2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

පැන්ඩෝරාගේ පෙට්ටියෙන් එළියට පැන්න ලොක්කන්ගේ හොර ගනුදෙනු

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 244

ලොව පුරා සිටින රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, ක්‍රිඩකයන්, ගායකයන්, ධනවතුන් සහ බලවතුන් රහසිගතව විදේශයන්හි පවත්වාගෙන ගිය මූල්‍ය වත්කම් පිළිබඳව ආන්දෝලාත්මක හෙළිදරව්වක් පැන්ඩෝරා පේපර්ස් හෙවත් පැන්ඩෝරා පත්‍රිකා නමින් පසුගිය සැප්තැම්බර් 3දා ලොවට අනාවරණය කෙරිණි. රටවල් 91ක බලයේ සිටි සහ සිටින රාජ්‍ය නායකයන් 35 දෙනකුගේ,  දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන්  330 කට අධික පිරිසකගේ, බිලියනපතියන් 130කුගේ සහ ලෝකයේ ඉතා ධනවත් හා බලවත් පුද්ගලයන් රැසකගේ සැඟවුණු වත්කම් සහ රහස් ගනුදෙනු මෙම අනාවරණය මගින් මේ වනවිට කරළියට පැමිණ තිබේ.

සිය වත්කම් සැඟවූ ලොව රාජ්‍ය නායකයන් සහ දේශපාලනඥයන් අතර ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයන්, හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්, චෙක් ජනරජයේ අගමැති අන්ද්‍රෙයි බාබිස්, ගැබොන් ජනාධිපති අලි බොන්ගෝ, කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යටා, කොංගෝ ජනාධිපති ඩෙනිස් සසුයු න්ගුස්සෝ, අයිවරි කෝස්ට්හි අගමැති පැට්‍රික් ආචි, ලෙබනන අගමැති නජිබ් මිකාටි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටොයුම්, ඩොමිනිකන් ජනරජයේ ජනාධිපති ලුයිස් අබිනාඩෙර්, ඉක්වදෝර ජනාධිපති ගුයිලෙර්මෝ ලසෝ, මොන්ටෙනීග්‍රෝ ජනාධිපති මිලෝ ජුකොනොවික්, ලෙබනන ජනාධිපති, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි, කටාර් රාජ්‍යයේ එමීර්වරයා, මොරොක්කෝවේ රජ කුමරිය, චැඩ් තානාපති සකාරියා ඉද්‍රිස් ඩෙබි ඉට්නෝ මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය ඇමතිවරියක වන නිරුපමා රාජපක්ෂ සහ ඇගේ ව්‍යාපාරික සැමියා වන තිරු කුමාර් නඩේසන්, පොප් ගායිකා ශකීරා හා සුප්‍රකට අනිල් අම්බානි, ඉන්දියානු ව්‍යාපාරිකයන් වන පූර්වි මෝදි, ජෝන් මැකලම් මාර්ෂල් ෂෝ, ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්, පාකිස්තාන අගමැති ඉම්රාන් කාන්ගේ ඇමැති මණ්ඩල සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඩොලර්, පවුම් හා යූරෝ මිලියන ගණනින් විදේශයන්හි දේපළ මිලදී ගැනීමට, රහසිගතව අක්වෙරළ සමාගම්වල  ආයෝජනය කිරීමට හෝ බැංකුවල තැන්පත් කිරීමට හෝ  කටයුතු කර ඇතැයි එම පත්‍රිකා මගින් හෙළිකර තිබේ.

වත්කම් හෙළිදරව් නොකරන ලද පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ ජොර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුය. ඔහු එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ පවුම් මිලියන 70 කට අධික (ඩොලර් මිලියන 100 කට වැඩි) දේපළ අත්පත්කරගෙන තිබේ.

බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල අක්වෙරළ සමාගම් ජාලයක් පවත්වාගෙන ගොස් ඇති ඔහු නිවාස 15 ක් මිලදී ගෙන තිබේ. කැලිෆෝනියාවේ මලිබු වෙරළාසන්නයෙන් හා එක්සත් රාජධානියේ ඇස්කොට් හි පවුම් මිලියන 50 ක් වටිනා දේපළ ද ඔහු සතුය. 
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ධනය මොනාකෝ රාජ්‍යයේ තැන්පත් කර ඇතැයි පැවසේ. පැන්ඩෝරා පත්‍රිකාවල සෘජුවම පුටින්ගේ නම සඳහන්ව නොමැති වුවද ඔහුගේ සමීප මිතුරන් කිහිප දෙනකුගේ හා පැරණි පෙම්වතියකගේ නම සඳහන්ය. ඇයගේ නමින් ඇති දේපළවල අගය ඩොලර් මිලියන 100ක් යැයි පැවසේ. 2003 සැප්තැම්බර් මාසයේදී මොනාකෝවේදී රහස් ගනුදෙනුවක් සිදු වූ බවත් එම ගනුදෙනුවේදී තට්ටු නිවාසයක් යුරෝ මිලියන 3.6 කට මිලදී ගෙන තිබූ බවත් අනාවරණය විය.. එහෙත් එහි හිමිකරු කවුරුන්ද යන්න අනාවරණ නොවූ අතර එය පුටින්ගේ දේපළක් යන සැකය මතු විය. 

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් හා ඔහුගේ බිරිය චෙරි බ්ලෙයාර් සතුව විදේශයන්හි වත්කම් ඇති බවට චෝදනාවක් නොමැති වුවද ඔවුන් පවුම් මිලියන 6.45 ක දේපලක් මිලට ගෙන ඒ සඳහා වන මුද්දර ගාස්තු නොගෙවා පවුම් තුන්ලක්ෂ දොළොස් දහසක් ඉතිරිකරගෙන ඇතැයි එම අනාවරණයේ දැක්වේ. හිටපු අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ නීතිඥ බිරිඳ චෙරී 2017 ජූලි මාසයේදී මධ්‍යම ලන්ඩනයේ මෙරෙලිබෝන් හි ගොඩනැගිල්ලක්  අක්වෙරළ සමාගමකින්  මිලදී ගැනීමෙන් මුද්දර ගාස්තු ගෙවීමෙන් වැළකී තිබේ. 

අසර්බයිජාන ජනාධිපතිවරයා ඉල්හාම් අලියෙව් හා ඔහුගේ  පවුලේ සාමාජිකයන්  අක්වෙරළ සමාගම් උපයෝගී කරගනිමින් එක්සත් රාජධානියේ දේපල රහසිගතව අත්පත් කර ගත් ආකාරය ද මෙම ලේඛනවල ඇතුළත්ය. ඔහු ඩොලර් මිලියන 400කට අධික දේපලක් හිමිකරගෙන තිබේ.

දූෂණ චෝදනාවලට ලක්ව සිටි ජනාධිපති අලියෙව්  තම 11 හැවිරිදි පුත් හෙයිඩර් අලියෙව් සඳහා ලන්ඩනයේ ඩොලර් මිලියන 33 ක කාර්යාලයක් සහිත ඉඩමක් ඇතුළුව දේපල 17 ක් මිලදී ගත් ආකාරය ලිපි ගොනුවල දැක්වේ. 2009 දී මේෆෙයාර්හි ගොඩනැගිල්ලක් ඔහුගේ පවුලේ මිතුරෙකුට අයත් සමාගමක් මගින් මිලදී ගන්නා ලද අතර මසකට පසු එය ජනාධිපතිවරයාගේ 11 හැවිරිදි පුත්‍රයාගේ නමට මාරු කර තිබේ.

දැඩි නීති සහ බලාත්මක කිරීම් සමඟ මුදල් විශුද්ධිකරණය මැඩපැවැත්වීමට කටයුතු කරන බවත්, එක්සත් රාජධානියේ දේපල හිමි අක්වෙරළ සමාගම් පිළිබඳ ලේඛනයක් හඳුන්වා දීමට පියවර ගන්නා බවත් බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර තිබේ.

සයිප්‍රසයේ ජනාධිපති නිකොස් ඇනස්ටාසීයාඩ්ස් සතු නීති සමාගමේ හිමිකරුවන් ලෙස දක්වා ඇත්තේ ව්‍යාජ පුද්ගලයන් යැයි ප්‍රකාශ වේ. එහෙත් එම සමාගම එය ප්‍රතික්ෂේප කර තිබේ. 

යුක්රේනයේ ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි 2019 මැතිවරණය ජයග්‍රහණය කිරීමට පෙර රහසිගත අක්වෙරළ සමාගමක සිය වත්කම් ආයෝජනය කර තිබිණි.

හිටපු බැංකුකරුවකු වූ ඉක්වදෝරයේ ජනාධිපති ගිලර්මෝ ලාසෝ, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මාසිකව ගෙවීම් කළ  පැනමාවේ තිබූ පදනම වෙනුවට එක්සත් ජනපදයේ දකුණු ඩැකෝටා හි භාරයක් පිහිටුවා තිබේ.

චෙක් ජනරජයේ අගමැති අන්ද්‍රෙයි බාබිස් අක්වෙරළ සමාගම් භාවිතා කරමින් ඩොලර් මිලියන 22කට පංශයේ රිවීරා වතුයාය රහසිගතව මිලදී ගෙන තිබේ. මෙම පකෝටිපති දේශපාලනඥයා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ රජයේ විනිවිදභාවය හා බදු ආදායම වැඩි කිරීමට උනන්දුවක් දක්වන බව ප්‍රකාශ කළද වංචා හා බදු ගෙවීම්පැහැර හැරීම් සම්බන්ධයෙන් චෝදනාවලට ලක්වූවෙකි.

කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා සහ ඔහුගේ පවුලේ හය දෙනකු රහසිගතව අක්වෙරළ සමාගම් ජාලයකට හිමිකම් කියා තිබේ. ඔහු ප්‍රකාශ කර ඇත්තේ කෙන්යාවේ වැසියන් බොහෝ දිළින්දන්ව සිටින්නේ රාජ්‍ය නිලධාරීන් රටේ සම්පත් කොල්ලකන නිසා බවයි. එහෙත් ඔහු හා ඔහුගේ සමීපතමයන් වසර ගණනාවක් පුරා රහසිගතව පෞද්ගලික ධනස්කන්ධයක් අක්වෙරළ සමාගම් වල රුස්කර ඇති බැව් පැන්ඩෝරා පත්‍රිකා තුළින් අනාවරණ වී තිබේ. පැනමා සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් වල අක්වරළ  නීති සමාගම් 14 ක හා සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්හි බදු සමාගම්වල ඩොලර් මිලියන 30 ක් (පවුම් මිලියන 22 ක්) වටිනා කොටස් සහ බැඳුම්කර ඔහු සතු බව මේ වන විට හෙළිදරව් වී තිබේ..

තමා මේ වන විට බංකොලොත් භාවයට පත්ව ඇතැයි පසුගියදා එක්සත් රාජධානියේ අධිකරණයක දී ප්‍රකාශ කළ අනිල් අම්බානිට ජර්සි, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් සහ සයිප්‍රසයේ අක්වෙරළ සමාගම් 18 ක් ඇති බවත් ඔහු. 2007 සහ 2010 අතර පිහිටුවන ලද මෙම සමාගම් හතක අවම වශයෙන් ඩොලර් බිලියන 1.3 ක් වත් ණයට ගෙන ආයෝජනය කර ඇති බවත් අනාවරණය වී තිබේ.. 2012 මාර්තු මාසයේදී ඔහුගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 7ක් වූ අතර 2019 දෙසැම්බර් මාසය වන විට එය ශුන්‍ය වූ බවට ඔහු අධිකරණයට කියා තිබිණි. අනිල් අම්බානිගේ සොහොයුරු මුකේෂ් අම්බානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ශ්‍රේණිගත කර තිබේ.

පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සමීපතමයන් ලෙස කටයුතු කරන දේශපාලනඥයන් සත් දෙනකුගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ නම්ද මෙම ලේඛනයට ඇතුළත්ය. එම හෙළිදරව්වෙන් පසු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා කියා සිටියේ මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් හෙළිදරව් කරමින් නිකුත් වී තිබෙන පැන්ඩෝරා ලේඛනවල නම් සඳහන් පකිස්තානු ජාතිකයන් පිළිබඳව කඩිනමින් විමර්ශන පවත්වන බවටය. කිසියම් පුද්ගලයෙකු වැරදි ක්‍රියාවක නිරත වී ඇතැයි ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද ඔහු ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර තිබේ.

පැන්ඩෝරා පත්‍රිකා තුළින් ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය ඇමැතිවරියක වූ නිරුපමා රාජපක්ෂ හා ඇගේ ව්‍යාපාරික සැමියා වන තිරු කුමාර් නඩේසන්ගේ නම්ද හෙළිදරව් කර තිබේ. ඔවුන් ඇමෙරිකාව, සැමෝවා, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හා නවසීලන්තයේ ෂෙල් සමාගම් 8ක් පිහිටුවා තිබෙන බව සඳහන්ය.  ලන්ඩනයේ සහ සිඩ්නි නුවර  සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට. සහ ආයෝඡනය කිරීමට ඉන් එක් ෂෙල් සමාගමක් යොදාගෙන ඇතැයි එහි සඳහන් වේ.නිරුපමා-නඩේසන් යුවල සිඩ්නිහි ඩාලින් වරාය ආසන්නයේ පිහිටි සුඛෝපබෝගී නිවාස සංකීර්ණයක නිවෙසක් මිලට ගැනුමට රොසෙටි සමාගම භාවිත කර තිබේ.. ඔවුහු ලන්ඩන් නගරයෙන් සුඛෝපබෝගී නිවාස තුනක් මිළට ගැනීමට ද එම නාමික සමාගම භාවිත කර ඇත. මෙයින් තේම්ස් ගඟ අසල පිහිටි නිවෙස වසර කීපයකට පසු ඩොලර් 850,000කට විකුණා ඇති අතර, මිලියන 4කට වඩා වටිනා නිවාස දෙකක්  කුලියට දී තිබේ. මෙම දේපළ මෙම යුවලට අයත්බව මින් පෙර හෙළිදරව් වී නොතිබුණි. චැනල් දූපතේ පිහිටවූ සමාගම හරහා ඒ දේපළ මිලට ගැනීම මඟින් එහි රහස්‍යභාවය තහවුරු විය. එම දූපත්හි පාලනාධිකාරිය මගින් එරට ඇති සමාගම්වල සැබෑ අයිතිකරුවන්ට බදු නොගෙවමින් හෝ සාපේක්ෂව සුළු බදු ප්‍රමාණයක් ගෙවමින්, මහජන ඇසින් තම වත්කම් වල අයිතිය වසන් කිරීමට ඉඩ සලසා තිබේ. ෂෙල් සමාගමක් යනු ලිපිගොනු මත පමණක් පදනම්ව පවතින ආයතනයක් හෝ සංස්ථාවක් වන අතර කාර්යාලයක් හෝ සේවකයන් නොමැති නමුත් බැංකු ගිණුමක් හෝ උදාසීන ආයෝඡන හෝ බුද්ධිමය දේපළ හෝ නැව් වැනි වත්කම්වල ලියාපදිංචි හිමිකරුවන් විය හැකිය. ෂෙල් සමාගමක් එවැනි සේවාවක් සපයන සමාගමක ලිපිනයට ලියාපදිංචි කළ හැකි අතර ඒවායේ නීතිමය සම්බන්ධීකරන නියෝජිතයකු ලෙසද ක්‍රියා කළ හැකිය. 

තිරු නඩේසන් ෂෙල් සමාගම් කිහිපයක් පිහිටුවා ගත් බවත් ඔහු ඒවා භාවිත කරමින් ශී ලංකා රජය සමඟ ව්‍යාපාර කරන විදේශ සමාගම්වලට උපදේශන සැපයීමේ කොන්තාත් ලබා ගැනීමට සහ කලා කෘති මිලදී ගැනීමට කටයුතු කළ බවත් පැන්ඩෝරා පේපර්ස්හි සඳහන්ය. 2018 පැසිෆික් කොමොඩිටීස් නමැති තවත් සමාගමක් මගින් සිතුවම් සහ දකුණු ආසියානු කලාකෘති 31ක් ජිනීවා  ෆී පෝර්ට් නමැති වත්කම් බදු හෝ වෙනත් බදුවලට යටත් නොවන අතිශය ආරක්‍ෂිත ගබඩාවක් වෙත යවා තිබේ.
පැසිෆික් ටස්ට් නම් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 51ක් වටිනා චිත්‍ර එකතුවක් පැවති බවද ඒ අතර ඇති 19 වන සියවසේ ඉන්දියාවේ රවි වර්මා විසින් නිර්මාණය කරන ලද ධනයට අධිපති ලක්ෂ්මි දේවියගේ හා ශ්‍රී ලංකාවේ ජෝර්ජ් කීට් විසින් නිර්මාණය කරන ලද  චිත්‍රවල වටිනාකම ඩොලර් මිලියන හතරකට අධික බවත් පැන්ඩෝරා පේපර්ස් හෙළි කරයි.. එම කලා කෘති, සමෝවාහි ලියාපදිංචි ෂෙල් සමාගමක් වන පැසිෆික් කොමොඩිටීස් ලිමිටඩ් නමැති සමාගමක් සතු බව සඳහන් වූ නමුදු ඒෂියාසිටි ට්‍රස්ට් වෙතින් කාන්දු වූ ලිපි ලේඛනවලට අනුව එය ශ්‍රී ලාංකිකයෙකු වන තිරුකුමාර් නඩේෂන් විසින් රහසිගතව පාලනය කරන සමාගමක් බවත්, එම කලා කෘති 31 සැබෑ හිමිකරු ඔහු බවත් වාර්තා වේ.  

සිංගප්පූරුව පදනම් කරගත් අක්වෙරළ සේවා සපයන්නකු හා නඩේසන්ගේ දිගු කාලීන උපදේශකයකු වන ඒසියාසිටි භාරය වෙත ලද රහස්‍ය විද්‍යුත් තැපෑල මගින්, අනාවරණ වී ඇත්තේ  2011 වන විට ඔහුගේ සමස්ත ධනය ඩොලර් මිලියන 160 කට වඩා අධික බවයි. එහෙත් එය ස්වාධීනව තහවුරු කළ නොහැකි යැයි පවසන ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය තම විශ්ලේෂණය අනුව, සිංගප්පූරුවේ පිහිටි ඒසියාසිටි භාරය මගින් කළමනාකරණය කළ නඩේෂන්ගේ ඇතැම් සමාගම් සහ භාරවල වටිනාකම ඩොලර් මිලියන 18 ක් පමණ වන බව පවසා තිබේ.. 2016 වසරේ තිරු නඩේසන්ට මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පසුබිමක වුව සිංගප්පූරුවේ ඒසියාසිටි ට්‍රස්ට් ආයතනය ඔහුගේ විදෙස් ගනුදෙනු සඳහා දායකත්වය ලබා දී තිබේ.

එම සංගමය තම අනාවරණයන් සම්බන්ධයෙන් නිරුපමා රාජපක්ෂ හා තිරු නඩේසන්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් පිළිතුරු දීමෙන් වැළකී සිටි බවද පැන්ඩෝරා පතිකාවල සඳහන්වේ. 

දෙවසරක් පුරා ලොව රටවල් 117ක මාධ්‍ය ආයතන 150ක මාධ්‍යවේදීන් 600කගේ පමණ දායකත්වයෙන් මෙම පැන්ඩෝරා පත්‍රිකා විමර්ශනය වොෂින්ටනයේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය මගින් සිදු කර තිබිණි. . බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්, පැනමා, බෙලීස්, සයිප්‍රසය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය ඇතුළු ගෝලීය මූල්‍ය ආයතන 14කින් ලබාගත් තොරතුරුමත පදනම්ව මෙම විමර්ශනය සිදුකෙරුණු අතර ඒ සඳහා ලිපිලේඛන 11,903,676 (මිලියන 11.9) කින් තොරතුරු අනාවරණය කර ගැනීමට එම මාධ්‍යවේදීහු සමත් වූහ. එම ලේඛණවල අන්තර්ගත දත්ත ප්‍රමාණය ටෙරාබයිට් 2.94කි. ඒ අනුව පැන්ඩෝරා පත්‍රිකා ලොව මෙතෙක් සිදු කෙරුණු විශාලතම ගවේෂණාත්මක විමර්ශනය ලෙස සැලකේ.
මින් ඉහත අවස්ථා කිහිපයකදීම ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය මෙලෙස වත්කම් සැඟවූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණය කළේය. 2014 නොවැම්බරයේ ලක්ස්ලීක්ස් නමින්ද, 2016 අප්‍රේල් මාසයේ පැනමා පේපර්ස් නමින්ද,  2017 නොවැම්බරයේ පැරඩයිස් පේපර්ස් නමින්ද, 2020 සැප්තැම්බරයේ ෆින්සෙන් ෆයිල්ස් නමින්ද ඔවුන් අනාවරණයන් සිදුකළ අතර ඒ සියලු අනාවරණයන්ට වඩා සුවිශේෂී වූ දත්ත හා තොරතුරු රුසක් මෙවර පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිකරන්නට සමත්ව තිබේ. 

පැන්ඩෝරා යන නම ඔවුන් යොදාගෙන ඇත්තේ ග්‍රීක පුරාවෘත්ත වල එන පැන්ඩෝරාස් බොක්ස් හෙවත් පැන්ඩෝරාගේ පෙට්ටිය යන අරුතිනි. එම පුරාවෘත්තය අනුව ප්‍රොමීතියස් ස්වර්ගයෙන් ගින්දර සොරකම් කළ විට, දෙවිවරුන්ගේ රජු වූ සියුස්, ප්‍රොමිතියස්ගෙන් පලිගැනීම පිණිස පැන්ඩෝරා නමැති කාන්තාවක නිර්මාණය කර ප්‍රොමිතියස්ගේ සහෝදර එපිමේතියස්ට විවාහ කර දුන්නේය. ඒ සමඟ ත්‍යාගයක් ලෙස පැන්ඩෝරාට පෙට්ටියක් ලබා දුන් අතර එය කිසිවිටෙක විවෘත නොකරන ලෙස ඔහු පැන්ඩෝරාට පැවසීය. පෙට්ටියේ තිබෙන්නේ කුමක්දැයි බැලීමේ කුතුහලය පැන්ඩෝරා තුළ විය. දිනක් ඇය එම පෙට්ටිය විවෘත කළාය. ඉන් පිටතට ආවේ කෑදරකම, ඊර්ෂ්‍යාව, වෛරය, වේදනාව, රෝග, කුසගින්න, දුප්පත්කම, යුද්ධය සහ මරණය ඇතුළු මිනිසාට අයහපත් දේය. මෙම හෙළිදරව්ව මගින්ද මහත් ආන්දෝලනයක් ඇති කෙරෙන බැවින් ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය එය පැන්ඩෝරා පේපර්ස් ලෙසින් නම්කර තිබේ. ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ජෙරාඩ් රයිල් ප්‍රකාශ කර ඇත්තේ  තමන්ද බොහෝ දේ අන්තර්ගත පෙට්ටියක් විවෘත කර ඇති බවයි.

මෙම වාර්තාවෙන් හෙළිදරව් වී ඇති තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කඩිනමින් ස්වාධීන විමර්ශනයක් සිදු කළ යුතු යැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කර තිබේ. මෙම මුදල් ගනුදෙනු ශ්‍රී ලංකාවේ සම්පත් අවභාවිත කරමින් උපයා ගත් ඒවාද යන්න පිළිබඳව සොයා බැලීමට අභ්‍යන්තර විමර්ශනයක් සිදු කළ යුතු බවද ඔවුන් කියා තිබේ.

මේ අතර පැන්ඩෝරා පත්‍රිකා මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් වී ඇති කරුණු පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර ඇතැයි පසුගිය 6 දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළේය.

ජනාධිපතිතුමා පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ව ගැන ක්ෂණික තීන්දුවක් ගනු ලැබුවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මසක් ඇතුළත මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරලා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුවී ඇති කාරණා ගැන වාර්තාවක් දෙන්න කියලා. යනුවෙන් සඳහන් කළේය.

මේ අතර මෙම ලේඛනවල නම් සඳහන් තිරුකුමාර් නඩේසන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පැන්ඩෝරා පත්‍රිකාවල තමාගේ සහ තම බිරිඳගේ නම සඳහන් වී ඇති හෙයින් ඒ පිළිබඳ සොයාබැලීම සඳහා ස්වාධීන විමර්ශකයකු පත්කරන ලෙස ඉල්ලා තිබේ. ඒ සඳහා විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයකු පත්කිරීම වඩාත් සුදුසු බව ඔහු කියා තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා