය හදන්නට ඉඩ නොදෙන බලවේග පසුව බලයට පත් වී එයම කරන්නට තීරණය කිරීම ප‍්‍රශ්නයකි. වරාය හදන්නට වත්මන් ආණ්ඩුව තීරණ ගන්නා අවස්ථාවේදී ඊළඟට බලයට එන්නට මාන බලන ආණ්ඩුව විරුද්ධවීම පසුපස ඇති හාස්‍ය ජනතාව තේරුම් නොගන්නේ ඇයි? දශක අටක් දේශපාලන සෙල්ලම්වලට හසු වී තිබේ. පේසාලේ තෙල් කතාව වැනිය. හැම ආණ්ඩුවක්ම කරගන්නට බැරි ව්‍යාපෘති ගැන මහා පුරාජේරු කතා කියමින් සිටී. මේවායෙන් සිදුවන අවාසිය රටට බරපතළ ආර්ථික හානියකි.

• විපක්ෂය තෝරා ගත යුතු මඟ

තීරණාත්මක අවස්ථාවක ආණ්ඩු පෙරළන්නට කලින් දෙවරක් හිතන්නට විපක්ෂය සූදානම් විය යුතුය. කුණාටුව මැද සුක්කානම ගැනීම වෙනුවට නැව බේරාගෙන පසුව කපිතාන් අදක්ෂයෙක් නම් පලවා හැරීමට ජනතාව පෙළගැස්වීම සුදුසුය. අද පවතින වසංගත කුණාටුව ලෝකය අර්බුදයකට තල්ලු කර තිබේ. නිෂ්පාදනය අඩාල කර ඇත. ජනතාව දුප්පත් වී තිබේ. ජාත්‍යන්තර වාර්තා අනුව දුප්පත්ම ජන කොටස මිලියන 150 කින් ඉහළ නැග ඇත. මෙම පිරිස ජීවත්වෙන්නට ආහාර ඉල්ලති. රුකීරක්ෂා ඉල්ලමින් පෙළ ගැසෙමින් සිටින බව වාර්තා වෙයි. සමාජ හා දේශපාලන අර්බුදයක් වළක්වා ගැනීමේ අරමුණ ඇති ජාත්‍යන්තර සංවිධාන ජගත් ප‍්‍රජාව වෙත හදිසි ආධාර නිකුත් කරන කාල වකවානුවකි. මෙහිදී සූක්ෂම පිළිවෙළක් අවශ්‍යය. විපක්ෂය සූදානම් විය යුතු ජනතාව දිනා ගැනීමට වන අතර ආණ්ඩුව දුර්වල කිරීමට නොවේ.

මෑත කාලය තුළ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ගත් තීරණවලට එක පෙළට සහාය දක්වන්නට විපක්ෂයට හැකියාව තිබුණි නම් එය ඉතා වැදගත්ය. එන්නත් ආනයනය කරන තැන සිට ඒවා ගෙන්වා එන්නත් කිරීම දක්වා මහත් විවේචනයක් කර තිබේ. රට තුළ ධනය නැති අවස්ථාවක මුදල් අච්චු ගැසීම හෝ පිටරටින් ආධාර ගැනීම යන දෙකම මහා විනාශ සේ හුවා දැක්වීය. වෙන කළ යුතු එකම දෙය ජනතාවට බදු පැටවීමය. බදු සමඟ එන ජනතා විරෝධයෙන් ආණ්ඩුව පලවා හැරීම වෙනුවට රටට සුදුසු ආර්ථික ක‍්‍රමයකට සහාය දී ජනතාව ආරක්ෂා කරගෙන බලය ගැනීම විපක්ෂ දේශපාලනය විය යුතුය. ප‍්‍රධාන විපක්ෂය පමණක් නොවේ. අනෙක් සියලු මහජන නියෝජිතයෝ වගකීමකින් ක‍්‍රියාකළ යුතුය. පසුගියදා ජනාධිපතිවරයා ඩයස්පෝරාවට ආරාධනය කළේය. එය සුදුසුය. ඔවුහු ශ‍්‍රී ලංකා අනන්‍යතාවයේ කොටසකි. විපක්ෂයටද මෙවැනි අවස්ථාවක් වෙන් කිරීම සුදුසුය. අභාග්‍යසම්පන්න වසංගතයෙන් ගැලවෙන යුගයක රට ගොඩනැගීමට සියලු පාර්ශව එකතු කරගත යුතුය. සෑම කණ්ඩායකමටම දක්ෂතාවයක් තිබේ. අවුරුදු ගණනක් කල් හැරිය යුතු යෝජනා නොවේ. ගමක් නගරයක් පක්ෂ දේශපාලනයෙන් බෙදා වෙන්කිරීම, පක්ෂ මතවාද ඇවිලවීම වෙනුවට අලුත් යුගයක් ඇති කරන්නට මහජන නියෝජිතයන්ට හැකිය. 

පොදු ජනතාවටද වගකීමක් තිබේ. ආණ්ඩුව හා විපක්ෂය රට වෙනුවෙන් තීරණ ගන්නා අවස්ථාවක් සූදානම් කළහොත් එය දේශපාලනයෙන් තොරව වටහා ගැනීමය. මෙරට ජනතාව පක්ෂ දේශපාලනයෙහි ගිලී ඇත. තමන්ගේ ආණ්ඩුවක් බලයට පත් කර රස්සාවක් ගැනීමේ සිට සියලු අවස්ථා හදා ගැනීමට මාන බලමින් සිටී. ආණ්ඩුව තමන් හදා තමන්ට වැඩකර ගැනීම වෙනුවට සමාජ සන්ධානයක් ගොඩ නගා ප‍්‍රතිපත්ති අනුව රට හදන මඟට අවතීර්ණවීම වැදගත්ය. මහජන නියෝජිතයන් එකට එකතු වී මහජනතාවට එකතුවන සේ බල කිරීම අවශ්‍යය.

 සාරා කන්දෙගොඩ