2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

ග්‍රාම සේවකගේ මාරයා වූ දුම්රිය ස්ථානාධිපති

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 159

“හෙට උදේ නම් මම ඔෆිස් එකට එන්නේ නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනසභා රැස්වීමක් තියෙනවා ඒකට යනවා. උදේ අටට ගෙදරින් යනවා. හවස් වරුවෙ නම් සමහරවිට මුණගැහෙන්න පුළුවන්....”

නාඳුනන ජංගම දුරකථන අංකයකින් පැමිණි ඇමතුමකට පිළිතුරු දෙමින් අඹන්පොළ දකුණ ග්‍රාම නිලධාරී කපිල ප්‍රියන්ත කඩිමුඩියේ සූදානම් වෙමින් තිබුණේ රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව යාමටය. ඒ අනුව උදෑසන 8ට පමණ ග්‍රාම නිලධාරිවරයා සිය යතුරුපැදියෙන් පිටත්ව තිබුණි. තමන් වෙත ලැබෙන කොතෙකුත් දුරකතන ඇමතුම් අතර තමා මුණගැසීම හා යන එන ගමන්මග හෝ වෙලාව පිළිබඳව විමසීමද ඔහුට එතරම් ගැටලුවක්ව තිබී නැත.

අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ළඟාවීමේ අපේක්ෂාවෙන් පාදෙණිය - අනුරාධපුරය මාර්ගයේ උඩංගාව, කහඹිලියාවත්ත පසුකරමින් ග්‍රාම නිලධාරි මහතා යතුරුපැදිය ධාවනය කරමින් සිට ඇත. යතුරුපැදිය පසුපස මාරාවේශයෙන් ආ සුදු පැහැති වෑන් රථයක් යතුරුපැදියේ හප්පා ග්‍රාම නිලධාරිවරයා සමඟ යතුරුපැදිය පෙරළා දමනවාත් සමඟම මොහොතකට වෑන් රථය නවත්වා තිබිණ. ඉන් බැසගත් පිරිසක් පොලු පහර දෙමින් යම් තියුණු ආයුධයකින් ග්‍රාමසේවකවරයාගේ සිරුරට පහර කිහිපයක් එල්ල කර ඒ සමඟම ඔවුන් ගොඩවූ වෑන්රථය වේගයෙන් පලාගොස් තිබුණි. සිදුවූ සියල්ල නැතත් යතුරුපැදිය අනතුරකට ලක්කර පලායන වෑන් රථය දුටු අයකු කෙසේ හෝ රථයේ අංක තහඩුව බලා එය මතකයේ තබාගෙන ඇත. ඒ අතර ප්‍රදේශවාසීන් කිහිපදෙනකුගේ සහාය මත ලේ පෙරෙන තුවාල සහිතව වැටී සිටි පුද්ගලයා අඹන්පොළ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණ. රෝහල් ගතකරන විටත් බරපතළ තත්ත්වයෙන් පසුවූ තුවාලකරැ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා කොට ඇත.

පලාගිය වෑන් රථය දුටු තැනැත්තා වහාම දුරකථන ඇමතුමක් ලබාගෙන තිබුණේ අඹන්පොළ පොලිසිය වෙතය.

“සර්... කහඹිලියාවත්ත හරියේදී බයික් එකක් හප්පලා දාලා වෑන් එකක් ගියා. මිනිහට අමාරුයි. හොස්පිට්ල් යැව්වා... මෙන්න සර් වෑන් එකේ අංකය... යැයි කියමින් අදාළ වෑන් රථයේ අංකය පොලීසිය වෙත ලබාදී ඇත. ඒ සමඟම රථවාහන පොලිසියේ නිලධාරීන් පිරිසක් අනතුර වූ ස්ථානය වෙත ගමන්කරන අතරතුරදී අඹන්පොළ රෝහල වෙතින් පොලිසිය වෙත වාර්තාකර තිබුණේ රිය අනතුරකට ලක්ව මියගිය පුද්ගලයකු බව කියන අයගේ සිරුරේ බරපතළ කැපුම් තුවාල ඇති බවය. ඒ අනුව මෙය රිය අනතුරක් ලෙස හුවා දැක්වූ සාහසික මිනීමැරුමක් බවට සැකකෙරිණ. ඒ සමගම අඹන්පොළ පොලිසියේ අපරාධ විමර්ශන අංශ නිලධාරීහු විමර්ශන ආරම්භ කළහ.

පලාගිය වෑන් රථයට අයත් අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යොමුකර එහි ලියාපදිංචිය පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබාගෙන තිබුණි. ඒ අනුව රථයේ හිමිකරු හඳුනාගත් අතර ඔහු නිකවැරටිය පොලිස් අධිකාරි කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයක රාජකාරි කරන නිලධාරියෙකි. ඔහුගෙන් සිදුකළ විමසීමේදී රථය කුලී පදනම මත ලබාදුන් බව දන්වා තිබිණ. එසේ කුලියට ලබාගත් පාර්ශ්වය හඳුනාගැනීමට පොලිසියට වැඩිකාලයක් ගතවූයේ නැත.

එහිදී අනාවරණය වූයේ වෑන් රථය කුලියට ලබාගත් පුද්ගලයා ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිවරයා බවය. මේ වනවිටත් අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අඹන්පොළ දකුණ ග්‍රාම නිලධාරී මහතා බවට තහවුරු වී තිබිණ. මේ ආකාරයට සිදුවූ මරණය පෞද්ගලික ආරවුලක්ද? වෙනත් හේතුවක්ද? යන්න පොලිසියට ගැටලුවක් වූයේ සිදුවීමට සම්බන්ධ සැකකරුද වගකීමක් දරණ රාජ්‍ය නිලධාරියකු වූ නිසාය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්වූ චානක නිලාන් කුමාර (27) නැමැති ගල්ගමුව දුම්රිය  පුහුණු ස්ථානාධිපතිවරයා පොලිසිය හමුවේ කරුණු කීවේය.

“මේ ග්‍රාමසේවක මිනිස්සු අතර ප්‍රසිද්ධයි තමා. ඒත් ජොබ් එක කරන්නේ සාධාරණ විදියට නොවෙයි. අපේ පවුලට අයිති අක්කර දෙකක ඉඩමක් තියෙනවා අඹන්පොළ දකුණ ග්‍රාමසේවා වසමේ. ඒකට පිටින් ඇවිත් බලහත්කාරයෙන් වගේ ජෝඩුවක් පදිංචිවෙලා පර්චස් කිහිපයක්ම අල්ලගෙන ඉන්නවා. යන්න කීවත් ගියේ නෑ. ග්‍රාමසේවකට කීවා. එයා ගණන් ගත්තෙ නෑ. අර ජෝඩුව ග්‍රාමසේවකට හිතවත්ලු. ඉතින් ග්‍රාමසේවක ගන්නෙම එයාලගෙ පැත්ත.” මේ ආකාරයට ඝාතනයට මුල ඉඩම් ආරවුලක් බව පැහැදිලිය.

“මෙහෙම ගියොත් අපේ ඉඩම අපිට නැතිවෙනවා. ග්‍රාමසේවක උන්ගේ පැත්ත ගන්නවා. ග්‍රාමසේවකයට මොනවා හරි කරන්න වෙනවා.” යැයි දුම්රිය ස්ථානාධිපතිවරයා සිය ගැටලුව කියා තිබුණේ ඔහුගේ හිතවතකු සමගය. ඒ අනුව මහමගදී කොටුකරගන පහරදීම හා බියවැද්දීම සැලසුම විය. අදාළ පහරදීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණේ පෙර කී හිතවතාටය. ඔහු හික්කඩුව ප්‍රදේශයේ අයෙකි. නමුත් ගල්ගමුව මුන්නංකුලම ප්‍රදේශයේ කාන්තාවක හා විවාහ වීමෙන් පසුව එම ප්‍රදේශයේ පදිංචියට පැමිණි අයෙකි. ඔහුට කොන්ත්‍රාත්තුව ලබාදීමෙන් පසු ඔහු පවසා තිබුණේ ඒ සඳහා තවත් හිතවතුන් දෙදෙනකු සහාය කරගන්නා බවය. මේ සඳහා ලක්ෂ එකහමාරක පමණ මුදල් පොරොන්දුවක් වී ඇති අතර අත්තිකාරම වශයෙන් රු.70,000ක මුදලක්ද ගෙවා ඇත.

