2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

මහවැලියට තවත් කලාප දෙකක්

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 1099

වයඹ මහ ඇළ සහ දැදුරුඔය සංවර්ධන ව්‍යාපෘති යටතේ පවතින භූමි ප්‍රදේශ මහවැලි විශේෂ ආර්ථික කලාපයක් ලෙස ප්‍රකාශයට  පත් කිරීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය. කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය හා මාතලේ යන දිස්ත්‍රික්කවල පැවති පානීය හා වාරි ජල හිඟයට පිළියමක් ලෙස නව වාරි ව්‍යාපෘති කිහිපයක්ම පසුගිය කාලයේ ආරම්භ කෙරිණි. එම ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට අත් කර දීම සඳහා මෙලෙස නව මහවැලි කලාප දෙකක් නම් කිරීමට තීරණය විය. නව කලාප දෙකත් සමඟ සමස්ත මහවැලි කලාප  සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ යන අතර මෙරට සමස්ත භූමියෙන් 50ක් මහවැලි අධිකාරියේ සංවර්ධන සැලැස්ම යටතට අයත් වනු ඇත.

නව විශේෂ මහවැලි කලාප දෙකට කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර හා මාතලේ යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 26ක ග්‍රාමනිලධාරි වසම් 410ක් අයත්ය. ඒ අනුව ඉදිරි වසර 4ක කාලය තුළ කිලෝමීටර් 88.9ක් දිගින් යුතු වයඹ පළාත් මහ ඇළ හා කිලෝමීටර් 95.7 දිගින් යුතු උතුරු මැද මහ ඇළ යන කෘත්‍රිම ඇළ පද්ධතීන් දෙක ඉදිකිරීමට නියමිතය. නව ගබඩා ජලාශ හතකින් ග්‍රාමීය වැව් 1500ක් පමණ පෝෂණය කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර තිබේ. එහිදී ඉඩම් අක්කර 25000ක් දෙකන්නයේ වගා කිරීමට සහ පාරිභෝගිකයන් 50,000කට පානීය ජලය ලබා දීමටත්, මෙගාවොට් 1.5කින් යුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ඇති කිරීමටද සැලසුම් කර තිබේ. වයඹ පළාත් මහ ඇළ ප්‍රදේශය මහවැලි ‘එම්’ කලාපය ලෙසද, දැදුරුඔය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පවතින ප්‍රදේශය මහවැලි ‘එන්’ කලාපය ලෙසද නම් කෙරෙනු ඇත.

වසර ගණනාවක සිට වයඹ පළාතේ ජනතාව කෘෂි කර්මාන්තයට සහ පානීය ජලය නොමැති කමින් පීඩා වින්දාහ. එම ප්‍රශ්නයට තිරසර විසඳුමක් ලබා දීම සඳහා මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් සකස් කෙරිණි. මූලික මහවැලි මහ සැලැස්මෙහි වයඹ පළාතට ජලය ලබා දීම සඳහා සැලසුම් නොතිබුණත් එම ප්‍රදේශවල ජනතාවගේ ඉල්ලීම සලකා වයඹ පළාතට මෙම ජල ව්‍යාපෘතිය ලබාදීමට පියවර ගැනිණි. වයඹ මහ ඇළ ව්‍යාපෘතිය මගින් පවුල් 40,000ක පමණ ප්‍රතිලාභ ලැබේ. යල මහ යන දෙකන්නයේම හෙක්ටයාර 12,000කට වැඩි ප්‍රමාණයක් අස්වැද්දීමට හැකි වන අතර. වයඹ පළාතේ පවතින වකුගඩු රෝගය සඳහාද හේතුවන උග්‍ර පානීය ජල ගැටලුවටද පිළියමක් ද වේ.

දැදුරු ඔය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිවන දකුණු ආසියාවේ දිගම හා විශාලතම උමඟ සහිත උතුරු මැද මහ ඇළට ජලය ලැබෙන්නේ මොරගහකන්ද ජලාශයේ සඳැලිවේලි අංක 1 හරහාය. මොරගහකන්ද ජලාශයේ සිට කි. මී. 65ක් දුරින් පිහිටි යකල්ල දක්වා ඉදිවන උතුරු මැද පළාත් මහ ඇළ ඔස්සේ හුරුළු වැවටත්, මානන්කට්ටිය වැව සහ ඒරු වැව හරහා දැනට කලා වැවේ දකුණු ඉවුර ඔස්සේ ජලය ලබාගන්නා නාච්චදූව, නුවර වැව සහ තිසා වැවටත් අවසානයේ මහකනදරා වැවටත් ජලය සැපයේ. උතුරු මැද උතුරු හා නැගෙනහිර පළාත්වල ජල හිඟයෙන් පෙළෙන පවුල් ලක්ෂ 15 කට පානීය හා වාරි ජලය ලබාදීම හා ගොඩ මඩ ඉඩම් අ‍ක්කර ලක්ෂ 5ක් යල මහ දෙකන්නයේ අස්වැද්දීම මෙම ව්‍යාපෘතියේ අරමුණය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරුණු දැවැන්තම භෞතික හා මානව සම්පත් සංවර්ධන වැඩසටහනක් වන මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කෙරුණේ වියළි කලාපයේ ග්‍රාමීය සංවර්ධනය අරමුණු කර ගනිමිනි. මහවැලි ගඟත්, එහි අතු ගංඟාත් මාදුරුඔයත් පාදක කර ගනිමින් දේශීය භූමි ප්‍රමාණයෙන් 39ක් පමණ ප්‍රමාණය සංවර්ධනය කිරීමටත්, රටට අවශ්‍ය විදුලි බලය නිපදවා ගැනීමටත්, ඇතැම් ප්‍රදේශෙවල ගංවතුර පාලනය කිරීමත්, නව ගොවි බිම් ඇතිකිරීමත්, නව ජනාවාස බිහිකිරීමත්, එමගින් නව රුකියා අවස්ථා ලබාදීමත්, මහවැලි මහ සැලැස්මෙන් අපේක්ෂා කෙරිණි. සත්ව පාලනය, කෘෂිකර්මය පාදක කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම අනෙකුත් අපේක්ෂිත අරමුණු විය. මෙම ව්‍යාපෘතිය සඳහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, කැනඩාව, ස්වීඩනය වැනි රටවල ආධාර හිමිවිය.

