2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

මෙහෙම ගියොත් සිලෝන් ටී හාන්සියි

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 112

වසර සිය ගණනක් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ආ “සිලෝන් ටී” සන්නාමයට කණකොකා හඬලන්නට පටන්ගෙන ඇතැයි මෙරට තේ වගාකරුවෝ මැසිවිලි නඟන්නට පටන් ගෙන තිබේ. ඊට බලපා ඇත්තේ මෙතෙක් වගාවට යෙදූ රසායනික පොහොර භාවිතය නවතා දමා එක්වරම කාබනික පොහොර යොදා වගාකිරීමට රජය පියවර ගැනීමය. රසායනික පොහොර නවතා දැමුවද ඒ වෙනුවට අවශ්‍ය කාබනික පොහොර රට තුළ නිෂ්පාදයක් නොතිබිණි. 2021 ලංකාවේ සමස්ත පොහොර අවශ්‍යතාවය මෙ.ටොන් 1,230,031.09 යැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය ගණන් බලා ඇත. එම ප්‍රමාණයට අවශ්‍ය කාබනික පොහොර කඩිනමින් නිපදවා ගත නොහැකිය.

හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරන පරිදි ලංකාවේ සමස්ත තේ වගාව හෙක්ටයාර 265,000 ක පමණ බිම් ප්‍රමාණයක පැතිර තිබේ. තේ හෙක්ටයාරයකට අස්වැන්නට අනුව, පොහොර (වර්ග සියල්ලම) ටොන් 1.2 සිට 1.5 දක්වා යෙදිය යුතු බවට නිර්දේශිතය. 2021 වසරේ තේ වගාව සඳහා යූරියා ටොන් 127,046ක්, MOP 48,760ක්, සෙල්පේට් ඔෆ් ඇමෝනියා මෙ. ටොන් 42,470ක්, ගීසරයිට් මෙ.ටොන් 42,410, ඩයි ඇමෝනියම් සල්ෆේට් මෙ.ටො. 14,235ක්, සින්ක් සල්ෆේට් මෙ.ටො. 33,675, ජිප්සම් මෙ.ටොන් 107ක් ලෙස පොහොර මෙ.ටොන් 311,703 අවශ්‍ය වන බව පොහොර ලේකම් කාර්යාලයේ ගණනය කිරීම විය. මේ වනවිට කාබනික පොහොරවලට මාරු කිරීමට පියවර ගෙන ඇත්තේ මෙම පොහොර මෙ.ටොන් ලක්ෂ තුනක අවශ්‍යතාවයයි.

මෙරට තේ වගාවෙන් 75% ක්ම කුඩා තේ වතු හිමියන්ගේ රිකිලි තේ වගාවය. රිකිලි තේ ගස සකස් කොට ඇත්තේ නිශ්චිත කාල රාමුවකට පොහොර ලබාදී උපරිම අස්වැන්නක් ලැබීමටය. කාබනික පොහොර වලින් පමණක් එය සාර්ථකව කළ නොහැකිය. දලු අස්වැන්නේ ප්‍රමාණය අනුව වසරකට තේ අක්කරයට යෙදිය යුතු පොහොර පිළිබඳ උඩරට, මැදරට, පහතරට වගා ආශ්‍රිතව දශක ගණනාවක් පර්යේෂණ සිදුකර ඇත. ඒ අනුව, ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොට්ඨාසයට යෙදිය යුතු පොහාර ප්‍රමාණ ගණනය කර නිර්දේශ කර තිබේ. තේ වගාවට එක වරක් පොහොර යෙදීමේදී නිර්දේශිත රසායනික පොහොර ප්‍රමාණය වනුයේ අක්කරයකට කිලෝ 200කි. රසායනික පොහොර කිලෝග්‍රෑමයක නයිට්‍රජන් ග්‍රෑම් 460ක් ඇති අතර ප්‍රමිතියට අනුව සකසන ලද කොම්පෝස්ට් පොහොර කිලෝ එකක ඇත්තේ නයිට්‍රජන් ග්‍රෑම් 80කි. ඒ අනුව එම නයිට්‍රජන් ප්‍රමාණය ලබාදීමට තේ අක්කරයකට කොම්පෝස්ට් පොහොර කිලෝ 1,150ක් පමණ භාවිතා කිරීමට සිදුවේ.

වතු සමාගම් සතුව අවශ්‍ය ප්‍රමාණයට පොහොර හා කෘෂි රසායන ඇති බැව් වාර්තා වේ. එහෙත් කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය පොහොර මිලදී ගන්නට නොමැත. තේ වගාවට පමණක් නොව මේ වනවිට රටේ සියලුම වගාවන් විනාශ මුඛයට පත්වෙමින් තිබේ. සෑම ගොවියකුම කියන්නේ තම අස්වැන්න විශාල ලෙස අවම වී ඇති බව සහ දිලීර රෝගවලට ගොදුරු වී ඇති බවටය. බලංගොඩ ප්‍රදේශයේ ඇතැම් තේ වගාවන් වටපණු රෝගයට ගොදුරු වී කොළ හැලී වියළී යමින් තිබේ. ඇතැම් ප්‍රදේශවල තේ ගස් බ්ලයිට් රෝග ආසාදනයට ගොදුරු වී තිබේ. මේ රෝග සඳහා නිර්දේශිත කෘෂි රසායන නොමැතිවීම හේතුවෙන් දලු අඩුවීම පමණක් නොව, ගස් විනාශවීමද ආරම්භ වී තිබේ. කෘෂිකර්ම ඇමැතිවරයා කියන්නේ ඔක්තෝබර් 15ට පෙර අවශ්‍ය පොහොර තොග ලබා දෙන බවටය. ඒ අතර චීනයෙන් ආනයනය කළ කාබනික පොහොරවල රටට අහිතකර ද්‍රව්‍ය පැවතීම නිසා එම නැව යළි හරවා යවන්නට සිදුවිය.

රසායනික පොහොර තහනම සිදුවූයේ කිසිදු විද්‍යාත්මක පර් යේෂණයකින් හා සැලසුමකින් තොරව බවත්  එහි ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බවත් තේ වගාකරුවෝ පවසති. තේ අක්කරයකින් මසකට දලු කිලෝ 800 පමණ නෙලගත හැකි වුවද පොහොර නොමැතිකමින් එය  කිලෝ 300ක පමණ ප්‍රමාණයකට පහළ වැටී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. තේ ගසකින් වසර 20ක් පමණ අස්වැන්න නෙලාගත හැකිය. නියමිත ප්‍රමිතියෙන් යුතු තේ දල්ල කොළ පැහැතිය. එහි. ලොකු කොළ දෙකක් හා කුඩා දල්ලක් තිබේ. එහි  දල්ලේ වයස සතියකි. සතියේ තේ දල්ල පහසුවෙන් කඩා වෙන්කර ගත හැකිය. පොහොර නොමැතිකමින් සිදු වී තිබෙන්නේ දලු කහ පැහැ ගැන්වී නටුව තදගතියකින් යුක්ත වීමය. ඊට අමතරව ලැබෙන දලු ප්‍රමාණයද අවම වී තිබේ.

අකුරැස්ස ප්‍රදේශයේ කුඩා තේ නිෂ්පාදකයකු වන පී.එච්.ජයතිලක මහතා පවසන්නේ කාලයක සිට තම වගාවට කිසිදු පොහොරක් නොමැති බවය. තම අස්වැන්න ක්‍රමයෙන් අඩුවී යමින් ඇති බවත් දැන් ලැබෙන්නේ පෙර ලබාගත් දලු ප්‍රමාණයෙන් අඩක් පමණක් බවත් ඔහු පවසයි. එම ප්‍රදේශයේ බොහෝ දෙනකුගේ ප්‍රධාන ආදායම් මාර්ගය තේ වගාව බවත්, දලු ප්‍රමාණය අඩුවීම නිසා තම ආදායම අඩුවී ඇති බවත් ශීඝ්‍රයෙන් ඉහළ යන බඩුමිල හමුවේ අදායම අඩුවීමෙන් තමන් අසරණ භාවයට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

සාමාන්‍යයෙන් කුඩා තේ වත්තක දලු නෙලන අයෙක් දිනකට අවම වශයෙන් තේ දලු කිලෝ 30ක් පමණ නෙලා ගනියි. ඒ සඳහා කුලිය ලෙස රැපියල් 800ක් - 900ක් පමණ ගෙවිය යුතුය. පොහොර නොමැතිකමින් දලු අඩුවීම නිසා දිනකට එම ප්‍රමාණය නෙලාගත නොහැකිය. එහෙත් දලු කඩන්නාගේ කුලිය දිය යුතුය. මෙවැනි තත්ත්වයක් යටතේ කුඩා තේවතු හිමියන් කබලෙන් ලිපට වැටී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ තේ කම්හල් 100 කට ආසන්න ප්‍රමාණයක් ඇති නමුදු ඇතැම් ඒවා මේ වනවිට වැසී ගොසිනි. 

තවාන්වලට යෙදිය යුතු ටී 65 පොහොර නොමැති කමින් පැළ තවාන්ද දුර්වල වී තිබේ. පැළ සිටුවීමෙන් පසු දින 45කට වරක් ටී 200 නමැති පොහොර වර්ගය යෙදිය යුතුය. එසේ නොවුණහොත් තේ පැළෑටියේ වැඩීම බාල වේ. තේ පැළයක් සිටුවීමෙන් පසු දලු කැඩීම සඳහා වසර දෙකක් පමණ ගත වේ. මේ කාලය පුරාවටම පැළයට පොහොර හා වල්නාශක යොදමින් ඒවා රැකබලාගත යුතුය. දලු නෙලීමට ආසන්න කාලයේ ටී 750 නමැති පොහොර යෙදිය යුතුය. දලු නෙලන කාලයේ 709 නමැති පොහොර වර්ගය යෙදිය යුතුය. එහෙත් රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් තේ වගාවට අත්ව ඇත්තේ කනගාටුදායක ඉරණමක් බව තේ වගාකරුවෝ පවසති.  නිසි පරිදි පොහොර නොයෙදීමෙන් තේ ගසේ වැඩිවශයෙන් හටගන්නේ වංගි නමැති තේ දලුය. එම තේ දල්ලෙන් උසස් වර්ගයේ තේ නිෂ්පාදනය කළ නොහැකිය. බොහෝ තේ වගාවන්හි මේ වනවිට දැකිය හැක්කේ වංගි නමින් හැඳින්වෙන තේ දලු යැයි වගාකරුවෝ පවසති. වසර ගණනක් පුරා තේ වගාව හුරු වී තිබුණේ රසායනික පොහොරවලට බැවින් ක්ෂණයකින් කාබනික පොහොරවලට මාරු වීම අසීරු බව බොහෝ තේ වගාකරුවන්ගේ මතය වී තිබේ. තමන් කාබනික පොහොරවලට විරුද්ධ නොමැති බවත් එය කළ යුත්තේ නිසි ක්‍රමවේදයක් අනුව බවත් ඔවුහු පවසති.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ තේ පර් යේෂණ ආයතනයේ හිටපු උපදේශක වරයකු වන දුලිප් ගුණරත්න මහතා සඳහන් කරන පරිදි  ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මේ වනවිට බරපතළ අනතුරකට ලක්වෙමින් තිබේ. රසායනික පොහොර භාවිතය නතර කළහොත් ශ්‍රී ලංකාවේ තේ වතුවල ඵලදායීතාවය නිසැකවම පහත වැටී එමගින් මෙරට ආර්ථිකය දරුණු පසුබෑමකට ලක් වනු ඇති බව ඔහුගේ අදහසයි. මෙමගින් විදේශ විනිමය ඉපැයීම බෙහෙවින් අවම වී ඒ හේතුවෙන් රටේ නිෂ්පාදනය කරන සමස්ත තේ ප‍්‍රමාණය හා රැකියාවලින් වැඩි ප‍්‍රමාණයක් සඳහා දායකත්වය ලබාදෙන කුඩා තේ වතුහිමියන් ඇතුළු සියලුම තේ වතු හිමියන්ගේ ඉපැයීම් ධාරිතාවද විශාල ලෙස පහත වැටෙනු ඇත. තවද සතිපතා සිදු කරනු ලබන තේ වෙන්දේසිවලදී අඩු තේ ප‍්‍රමාණයක් පැවතීම නිසා ශ්‍රී ලංකාව සතුව මෙතෙක් පැවති සාම්ප‍්‍රදායික තේ වෙළෙඳපොළවල ආධිපත්‍ය තමන් සතු කර ගැනීමට අනෙකුත් තරගකාරී රටවලට අවස්ථාව සැලසෙනු ඇත. රසායනික පොහොර භාවිත කිරීමෙන් වසර කිහිපයක් තුළ හෙක්ටයාරයකින් තේ කිලෝග‍්‍රෑම් 2,200 ක ජාතික ඵලදායිතා මට්ටමක් ළඟා කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාව ඇතැයි ඔහුගේ අදහස වී තිබේ.

තේ පර් යේෂණ ආයතනය මේ වනවිට TRI 5000 නමින් නවතම තේ ශ්‍රේණියක් හඳුන්වා දී තිබේ. එයද රසායනික පොහොර මත රඳා පවතින අතර. නයිට‍්‍රජන් 2%ක් පමණක් අන්තර්ගත කාබනික පොහොරවලින් තේ වගාවේ පොහොර අවශ්‍යතාවය සපුරාලීම කිසිසේත් කළ නොහැකි බවද  ගුණරත්න මහතා පෙන්වා දෙයි.

කාබනික පොහොර යෙදීම තුළින් තේ වගාවට අවශ්‍ය NPK පොහොරවලින් ලැබෙන පෝෂණය නොලැබෙන අතර ඒ හේතුවෙන් අධි තනි පත‍්‍රයක් හෝ බන්ජි පත‍්‍ර පමණක් නිපදවීමට තේ ගසට සිදු වේ. මෙහි ප‍්‍රතිඵලය වන්නේ අංකුර හෝ කොළ 2,3ක් සහිත රිකිලි අවම වීමයි. තමන්ගේ ආදායම ඉහළ නැංවීම වෙනුවෙන් හැකි තරම් දලු රැස් කිරීමට උනන්දු වන තේ දලු නෙලන්නන් වෙනදා නෙලන දලු ප්‍රමාණය අවම වීම නිසා බන්ජි පත‍්‍ර හෝ තනි පත‍්‍රද නෙලා ගැනීමට උත්සුක වෙති. එහි ප‍්‍රතිඵලය වන්නේ මෙම තනි හා බන්ජි පත‍්‍ර කර්මාන්තශාලාවට පැමිණීමයි. මේවා තේ නිෂ්පාදනය සඳහා කිසිසේත් සුදුසු නොවන අතර ඒ නිසාම අවසන් නිෂ්පාදනය දුඹුරු පැහැයකින් තොරව අළු හෝ සුදුමැලි ලෙස දක්නට ලැබේ. තේ නිෂ්පාදනයේදී අවසානයේ ප‍්‍රතික්ෂේපිත තේ බවට පත්වන්නේ මෙම නිෂ්පාදනයන්ය. නිෂ්පාදනය කරනු ලබන තේවල ඇති කළු වර්ණය අනුව ඒවාට වෙළෙඳපොළෙහි ඇති ඉල්ලුමද ඉහළ යන අතර එම නිෂ්පාදනවලට ඉහළ මිලක්ද හිමිවේ. 

අද වනවිට තේ කර්මාන්තය තුළින් ඍජු හා වක‍්‍ර රැකියා මිලියන 2ක් පමණ සැපයෙන අතර පොහොරවල කාර්යක්ෂමතාව පිළිබඳ ප‍්‍රමාණවත් පර් යේෂණයෙන් තුළින් ඇගයීමක් නොකොට නුසුදුසු පොහොර ප‍්‍රතිපත්තියක් හඳුන්වා දෙනු ලැබුවහොත් අනතුරේ වැටෙන්නේ මිලියන 2ක් පමණ වන ජනතාවගේ ජීවිත බවද, කාබනික පොහොර යෙදීම මගින් NPK විශාල ලෙස අඩුවීම හේතුවෙන් තේවල ගුණාත්මකභාවය පිරිහීමට ලක්වන අතර එය ලොව පිළිගත් සිලෝන් ටී නාමය ආපසු හැරවිය නොහැකි ලෙස දැවැන්ත පරිහානියකට ලක්වනු ඇති බවද දුලිප් ගුණරත්න මහතාගේ අදහසය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00