2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

කෝල් එකක් නිසා සී.අයි.ඩී.යට කැඳවූ නිරූපණ ශිල්පිනී චූලා

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 41

නොවිසඳුණු හා බරපතළ ගණයේ අපරාධ ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කෙරෙයි. එවැනි පැමිණිලිවල සාර්ථක විමර්ශන හා ප්‍රගතිය පිළිබඳ තොරතුරු වාර්තා කරයි. ඇතැම් චෝදනා ගැන විමර්ශන ඇරඹීමේදී විවිධ පාර්ශ්වවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරයි. නීතිගරුක පුරවැසියන් ඊට අවනතව කටයුතු කරන අතර එවැනි සිදුවීම් ඕනෑතරම් වේ. ප්‍රවීණ නිරෑපණ ශිල්පිනී චූලා පත්මේන්ද්‍රන් මහත්මියද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණ.

පසුගිය 2 වැනිදා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස චූලා පත්මේන්ද්‍රන් මහත්මියට දැනුම් දී තිබුණද එහි සැබෑ හේතුව මාධ්‍ය වෙත අනාවරණය වී නොතිබිණ. එහෙත් පසුව වාර්තා වූයේ ප්‍රසිද්ධ වෙබ් අඩවියක මාධ්‍යවේදියකු සමග පැවැත්වූ දුරකථන සංවාදයකට අදාළව කරුණු විමසීම සඳහා ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දක්වා ඇති බවකි.

මාස කිහිපයකට ඉහතදී කොළඹ නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේදී 2020 විවාහක රෑ රුජින තරගාවලිය පැවැතිවිණි. එහිදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් චූලා පත්මේන්ද්‍රන් මහත්මිය ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්විය. මෙම සිදුවීමෙන් පසුව මිසිස් ශ්‍රී ලංකා තරගාවලිය ලොවපුරා පුවත් සිරස්තලවලට තුඩු දුන්නේය. මේ සමඟ ඊට සම්බන්ධ වූ චූලා පත්මේන්ද්‍රන් ඇතුළු පිරිසට මාධ්‍යවලින් බේරීමට නොහැකි විය. ඒ අනුව දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් දුරකථනයෙන් අමතා තොරතුරු විමසා තිබුණි. චූලා මහත්මියද ඊට පෙරළා පිළිතුරු ලබාදී තිබුණි. එහෙත් කිසිදු මාධ්‍යවේදියකු පෞද්ගලිකව මුණගැසී සම්මුඛ සාකච්ඡා නොපැවැත්වූ බව චූලා පත්මේන්ද්‍රන්ගේ අදහසය.

කෙසේ වෙතත් චූලා පත්මේන්ද්‍රන් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ වෙබ් මාධ්‍යවේදියකු බව කියන අයකු හා දුරකථන සංවාදයක් පැවැත්වූ බව කියන සිදුවීමකටය. අදාළ මාධ්‍යවේදියා දුරකථනයෙන් ඇමතුවද කිසිදිනෙක ඔහු මුණගැසී නැති බවත් පෞද්ගලික දැන හැඳුනුම්කමක් නැති බවත් කියයි. එබැවින් මාධ්‍යවේදී කීර්ති රත්නායක යන අය සමග කළ දුරකතන සංවාදයක් සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න කිරීම අසාධාරණ බව ඇය පවසයි.

ඉකුත්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි චූලා පත්මේන්ද්‍රන් ඉන් පිටතට පැමිණි මොහොතේ මෙසේ මාධ්‍යයට අදහස් දැක්වූවාය.

&මාධ්‍යවේදියකු වන කීර්ති රත්නායක යන අය මට කතා කළා. ඒ පසුගිය 2020 විවාහක රෑ රුජින තරගාවලිය සම්බන්ධයෙන් විමසීමට. එය නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණේ. කීර්ති රත්නායක කියන අය විතරක් නොවේ ජාත්‍යන්තර වශයෙන් තවත් බොහෝ මාධ්‍යවේදීන් මට කතා කළා. ඒක එම සිදුවීම සම්බන්ධව පමණයි. පුරවැසියෙක් විදිහට මම වරදක් කරලා නැති නිසා සී.අයි.ඩී. එකට එන්න කියපු විදිහට මම ඇවිත් ප්‍රකාශයක් ලබාදුන්නා. එම තරගාවලිය තුළ වූ සිදුවීමේදී බොහෝ අය අපිව වැරදි විදිහට බැලුවා. අපේ ඇත්ත බොහෝ අය දැක්කේ නෑ. ඉතින් අපිට කතාකරපු මාධ්‍යවේදීන්ට තත්ත්වය කීවා. අපිටත් ඕනවුණේ ඇත්ත කියන්න. කොහොම හරි එයාව කොහොමද දන්නේ කියලා අහන්න තමයි අද මට එන්න කියලා තිබුණේ. මම ඒ මාධ්‍යවේදියා කළුද සුදුද කියන්නවත් දැකලා නෑ. දුරකථන සංවාදය නිසා තමා මට එන්න කීවේ.

ජනාධිපතිතුමාට කියන්න ඕන අපිත් මහන්සි වුණා ඔබතුමා පත්කර ගන්න. පහුගිය කාලේ ගොඩක් දේ සිදුවෙනවා දැක්කා. නමුත් එහෙම අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වේ නෑ. ඉතින් මාත් සාමාන්‍ය ගැහැණියක් විතරයි. මම මාධ්‍යවේදියකු සමග කතා කළා කියලා මෙහෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම විහිළුවක්.

මේ අවස්ථාවේදී ඇය වෙනුවෙන් නීතිඥවරයෙක් පැමිණ සිටියේය. ඔහු දැක්වූයේ මෙවැනි අදහසකි. චූලා පත්මේන්ද්‍රන් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තිබුණා. ඇය ප්‍රකාශයක් ලබාදුන්නා. ඇයට එරෙහිව අක්‍රමිකතා චෝදනා නෑ. ඒ නිසා එතුමියටත් පුදුමයි මේ සිදුවීම ගැන. කීර්ති රත්නායක කියන මාධ්‍යවේදියකු හඳුනන ආකාරය පිළිබඳව විමසීමට අවශ්‍ය බව ඇයට දැනුම්දීලා තිබුණේ. නමුත් ඇය ඔහු ආශ්‍රය කරලාවත් නෑ. කනගාටු වෙනවා මේ සිදුවීම සම්බන්ධයෙන්. දැවැන්ත චෝදනාවලට සම්බන්ධ පිරිස් ගැන අහලා තියෙනවා. නමුත් ඔවුන්ට එරෙහි පියවරක් අරගෙන නෑ. මෙවැනි දේ ගැන අපි සතුටු වෙන්නේ නෑ. අවශ්‍ය පැමිණිලි රුසක් මෙතැන තියෙනවා. ඒවට නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි?

චූලා පත්මේන්ද්‍රන් මහත්මිය වසර විස්සකට අධික කාලයක් මෙරට මෝස්තර නිරෑපණ ශිල්පිනියක ලෙස කීර්තියක් දිනා සිටින්නීය. ඒ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික මෝස්තර නිරෑපණ තරගාවලි විනිශ්චයකාරිණියක ලෙසද කටයුතු කරන්නීය. දැනට ලංකාවේ සිටින එකම වෘත්තීමය Catwalk පුහුණුකාරිය ලෙස ඇය කටයුතු කරයි. කෙසේ වෙතත් 2020 විවාහක රෑ රුජින තරගාවලියේදී එම කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වාට තුවාල කිරීම, බියගැන්වීම, බලපෑම් කිරීම හා අභූත චෝදනා එල්ල කිරීම යන චෝදනා යටතේ ඇය ඉකුත් අප්‍රේල් 8 වැනිදා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහරිනු ලැබුවාය.

ඇය සමඟ විවාහක රෑ රුජින කිරුළ හිමි කැරොලයින් ජූරි මහත්මියද කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මේ අතර අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා සමග වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගහ බැලීමට යාම සම්බන්ධව ප්‍රකට නිරෑපණ ශිල්පිනියක් පිළිබඳ වාර්තා කෙරිණ. එම කාරණය පිළිබඳවද චූලා පත්මේන්ද්‍රන් මහත්මියගෙන් විමසීමේදී ඇය මෙසේ පැවසීය.

එවැනි ගමනකට මා කිසිසේත් සම්බන්ධ වෙලා නෑ. ඒ අය මම අදුරන්නෙත් නෑ. මිනිස්සු එල්ලලා මරණ තැනක් බලන්න තරම් මගේ මනස විකෘති වෙලා නෑ.

එම කාරණය පිළිබඳව විවාහක රෑ රුජින පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් විමසීමේදී &කියන දවසේ මම කොළඹ හිටියෙත් නෑ. මාතර ගියා. අධිවේගී මාර්ගයේ සී.සී.ටී.වී. බැලුව නම් ඒක ඔප්පු වෙනවා. යැයි කියා තිබිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සිදුවන්නේ නීතිමය වපසරියකට අනුවය. එහෙත් මෑතක සිට එම දෙපාර්තමේන්තුවේ කැඳවිම් හා ඇතැම් විමර්ශන පිළිබඳ දිස්වන්නේ විමතියකි. ඊට කැඳවීම් ලැබූ අය ඉන් පිටව යන මොහොතේ කියා තිබුණේද එම කැඳවීම අසාධාරණ මෙන්ම විහිළු සහගත බවය.

 සමන්ත විල්තෙර