මහවැලි ජලය වන්නි දිස්ත්‍රික්කයට ගෙන යාම ගැන පළමුවෙන්ම අවධානය යොමුකළ පුද්ගලයා වූයේ 1912 ව්‍යවස්ථා සභාවේ පළමු දෙමළ නියෝජිතයා වූ කේ. කනකසභාපති මහතාය. පසු කාලයේ ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක යන මහත්වරුන්ද පසුව පත්වූ වෙනත් දේශපාලකයන්ද මහවැලි ගඟ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපාර පිළිබඳව අවධානය යොමු කළහ.

1950 ගණන්වල සිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහවැලි ගඟ උතුරට හැරවීම පිළිබඳව පුළුල් සමීක්ෂණ ආරම්භ කර තිබිණි. දිවයිනේ ජල සම්පත් සමීක්ෂණය වෙනුවෙන් කොළඹ ක්‍රමය යටතේ කැනඩා රජයේ ආධාර එයට හිමිවිය. 1958 දී ශ්‍රී ලංකා රජය, ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඇතිකරගත් ගිවිසුමක් අනුව, මහවැලි බහුකාර්ය ව්‍යාපාරයක් සඳහා සමීක්ෂණයක් ආරම්භ කළේය. 1965 එක්සත් ජාතීන්ගේ සංවර්ධන සැලැස්ම (UNDP), ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) කරන ලද සමීක්ෂණ මත 1969 දී මහවැලි මහ සැලැස්ම බිහි විය.

මහවැලි මහා සැලැස්ම වසර 30ක් තුළ අවසන් කිරීමට ආරම්භයේදී තීරණය විය. එය   අදියර 3ක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ ප්‍රධාන ජලාශ, විදුලි බලාගාර හා ජනාවාස කලාප සංවර්ධනය සඳහා වූ සැලැස්මක් විය. එමගින් ඉඩම් අක්කර 9,000,000ක් සංවර්ධනය කිරීමද, මෙගාවොට් 808ක ස්ථාපිත ධාරිතාවකින් යුතු විදුලි බලාගාර 14 ක් ඉදිකිරීමද යෝජනා වී තිබිණි. 1970 පෙබරවාරි 28 වන දින ඩඩ්ලි සේනානායක මහතා පොල්ගොල්ල ජලාශ ව්‍යාපාරයට මුල්ගල තබමින් මහවැලි මහ සැලැස්ම ආරම්භ කළේය. එහෙත් එම සැලැස්ම ක්‍රියාවට නැංවුණේ ඉතා සෙමිනි.

වසර 30කින් අවසන් කිරීමට යෝජනා වී තිබූ මහවැලි ව්‍යාපාරය වසර 6 කින් අවසන් කිරීමට 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන රජය පියවර ගත්තේය. කඩිනම් වැඩපිළිවෙල යටතේ බලශක්ති සම්පාදනයට අනුබල දෙන ප්‍රධාන ජලාශ 4 ක් නිමවිණි. වික්ටෝරියා ජලාශය, කොත්මලේ ජලාශය, මාදුරුඔය ජලාශය, හා රන්දෙණිගල ජලාශය එලෙස ඉදිවූ මහා ජලාශ හතරයි.
30 අවුරුදු මහවැලි සැලැස්මට අයත්ව තිබී කඩිනම් මහවැලි ව්‍යාපාරයේදී අත්හැර දැමුණු මොරගහකන්ද සහ කළුගඟ ව්‍යාපෘති 2007දී ආරම්භ වූ අතර 2018 විවෘත කෙරිණි. මොරගහකන්ද මහවැලි ව්‍යපෘතියේ පස්වැනි ජලාශයයි. රජරට කලාපයේ හෙක්ටයාර් 82,000ක් සඳහා යල මහ දෙකන්නයේදීම වාරි ජල පහසුකම් සැපයීම එහි අරමුණ විය.  

► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා