2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

සියදිවි නසාගැනීම

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 451

සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය යෙදී තිබුණේ සැප්තැම්බර් දහ වැනිදාය. 2020 වසරේදී මෙරට පුද්ගලයන් 3,070ක් සියදිවි නසාගැනීම් හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ. 2019 වසරේදී සියදිවි හානිකර ගැනීම් 3,135කි. කෙසේ වෙතත් මීට වසර කිහිපයකට උඩදී වාර්තා වන දත්ත හා සසඳා බැලීමේදී මේ වන විට සියදිවි හානිකර ගන්නා පුද්ගලයන්ගේ යම් අඩුවක් පෙන්නුම් කරයි.

මීට වසර කිහිපයකට උඩදී සියදිවි හානි කරගෙන මියගිය පුද්ගලයන්ගේ දත්ත සහ පසුගිය වසරේදී වාර්තා වන දත්තවලට අනුව සියදිවි හානි කරගත් පුද්ගලයන්ගේ අඩුවක් දක්නට ලැබෙනවා. මීට වසර කිහිපයකට උඩදී පුද්ගලයන් ලක්ෂයකට හතළිහක් හතළිස් පහක් පමණ සංඛ්‍යාවක් සියදිවි හානිකර ගැනීමෙන් මිය ගියද මේ වන විට වාර්තා වන්නේ එය ලක්ෂයකට දාහතරක් පහළොවක් වැනි සංඛ්‍යාවක්.*යැයි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය දේශයට පැවසීය.

ජීවිතයේ විවිධාකාර ගැටලු දරාගැනීමට නොහැකිවීමේ එකම විසඳුම ලෙස සමහරුන් දකින්නේ සියදිවි නසා ගැනීමයි. ඒ අනුව විවිධ ක්‍රම උපයෝගී කර ගනිමින් සියදිවි නසාගැනීමට තැන් කරන ඇතැමුන් ජීවිතය හැර ගියද තවත් සමහරුන්ගේ ජීවිත වෛද්‍යවරුන්ගේ පරිශ්‍රමයෙන් බේරාගැනීමට හැකි වේ. කෙසේ වුවද අතීතයේදී සියදිවි හානිකර ගැනීමට තැත් කරන බොහෝ දෙනා භාවිත කළ ක්‍රමය වූයේ කෘමිනාශක දියර පානය කිරීමයි.

අතීතයේදී බොහෝ පුද්ගලයන් සියදිවි හානිකර ගත්තේ කෘමිනාශක දියර පානය කිරීමෙන්. නමුත් පසුකාලීනව එහි රසායනික තත්ත්වය අඩුවීමත්, කෘමිනාශකවල හිඟකමත්, ඒවා පානය කිරීමෙන් දැඩි ලෙස වේදනාකාරී වන බව දැනගැනීමත් හේතුවෙන් සියදිවි හානිකර ගැනීමට පෙළඹුණු පුද්ගලයන් ඒ ක්‍රමයෙන් ඈත් වුණා. මේ වන විට සියදිවි හානිකර ගන්නා පුද්ගලයන් වැඩි වශයෙන් ගෙල හිරකර ගැනීමෙන් ජීවිතයට හානිකර ගන්නවා. යැයි ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍යවරිය දේශයට වැඩිදුරටත් පැවසුවාය.

ලෝකයේ සෑම වසරකම ලක්ෂ අටකට ආසන්න සංඛ්‍යාවක් සියදිවි නසා ගැනීමෙන් මිය යන බව ලෝක සංවිධාන දත්තවලට අනුව පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීමට ප්‍රධාන හේතුව වන්නේ විශාදයයි. ඊට අමතරව කායික හා මානසික රෝග තත්ත්වයන්, විශේෂයෙන් කිසිවකුට පැවසිය නොහැකි, ප්‍රතිකාර ගැනීමට මැලිවන සමාජ රෝග, මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට අධික ලෙස ඇබ්බැහි වීම, පෞද්ගලික ගැටලු, ගෙවාගත නොහැකි ණයවීම් මෙන්ම ප්‍රේම සම්බන්ධතා මෙන්ම විවාහය දෙදරා යාම වැනි තත්ත්වයන් හේතුවෙන්ද ඇතැම්හු සියදිවි නසා ගැනීමට උත්සාහ කරති. මීට අමතරව ක්ෂණික කෝපය සහ ක්ෂණිකව ඇතිවන දරාගැනීමට නොහැකි තත්ත්වයන් හේතුවෙන් ද සමහරු සියදිවි නසා ගැනීමට උත්සාහ කරති.

කෙසේ වෙතත් පසුගිය වසරවලට සාපේක්ෂව 2020 වසරේදී සියදිවි හානිකර ගත් පුද්ගලයන්ගේ යම් අඩුවක් දක්නට ලැබුණු අතර ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දුරකථන අංකය වන 1926 වෙත මෙලෙස ජීවිතය අහිමි කර ගැනීමට සිතූ බොහෝ දෙනකුගෙන් ඇමතුම් ලැබී තිබිණි.

මානසික පීඩනයන්ට මුහුණ පා ඇති අයකු වේ නම් සිය ගැටලුව වෛද්‍යවරුන් වෙත පවසා අවශ්‍ය මානසික හා කායික සහනය ලබාගැනීම සඳහා මෙම 1926 නම් අංකය වෙන්කර ඇත. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට මෙම අංකය හරහා සම්බන්ධ විය හැක. එමගින් තමන්ට ඇති මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ වෛදවරුන්ගෙන් උපදෙස් ලබාගැනීමට හැකියාව පවතී.

1926 අංකය පැය විසි හතර පුරා විවෘතව පවතිනවා. මේ වන විටත් මෙම අංකයට බොහෝ ඇමතුම් ලැබෙමින් පවතිනවා. මට මැරෙන්න ඕනේ කියමින් තමයි ඒ බොහෝ දෙනා ඇමතුම පටන් ගන්නේ. ඕනෑම ජීවිතයක් වටිනවා. නමුත් එක් ගැටලුවකින්, එක් මොහොතකින් ඒ සියල්ලම ඔවුන් වෙනස් කර ගන්නවා. ඒ නිසා ජීවිතයට ඇතිවන ඕනෑම ගැටලුවක් කියාගන්න කෙනෙක් නැතිවුණාම මේ මිනිස්සු අසරණ වෙනවා. වැඩි වශයෙන් මේ අංකයට ඇමතුම් ලබා දෙන්නේ වයස අවුරුදු හතළිහට වැඩි පුද්ගලයන්. තරුණ පිරිස ඇමතුම ලබා දී තමන්ගේ ගැටලු පවසන්නේ නැති බව අපිට තේරුණා. මේ නිසාම එම අංකයටම (1926) ගැටලුව කෙටි පණිවිඩයක් ඔස්සේ අප වෙත දැනුම් දෙන්න පුළුවන්. කෙටි පණිවිඩ සේවය උදෑසන නවයේ සිට සවස 3.30 දක්වා විවෘතව පවතිනවා. මේ අනුව මේ වන විට තරුණ පරපුරද තම ගැටලුව කෙටි පණිවිඩයකින් අපිට දැනුම් දෙනවා. ඔවුන්ට අවශ්‍ය උපදෙස්, මගපෙන්වීම, ජීවිතය නගාසිටුවීමට කළ හැකි උපරිමය ලබාදීමට අපි බැඳී සිටිනවා. ඔවුන්ගේ පසු විපරමක්ද අපි සොයා බලනවා. එමගින් සියදිවි නසාගන්නට උත්සාහ කළ බොහෝ දෙනකුගේ ජීවිත බේරාගන්න පුළුවන් වෙලා තියෙනවා. යැයි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසීය.

සියදිවි හානි කර ගනිමින් මිය ගිය පුද්ගලයන්ගෙන් වැඩි දෙනකු පුරුෂ පක්ෂයයි. කෙසේ වෙතත් ජීවිතයක් යනු වටිනා සම්පතකි. හිතට මානසික හෝ කායික ගැටලුවක් පැමිණි පසු ජීවිතය හැර යාම වෙනුවට ජීවත් වීම වටිනා බව පසක් කරගත් විට, ජීවිතයේ ඇති වටිනාකම තේරුම් ගත් විට ජීවත් වන්නට පහසුය. ඕනෑම පුද්ගලයකුට ගැටලු පවතී. ජීවත් වීම යනු එම ගැටලු සමඟ ජීවත් වීමයි.

► දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00