2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

ඉල්ලීම් සාධාරණ වුණත් දරුවන්ගේ බෙල්ලෙන් අල්ලන එක හරිද? මාපිය සංවිධාන ගුරු සංගම්වලින් විමසයි

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 21

ලෝක ගුරු දිනය ගෙවුණු සතියට යෙදී තිබුණි. ගුරු උද්ඝෝෂණද නැවත ආරම්භ විය. පසුගිය සතියේ ගුරු ගැටලු සම්බන්ධව සංවාද විසංවාද රැසක් දක්නට ලැබුණි. පාසල් ආරම්භ කිරීමටද දින නියම විය. මේ සියල්ල අතරේ ගෙවුණු සතියේ පෙර කිසිදිනක නොවූ පරිද්දෙන් ගුරු වර්ජනයට විරෝධී මාපිය විරෝධතා රුල්ලක්ද ආරම්භ වූයේය. එහෙත් වෘත්තීය සමිති අඛණ්ඩව සිය විරෝධතා මෙහෙය වන්නට විය. ගුරු විදුහල්පති වර්ජන සම්බන්ධව සමාජ කතිකාව මුළුමනින්ම ව්‍යාකූල වී තිබුණි. ආර්ථික දේශපාලන කාරණා රැසක් ඒ වටා භ්‍රමණය විය.

මෙම ව්‍යාකූලත්වය හමුවේ ගුරු වර්ජනයට විරෝධය පෑ දෙමාපිය සංවිධනවල හඬට ඇහුම්කන් දීමට අපි උත්සාහ කළෙමු. සංවිධනය කිහිපයක්ම මෙහිදී පෙරට ආවේය. එම සංගම්, සංවිධාන පිළිබඳ දේශපාලන නිර්වචනය ඉදිරිපත් විය. එසේ වුවත් ඔවුන් පවසන්නේ කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත් ඇයි අපට හැඟුණි. ඊට හේතු කිහිපයක් බලපෑවේය. ආරම්භයේදීම එය පැහැදිලිම යුතුකමකි.
වර්තමාන අධ්‍යාපන අර්බුදය හමුවේ ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටීමට ඕනෑ තරම් සංවිධාන තිබේ. ආණ්ඩුව වෙනුවෙන්ද විපක්ෂ වෙනුවෙන්ද බොහෝදෙනා පෙනී සිටිති. එහෙත් දරුවන් වෙනුවෙන් පෙනී සිටින්නවුන් කවුරුන්ද? අප ඇතිවූයේ එම ගැටලුයි.

කවර දේශපාලන සාමාජීය පසුබිමක වුව දරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ දෙමාපියන් පමණි. එසේනම් මේ මොහොතේ යම් දෙමාපියන් පිරිසක් දරුවන් වෙනුවෙන් පෙනී සිටින බව කියයි නම් අප ඒ ඇහුම්කන් දිය යුතුයමය. ඒ පිළිබඳ විචාරය විවේචන පසුවට සිදුකළ හැකිය. ඒ නිසාම ගෙවුණු සතියේ හඬනැගූ දෙමාපිය සංවිධාන ක්‍රියාකාරීන්ට මේ ඉඩ වෙන්වෙයි. අප පළමුව උපුටා දක්වන්නේ සිසු අධ්‍යාපන අයිතිය උදෙසා වූ මාපිය එකමුතුවේ කැඳවුම්කරු කේ.ඒ. නිරෝෂන ප්‍රනාන්දු මහතාගේ අදහසකි.

ගුරු විදුහල්පති වැඩ වර්ජනය වෙනකල්ම කිසිදු ගැටලුවක් නැතුව වසර එකහමාරක පමණ කාලයක් ගුරු විදුහල්පතිවරු කරපු කැප කිරීමට අවංකවම ස්තූතිවන්ත වෙනවා. දෙමාපියෝ වශයෙන් අපි එය කළේ නැතිනම් ගුණමකුවන් වෙනවා. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සියයට හැත්තෑ හතරක් දරුවෝ පාස්වෙලා තිබෙනවා. ඒ ඔන්ලයින් ඉගෙන ගත්ත දරුවෝ. සීයයට හැටකට ඔන්ලයින් නෑ කියලා කිව්වොත් මේ දරුවෝ විභාගය සමත් වුණේ මාර්ග අධ්‍යාපන නිසා. ඒ සඳහා දරුවන්ව ගුරුවරු හැඩගැස්සුවා. නමුත් පහුගිය දින අසූ පහක වගේ ඇතුළේ වෙච්ච දේ ගැන අපිට කතා කරන්න වෙනවා.

දේශපාලන අරමුණු හෝ වෙනත් කාරණයක් මීට පදනම් වුවත් මේ වනවිට සමස්තයක් ලෙස දරුවන්ගේ අධ්‍යාපන කඩා වැටී ඇති බව ඔහු පවසයි. මෙය දීර්ඝකාලීනව දරුවන්ට බලපාන ගැටලුවක් බවද ඔවුන් පෙන්වා දෙයි. එහෙත් ගුරුවරු සමඟ සෘජු ගැටුමකට මෙම සංගමය ගමන් නොකරන බව පෙනෙන්නට තිබේ.

මම කියන්නේ නෑ මේ ඉල්ලීම් එකක්වත් අසාධාරණයි කියලා. ඒ ඉල්ලීම් සාධාරණයි කියන තැන අපි ඉන්නවා. නමුත් මේ ගුරු ගැටලුව තුළ යම්කිසි කෙනෙක් දරුවන්ගේ බොටුවෙන් අල්ලාගෙන ඉන්නවා නම් ඒකත් වැරදියිනේ. මේ වෙලාවේ අනිවාර්යයෙන්ම අගතියට පත්වෙලා තියෙන්නේ දරුවෝ සහ දෙමව්පියෝ. ඒ නිසා අපිට ඒ පිළිබඳ ලොකු ගැටලුවක් තිබෙනවා.

ඔහු මතුකරන තර්කය නම්  ගුරු වර්ජනය හේතුවෙන් දරුවන් අගතියට පත්කිරීමට කිසිවෙකුට අයිතියක් නොවන බවයි. වර්තමානයේ සිදුවන්නේ සිසු අයිතිය උල්ලංඝණය කිරීමක් බව මෙම පිරිස කියා සිටියි. මේ අතර මාපිය විරෝධතා රැසක්ද ගෙවුණු සතිය තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය කොට තිබුණි. දැරණියගල ප්‍රදේශයේ පැවැති එවන් විරෝධතාවක එකතු වූ පිරිසක් අතරින් කිහිපදෙනෙක්ම අදහස් දැක්වූහ. එහිදී ඔවුහු මෙම අර්බුදය කඩිනමින් නිරාකරණය කරන මෙන් සියලු පාර්ශවලින් ඉල්ලා සිටියහ.

අපේ දෙමාපියෝ ඉතා අසරණ වෙලා ඉන්න අවස්ථාවක අවුරුදු එකහමාරක් තිස්සේ දරුවන්ට පාසල් නොමැති මොහොතක ගුරුභවතුන් කරන මේ ක්‍රියාව අපි අනුමත කරන්නේ නෑ. මේ අවස්ථාවේදී මේ ක්‍රියාව කරන්න එපා. මේ රටට සුදුසු දෙයක් නෙවෙයි. ඇත්තටම ගුරුවරුන්ට ජීවත්වීමට ගෞරවනීය වැටුප් අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් නැගී සිටිනවා. නමුත් මෙවන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදුසු අවස්ථාවක් නෙවෙයි මේ උදාවෙලා තියෙන්නේ. අපි ගුරු සංගම්වලට ආයාචනා කරනවා අඩියක් පස්සට අරගෙන දරුවන් වෙනුවෙන් කාලය කැපකරන්න. වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ගවල යෙදෙන්න. දරුවන් බිල්ලට ගන්න එපා.

ඒ වගේම අපි ජනාධිපතිතුමාගෙන්, අධ්‍යාපන ඇමතිතුමාගෙන්, මුදල් ඇමතිතුමාගෙන් කාරුණිකව ඉල්ලනවා ගුරුභවතුන්ගේ මේ ප්‍රශ්නය කඩිනමින් විසඳන්න. අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන්න. තව මාසෙකින් ශිෂ්‍යත්ව විභාගය තියනවා කියලා කියනවා. ඒත් ගුරුභවතුන් ඇඩ්මිෂන් අත්සන් කරන්නේ නෑ කියල කියනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ආවත් කලා විෂය ධාරාවේ සෞන්දර්ය විෂයන් තෝරගන්න දරුවන්ට බෑ. අපේ දරුවන්ගේ වයස යනවා.
මේ ආදී ප්‍රකාශ විරෝධතා නොසලකා හැරීමට ගුරු සංගම්වලටද නොහැකි විය. එම නිසාම ගුරු සංගම් මාපිය විරෝධතා පිළිබඳ විවිධ අදහස් දැක්වූහ. මෙහිදී මාපියන් වෙනුවෙන්ම වූ විශේෂ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පියවර ගත්තේය.

ගුරුවරු විදුහල්පතිවරු ඇයි මෙහෙම ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙලා තියෙන්නේ. ඔබේ දරුවා පිළිබඳ හැඟීමක් නොමැතිවද? ඔබේ දරුවාට ආදරේ නැතිවද? නැහැ. කිසිසේත්ම නෑ. ඔවුන් අවුරුදු විසි හතරක් තිස්සේ පීඩාකාරී අඩු වැටුප් ගැටලුව දරාගෙන හිටියා. ඔබේ දරුවාට පංති කාමරය තුළ අකුරු කියා දුන්නා. යහමඟ කියා දුන්නා. ගුණධර්ම කියා දුන්නා. මේ ප්‍රශ්නය ඔවුන් අවුරුදු විසිහතරක් තිස්සේ දරාගෙන හිටියා. ඒ නිසා තමයි අන් කවරදාවත් නැති විදිහට මෙවැනි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වුණේ.

ඔහු ගුරු වැටුප් පිළිබඳ ගැටලුව මේ ආකාරයෙන් මාපියන් හමුවේ තබයි. මෙය හුදු වැටුප් ගැටලුවක් නොවන බවත් දරුවන් වෙනුවෙන් දක්ෂ ගුරුවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ රඳවා ගැනීමටත් එම අය අලුතින් බඳවා ගැනීමටත් නිසි ගුරුවැටුප ලබාදීමේ වැදගත්කම ඔහු පෙන්වා දෙයි. මෙය ගුරු විදුහල්පතිවරුන්ගේ අරගලයක් පමණක් නොවන බවද ඔහු කියා සිටියි.
කෙසේ වෙතත් දරුවන්ගේ ජීවිතවලට සිදුවන බලපෑම පිළිබඳ මාපිය මැදිහත්වීම එන්න එන්නටම ප්‍රබල වන බව පෙනී යයි. ඇතැම් ගුරු සංගම් විසින් මෙය ආණ්ඩුව විසින් සිදුකරන උසි ගැන්වීමක් බවද කියා සිටිති. කෙසේ වෙතත් දරුවන් වෙනුවෙන් පෙනී සිටීම මාපියන් සතු අයිතියක් බව පැහැදිලිය. ගුරුවරුන්ටද ගැටලුවක් ඇති බව පැහැදිලිය. පාලකයෝද තමන්ට ඇති ගැටලුව පැහැදිලිව කියා තිබේ. අපැහැදිලිව ඇත්තේ විසඳුම පමණි.

 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00