සැලසුම් කරගත් පරිදි හික්කඩුව ප්‍රදේශයේ හිතවතුන් දෙපළක් ගල්ගමුවට ගෙන්වාගෙන තිබුණේ පසුගිය 3 වැනිදාය. ඔවුන් එදින රාත්‍රිය ප්‍රදේශයේ නවාතැන්පොළක ගතකර තිබිණ. මේ අතර කාලයේ දුම්රිය ස්ථානාධිපති විසින් කුලී පදනමට වෑන් රථයක් වෙන්කරගෙන එය හිතවතා බාරයට පත්කර ඇත. නවාතැන්පොළේ රාත්‍රිය පහන් කළ පිරිස 4 වැනිදා අලුයම ඔවුන්ගේ හිතවතාගේ මුන්නංකුලම නිවසට ගොස් තිබිණි. එහිදී පෙර සඳහන් කළ වෑන් රථය ඔවුන් වෙත බාරකර නිසියාකාරව සැලසුම ක්‍රියාත්මක කරන්නැයි පවසා ඇත.

ඊට පෙර ග්‍රාම නිලධාරීට දුරකථන ඇමතුමක් ලබාදෙමින් විස්තර දැනගත් පරිදි කොන්ත්‍රාත්තුව බාරගත් පුද්ගලයා වෑන් රථයට අදාළ මාර්ගය පෙන්වා ඇත. නියමිත මොහොතේදී යතුරුපැදිය හඳුනාගෙන එය අනතුරට ලක්කර ග්‍රාම නිලධාරියා යතුරුපැදිය සමග පෙරළී ගිය පසුව වෑන් රථයෙන් බැසගත් අයකු පොලුවලින් පහරදී ඇත. එය කොන්ත්‍රාත්තුවට එහා ගිය ක්‍රියාවකි. සිදුවීම එසේ සිදුවන අතරතුර දුම්රිය ස්ථානාධිපතිවරයා හා කොන්ත්‍රාත්තුව බාරගත් අය කාර් රථයක පසුපසින් ගමන් කරමින් පහරදීම නිරීක්ෂණය කොට ඇති බවද හෙළිවූයේ දුම්රිය ස්ථානාධිපතිවරයාගේ පාපොච්චාරණය මගිනි. ඔහු වැඩිදුරටත් පාපොච්චාරණය කර ඇත්තේ ග්‍රාමසේවකවරයා ඝාතනය කිරීමට අදහසක් නොවූ බවත් පහරදී බියගැන්වීමට පමණක් සිතූ බවය.
මෙසේ ඝාතනයට ලක්වූ ග්‍රාම නිලධාරී මහතා දේශීය වී වගාව හා පාරම්පරික ගොවිතැන පිළිබඳ පර්යේෂකයකු මෙන්ම සංරක්ෂකයෙක්ද වෙයි. අනතුරට පත්කර සාහසික පහරදීමක් සිදුකර ඝාතනය කළ ග්‍රාම නිලධාරි මහතා 52 යැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දුම්රිය ස්ථානාධිපතිවරයා මහව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණ. සිද්ධියට අදාළ සැකකරැවකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් සැකකරුවන් දෙදෙනකු සොයා විමර්ශන ක්‍රියාත්මකය.

ඝාතනය සිදුවීම පටිගතවූ සී.සී.ටී.වී. දර්ශනයක් පොලිසිය මගින් ඉකුත් 7 වැනිදා මාධ්‍ය වෙත නිකුත් කෙරිණි.

නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන උපුල් අබේසිංහ, සහකාර පොලිස් අධිකාරි සාලින්ද සමරකෝන් මහත්වරුන්ගේ උපදෙස් මත අඹන්පොළ පොලිස් ස්ථානාධිපති සමන් පෙරේරා හා අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයරත්න ඇතුළු නිලධාරීහු පිරිසක් විමර්ශන සිදුකරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර